ඉදිරියේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් සභාපතිධුරය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (16දා) පැවති ක්‍රීඩා හමුවකදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රිකට් සභාපතිධුරයට තමන් කිට්ටුවෙන්ම සිටින බවයි.
“ක්‍රිකට් ක්‍රීඩාවේ අනවශ්‍ය දේවල් පසුගිය කාලයේදී සිදු වුණා. ඒවා නවත්තලා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහයෝගය දිය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඒ අනුව ක්‍රිකට් සභාපතිධුරයට මම කිට්ටුවෙන්ම ඉන්නවා. ඒක පස්සේ මම තමුන්නාන්සේලාට කියන්නම්. දේශපාලනඥයෝ ක්‍රීඩාවට සම්බන්ධ වුණාට කමක් නැහැ. නමුත් ක්‍රීඩාව දේශපාලනීකරණය විය යුතු නැහැ.
මම පිතිකරුවෙක් විදියට නොම්බර 4 ක්‍රීඩා කරලා අන්තිම වෙනකොට නොම්බර 7 ක්‍රීඩා කළා. මොකද අනිත් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙන්න. නමුත් පසුගිය කාලේ සංගක්කාර හැමදාම නොම්බර 3 ක්‍රීඩා කළා. මහේල ජයවර්ධන නොම්බර 4 ක්‍රීඩා කළා. තරුණ ක්‍රීඩකයෙක් ආදේශ කරන්න දුන්නේ නැහැ. මම ඒකට ප්‍රධාන වශයෙන් දොස් කියන්නේ ක්‍රීඩකයින්ට නෙමෙයි. පරිපාලකයින්ට. ඒ ගොල්ලන්ට අවශ්‍යවෙලා තිබුණේ එක එක ක්‍රීඩකයන්ව සතුටු කරන්න. පෞද්ගලික ලාභ ලබලා දෙන්න. අපිට කණ්ඩායමක් විදියට ජයග්‍රහණ ලබා ගන්න බැරි වුණා. මේ නිසා අපි ප්‍රතිපත්තියක් විදියට රටට ක්‍රීඩා කිරීම පළමු අරමුණ බවට පත් කරනවා” යැයිද අර්ජුන රණතුංග මහතා පැවසීය.