රටටත් ජනතාවටත් හතේ හත වැදුණු මොහොතක හත්වැනි සංවත්සරය සැමරීම

'අද' පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කිරීමට අප ගත් උත්සාහය පසුගිය වසර 07 තුළදී අප සමග සිටි පාඨකයන් අත්විඳින්නට ඇතැයි අපේ විශ්වාසයයි. එය ඉදිරියේදීත් නොවෙනස්ව ඉටු කිරීම අපේ අරමුණයි. රටටත් ජනතාවටත් හතේ හත වැදී ඇති මොහොතක හත්වැනි සංවත්සරය ඉහළින් සමරන්නට අපි උත්සාහ නොකරමු. රටට සහ ජනතාවට හතේ හත නම් එහි කොටසක් වන පුවත්පත ගැන අමුතුවෙන් කතාවක් අවශ්‍ය නැත.
ගෙවීගිය වසර ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වූ කාලයකි. වර්තමානයත්, අනාගතයත් එබඳුම බව කර්මාන්තයේ නියුතු වූවන් ලෙස අපි දනිමු. පුවත්පත් කර්මාන්තය අර්බුදයකට යන්නේ තාක්ෂණික මෙවලම් හෝ සමාජ මාධ්‍ය භාවිතය වැඩි වීම නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් යථාර්ථය එයට වඩා වෙනස්ය.
2014-2015 වනවිට ඉතා හොඳ වර්ධනයක් පෙන්නුම් කළ පුවත්පත් කර්මාන්තය රටේ ආර්ථිකයට සමානුපාතිකව ක්‍රමයෙන් පල්ලම් බසින්නට පටන්ගන්නේ මුද්‍රණ කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර ආදී සියල්ල විදේශයෙන් ආනයනය කිරීමට සිදුවීම නිසාය. පසුගිය වසරේ සිට වේගයෙන් ඉහළට ගිය ඩොලරයට සාපේක්ෂව නිෂ්පාදන වියදම් අධික වීමත්, ආර්ථිකය පහළට යෑමෙන් රටේ අනෙකුත් ව්‍යාපාර අර්බුදයකට ලක්වීමත් පුවත්පත් කර්මාන්තයේ අර්බුදයට ප්‍රධාන හේතු විය.
මේ රටේ සාමාන්‍ය ජනතාව ගැන නොදන්නා, 'ටැබ්' ගැන කතා කරන බොහෝ දෙනා කල්පනා කරන්නේ 2020 වනවිට පුවත්පත හමාර බවය. මොවුන් හිතාමතා නොකියන දෙය නම් අප මෙන් ටැබ් ආනයනය කරන රටවල් පමණක් නොව ටැබ් නිෂ්පාදනය කරන රටවල පවා පුවත්පත තවමත් නොමැරී පවතින බවය. එහෙයින් පුවත්පත මැරෙන්නේ නැත. එහෙත් මුද්‍රිත අකුරට බියක් දක්වන පාලකයන්ට අවශ්‍ය නම් පුවත්පත ඝාතනය කිරීමට හැකිය.
වර්තමානයේ අප දකින්නේ පුවත්පත් කර්මාන්තය ඝාතනය කිරීමට ගන්නා උත්සාහයයි. එය පරාජය කිරීමට පුවත්පත් කර්මාන්තයේ නියුතු වූවන් මෙන්ම පුවත්පතට ආදරය කරන පාඨකයන්ද එක්විය යුතුය. එසේ කියන්නේ මුද්‍රිත අකුර තුරන් වීමට තවත් කාලයක් ඇති නිසාය. පුවත්පත් කර්මාන්තයේ නියුතු අප සහ පුවත්පතට කැමති ඔබ එකතු වූ විට ඝාතන තැතකින් ගැලවීමටත් අකාලයේ මිය නොයෑමටත් පුවත්පතට හැකියාව ලැබෙනු ඇත. පුවත්පත නීතියට, ආචාර ධර්මයන්ට ගරු කරන, ඒවා රැකිමට බැඳී සිටින මාධ්‍යයකි.
