සෑම වසරක් ආරම්භයේදීම සුබ නව වසරක් කියලා සුබ පතනවා. මේ අවුරුද්දෙත් එහෙම වුණා. මේ වසරවත් ජනතාවට සුබ නව වසරක් වේවිද?
සුබ නව වසරක් කියලා ජනතාවත් සාම්ප්‍රදායිකව සුබ පතාගන්නවා. හැබැයි පසුගිය කාලයම මේ රටේ අහිංසක ජනතාවට සුබ උනේ නෑ කියලා කවුරුත් දන්නවා. ඒ වගේම ගිය වසරේදී වගේම නම් මේ අවුරුද්දෙත් දවස ගෙවන්නෙ, මේ වසරත් ජනතාවට සුබ වසරක් වෙන්නෙ නැහැ. ඒක මේ ආණ්ඩුව දැන්ම ඉඳන් පෙන්නලා තියෙන කාරණයක්. මොකද අවුරුද්ද ලබන්නෙම බඩු මිල දෙගුණ තෙගුණ වෙමින්. ඒ වගේම ඉස්සරහට ඡන්ද පේළියක් එනවා. ඒ බරත් දරන්න වෙන්නෙ ජනතාවට. ඒ නිසා ඉදිරියේ එන මැතිවරණ පේළියේදී ජනතාවට ඔවුන්ගේ අනාගතය සුබ කරගන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. එදාට ජනතාව බුද්ධිමත්ව ඡන්දය භාවිත කළ යුතු වෙනවා. මොකද ජනතාවට සුබ නව වසරක්, අලුත් අවුරුද්දක් කියලා එස්.එම්.එස්. එකක් එව්වට ජනතාවට සුබ නව වසරක් උදාවෙන්නෙ නැහැ. හැබැයි එස්.එම්.එස්. එක එව්ව කෙනාටත්, ඔහුගේ පවුලටත් පසුගිය කාලෙයේම සුබම සුබ වුණා.
අය වැය තුළින් සහන නොලැබුණත් රාජ්‍ය සේවකයාට යම් දීමනාවක් ලැබුණු එක හොඳ දෙයක් නේද?
අයවැයෙන් රාජ්‍ය සේවකයාට යම් මුදලක් ලැබුණා තමයි. හැබැයි රටේ පවතින ආර්ථික අපහසුතාවට මුහුණදෙන්න නම් රාජ්‍ය සේවකයාට රුපියල් 10,000 කවත් වැටුප් වැඩිවීමක් දෙන්න කියලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ ඒකාබද්ධ වෙලා ඉල්ලපු ඉල්ලීමක්. ඒ වගේම පෞද්ගලික අංශයට, වතු කම්කරුවාට රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන්න කියලත් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට රාජ්‍ය සේවකයාට සුළු මුදලක් ලබාදීලා පොඩි විහිළුවක් කළා. හැබැයි පෞද්ගලික අංශ සේවකයාට හෝ වතුකම්කරැවාට ශත පහක් ලැබුණෙ නැහැ. ඒ වගේම ධීවරයාට, ගොවියාට, කිසිදු සහනයක් ලැබුණෙ නැහැ. ගොවියාට ලැබුණු සහනය තමයි ගොවි විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලබාදීම වසර තුනකින් ඉහළ දැමීම.
බඩුමිල ඉහළ ගොස් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා කියල විපක්ෂය කිව්වට ජනතාව එවැනි කතාවක් කියන්නෙ නැහැ?
ජනතාවට තමන්ගෙ දුක කියන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒත් යම් යම් අවස්ථාවල ජනතාවගෙන් මාධ්‍ය විමසීමක් කළාම තමන්ගෙ අමාරුකම් ගැන කියනවා, ඒ වගේම වැඩි වැටුප් ඉල්ලලා ජනතාවට පාරට බහින්න වෙලා තියෙන්නෙ ජීවත්වෙන්න අමාරු නිසා. ගොවියා, ධීවරයා ගත්තමත් එහෙමයි. හැබැයි ඒ හඬ නැගීම ගැන ආණ්ඩුව ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. ඒ වගේම ලොකු හඬක් නගන්න ජනතාවට ඒ වෙනුවෙන් මාධ්‍යයක් නැහැ. මේ නිසා ආණ්ඩුව ජනතාවගෙන් හඬක් නැගෙන්නෙ නැහැ කියලා තර්කයක් හදාගෙන, හිතුවක්කාරී ලෙස බඩු මිල ඉහළ දමමින්, බදු බර ඉහළ දමමින් ඔවුන්ට ඕන දේ කරමින් යනවා.
මෙහි සම්පූර්ණ සාකච්ඡාව 10 වැනිදා අද පුවත් පතේ පළවිය.