මිහිදු හිමි පරිණිර්වාණය සමරන රාජ්‍ය උත්සවය අවලංගු කරලා
ලක්දිවට බුදු දහම රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීමට රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියෝ ඊයේ (16දා) පැවසූහ.
අදාළ උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබියදී, එක්වරම එය නතර කර දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා සංඝරත්නය සංවේගයට පත්වන බවත්, එම පිළිකුල් සහගත ක්‍රියාවට දැඩි අප්‍රසාදයක් පළකරන බවත් උන්වහන්සේ පැවැසූහ.
“මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරන්න අපට දින දෙකක් ලැබී තිබෙනවා. ඒ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ පොසොන් පොහොයත්, උන්වහන්සේ පරිනිර්වාණයට පත්වූ, වප් මාසයේ අටවක දවසත් පමණයි.
අද පාසල්වල ඉගෙන ඉගෙන ගන්න දුවා දරුවන් වත් මේ දිනය දන්නෙ නැහැ. පෙළපොතකවත් ඇතුළත් නැහැ. මෙවර මෙම දිනය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළා. ජනාධිපතිවරයා හා සංස්කෘතික ඇමැතිවරයාද සහභාගි වන බව සඳහන් කරලා සාකච්ඡා පැවැත්වූවා.
ඉන් පස්සේ මේ උත්සවය අවලංගු කළා කියලා අනුරාධපුර දිසාපතිවරයාට දන්වා තිබෙනවා. මිහින්තලය විහාරාධිපති හිමියන් විදිහට මා හට කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැහැ. මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.
රාජ්‍ය උත්සවයක් ලෙස රජ දවසේ සිට පවත්වාගෙන ආ මෙම උත්සවයට අද මහා සංඝරත්නය හා මේ අවට ගම්වල ජනතාව පමණයි. ආණ්ඩුවේ නායකයන්, මෙරටට බුදු දහම ආරම්භ වූ මිහින්තලේ වැනි සිද්ධස්ථාන පිළිබඳව කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ.
රටේ සිංහලකම, බෞද්ධකම නැතිවේගෙන යන යුගයක්. ජනතාවට අපි කියනවා, සිංහලකම බෞද්ධකම තියෙන රටට ආදරේ කරන මිනිස්සු මින් පසුව පත්කර ගන්න ඕන කියලා. අද රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් සිටිනවා. නමුත් යාපනයේ බුදු පිළිමයක් තියන්න බෑ, පන්සලක් හදන්න බෑ, ආගම සංහිඳියාවට බාධාවක් නිසා” යැයි උන්වහන්සේ පවසා සිටියහ.
අනුරාධපුර - බී.ජී. චතුරංග

popular news
-
Champa Thursday, 18 October 2018 11:48 AM
ඇත්තටම සංවේගදායකයි. මිහිඳු හාමුදුරුවන්ගේ පරිනිර්වාණය ගැන පාසල් පොත් වලවත් නැහැ තමයි. ඒ දිනය (වප් පුර අටවක - උත්තිය රජ්ජුවන්ගේ කාලේ) සිහි කරලා ආගමික උත්සවයක් පවත්වනවා කියල දන්නෙත් අද. මේ උත්සවයට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ නැත්තේ මොකොද? මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන්ම කලේ බුදුදහමට විරුද්ධකම්. මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියන එක ලෝකෙට දෙන්න අනාගමික රාජ්‍ය පාලකයෝ උත්සහ කිරීම තමයි හේතුව. බෞද්ධ උත්සවයකට රාජ්‍ය අනුග්‍රහය නොදී ඉන්න එක බෞද්ධාගමට කරන ලොකු හතුරු කමක් වගේම මිහින්තලේ වගේ ඉපැරණි ඉතිහාසයක් තියෙන ඈත පිටිසර බෞද්ධ සිද්ධස්ථානයක ප්‍රධානම උත්සවයක් අවලංගු කිරීම පහත් වැඩක්. නැවත කිසි දවසක මේ පාලකයන්ටවත් ඔවුන් සමඟ මේ ආණ්ඩුවේ ඉන්න කාටවත් කිසිම බෞද්ධයෙක් චන්දය නොදිය යුතුයි. මහනායක හාමුදුරුවරු කියලත් මේ ආණ්ඩුව අහන්නේ නැහැ. ඇත්තම කිව්වා නම් දැනෙන දෙයක් කරන්න ඕනේ. මේ දේශපාලකයෝ එන උත්සව මහා සංඝරත්නය වර්ජනය කරන්න ඕනේ. අතීතයේ හිටපු හිමිවරු වගේ කෙලින් තීරණ අරන් වැඩ කරන්න ඕනේ. යාපනේ පන්සල් වලට සහ බුදු දහමට විරුද්ධකම් කරන්න හේතුව උතුරු නැගෙනහිර බුදු අහමට එරෙහිව ඕනේ දෙයක් කරන්න රජය ඉඩ දීල තියෙන නිසා.
Reply : 0 107
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