එහි ව්‍යාජය හෝ අතිශයෝක්තිය ඇත්තේ අඩුවෙනි. එහෙයින් තවමත් ඔබට පුවත්පත විශ්වාස කළ හැකි යැයි අපි විශ්වාස කරමු. සත්‍ය තොරතුරු පළ කිරීමට බැඳී සිටීම, සත්‍යය යැයි කියා ව්‍යාජය වැපිරීමට වඩා වැදගත් බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. පෞද්ගලිකව 'අද' පුවත්පත ගැන අප විසින්ම තක්සේරු දීමට මෙය අවස්ථාවක් කරගැනීමේ අදහසක් නොමැත.
එහෙත් 'පත්තරය' ජනතාවගේ අතින් ගිලිහෙන්නට ඉඩ නොදීමට අප සියලු දෙනා කටයුතු කරන බව නම් ලියා තැබිය යුතුමය. ලබන වසරේ අද වැනි දිනකදී පුවත්පත් කර්මාන්තය ගැන මීට වඩා යහපත් යමක් ලියන්නට ලැබේවා යැයි පතමු.
අද කර්තෘ
popular news
-
ඒෂා Wednesday, 02 January 2019 10:45 AM
ඇත්තේම පාඨකයන් නැවුම් වෙනසක් ගෙනාව අද පත්තරයට සුබ පැතුම්...
Reply : 0 0
Champa Wednesday, 02 January 2019 03:38 PM
"අද" පත්තරේට අවුරුදු 7ක් කියල දැන ගත්තේ අද. ඔබට මගේ හෘදයංගම සුභ පැතුම්. බොහෝ පත්තර වැහිලා ගියා තමයි. නමුත් "අද" පත්තරේ වෙනුවෙන් අපි ඉන්නවා. ඔබට එහෙම වෙන්නේ නැහැ. "අද" සමබර ප්රවෘත්ති පල කරන පත්තරයක්. මම වැඩිය TV බලන කෙනෙක් නෙමෙයි. News බලන්නෙත් ඉවර වුනාට පස්සේ මට ඕනේ news තෝරාගෙන. සමහර වෙලාවට හැමදාම බලන්නෙත් නැහැ. හැබැයි "අද" පත්තරේ නම් නොවරදවාම හැමදාම බලනව. පත්තර වැහිලා යන වෙලාවක "අද" පත්තරේ කරන්නේ ජනතා සේවයක්. පත්තර පවත්වා ගෙන යාමට තියෙන උඩ ලියලා තියෙන අවහිරකම් දැක්ක. ඒව අනාගතේ වෙනස් වෙයි. ලෝකේ බොහෝ රට වල පුවත්පත් තාමත් ප්‍රධාන තැනක් ගන්නවා. ඇමරිකන්, බටහිර රටවල් සහ ආසියාවේ අනිත් රටවලත් පුවත්පත් ඉතාම ජනප්‍රියයි. Web එකේ එන්න පිරිස් හිතුවට ඒ අයට සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා ඇත්ත කතාව ඒක නෙමෙයි. හොඳම උදාහරනේ පහුගිය ආණ්ඩු වෙනස. බොහෝ සමාජ ජාල මොන තරම් උත්සාහ ගත්තත් ඒක් ජනතාවගේ ජයග්‍රහණයක් කියලා පෙන්වන්න මිනිස්සු පිළිගත්තේ නැහැ. ඒ වෙනසට ආශීර්වාද කලෙත් නැහැ. ආදරණීය "අද" පුවත්පත, ඔබ දිගු ගමනක් ඇවිල්ල තියෙනවා. ඔබට දිගු ගමනක් ඉස්සරහට යන්නත් තියෙනව. ඔබට සුභ ගමන්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

