උපතින්ම ස්නායු ආබාධයකට ගොදුරුව සිටින මීගහකිවුල, හෙල මකුල්ගොල්ල ගම්මානයේ පදිංචි ක්‍රිෂාන් මධුසංක දරුවා සුවපත් කර ගැනීමට ඔහුගේ දෙමාපියෝ පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර බලාපොරොත්තු වෙති.
ක්‍රිෂාන් මධුසංකගේ පියා වන ඩී.එම්ත තුෂිත රෝහණ මහතාට හෝ මව වන ඩී.එම්.මල්ලිකා මහත්මියට කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. වගා කරන්නට ඉඩකඩම් කිසිවක් ද නොමැති අතර ඔවුන් ජීවත් වන්නේ රජයෙන් ලැබෙන රුපියල් 415.00 ක සමෘද්ධි ආධාරයෙන් හා එදිනෙදා කරන කුලී වැඩකින් උපයා ගන්නා සුළු මුදලිනි.
දරුවා රැක බලා ගැනීමට නිවසේ එක් අයෙකු අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතු නිසා ඔවුන්ට අමතරව යම් මුදලක් සොයා ගැනීමට ඇති ඉඩකඩද සීමාවී ඇතැයි දරුවාගේ පියා වන ඩී.එම්.තුෂිත රෝහණ මහතා පවසා සිටියේය.
තමන් පත්ව ඇති අසීරුතාව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්වැනි දරුවා. මෙයා ඉපදුනේම රෝගියෙක් විදිහට. එයාට කවදාවත් ඔළුව උස්සල බලන්න බැහැ. ඇඳේ හාන්සි වෙලා තමා ඉන්නේ. ඒ නිසා කවන්න පොවන්න වැසිකිළි යන්න මේ හැම දේම කවුරු හරි ළඟ ඉඳල කරන්න ඕනි. ඒ නිසා අපි දෙන්නගෙන් කවුරු හරි එයා ළඟ අනිවාර්යයෙන් ඉන්න ඕනි. ඒ නිසා කුලී වැඩක් කරන්නවත් අපට යන්න විදිහක් නැහැ.
මෙයා ඉපදුන දවසේ ඉඳල බදුල්ල රෝහල ඇතුළු රෝහල් ගාණකට අරන් ගියා. දොස්තර මහත්තුරු ප්‍රතිකාර කළා. ඒත් සුවයක් නැහැ. තාමත් මාසෙකට සැරයක් සායනවලට අරන් යන්න ඕනි. එයාගේ බේත් හා විටමින්වලට මාසෙකට රුපියල් 3000ක් විතර යනවා. වාහනවලටත් සෑහෙන මුදලක් යනවා. කිසි ආදායමක් නැති අපි හරිම අමාරුවෙන් තමා මේ දරුවා රැක බලා ගන්නේ. අඩුම ගාණේ මේ දරුවට බේත් ටිකක් ගන්න හරි දරුව සනීප කර ගන්න හරි කවුරු හෝ උදවුවක් කරනව නම් ඒක ලොකු පිනක්." යැයිද පවසා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 07729 37666 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකි අතර දරුවාගේ මව වන ඩී. එම්. මල්ලිකා නමින් ගිණුම් අංක 76893052 යටතේ ලංකා බැංකුවේ මීගහකිවුල ශාඛාවේ ආරම්භ කර ඇති ගිණුමට ඒ සඳහා වන ආධාර මුදල් බැර කළ හැකිය.
මීගහකිවුල එන්. කේ .නිශ්ශංක