අද වන විට මෙරට දේශපාලනයේ සිදුවන සිදුවීම් නිරීක්ෂණය කරනවිට පැහැදිලිවම පෙනී යන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව යම් දේශපාලනික අස්ථාවරභාවයකට පත්ව සිටින ආකාරයයි. එක් පසෙකින් ජනාධිපතිවරයා සිය පක්ෂයත්, බලයත් රැකගන්නට ප්රයත්න දරයි. අනෙක් පසින් අග්‍රාමාත්‍යවරයා සිය පක්ෂ නායකත්වයත්, අගමැති ධුරයත් රැකගැනීමට සටනක නියැළී සිටියි. තවද පොදු විපක්ෂය සිය අහිමි වූ බලය නැවත ලබාගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටියි. අප ඉදිරියේ ඇති අධික ණයබර පියවමින් රටේ ප්රගමනය සඳහා වන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් එකදු දේශපාලඥයෙකුවත් වචනයක් හෝ කතා කරන්නේ නැත. මේ සියල්ල අතරවාරයේ ජනතාවගේ සැබෑ අපේක්ෂා යටපත්ව දේශපාලඥයන්ගේ සියලු ආශාවන් සහ බලාපොරොත්තු දිනෙන් දින සඵල වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරේදා මහනුවරට පැමිණ මල්වතු මහ නාහිමියන් ඉදිරියේ පැවසුවේ ජනපති නැවත දිවයිනට පැමිණි පසු රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළක් සකසන බවය. එසේ නම් 2015 වසරේ සිට මේ දක්වා ගෙන ගියේ කුමනාකාරයේ වැඩපිළිවෙළක්ද යන්න ගැටලුවකි. එමෙන්ම පත් වූ දා සිට මේ දක්වාමත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට බාලගිරිදෝෂයට ලක්වූ වැඩපිළිවෙළ ගණනාවක්ම ප්‍රසිද්ධ වේදිකාවේදී ඉදිරිපත්කොට තිබේ. ඒවා ක්‍රියාත්මක වූවා නම් රට ඉදිරියට ගොස් ඉන්දියාවේ ගැටීමටද ඉඩ තිබූ බව පවසමින් ජනතාව මෙම ප්‍රකාශ හුදෙක් විහිළුවක් පමණක් බව පෙන්වා දෙති. කෙසේ නමුත් ආණ්ඩුව මේ ආකාරයෙන් දිනෙන් දින ජනතාවට හාස්‍ය සපයන තත්ත්වයට පත්වීම ඉතාමත්ම කනගාටුදායකය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමගින් මෙම විග්‍රහය ගෙන එන්නේ වත්මන් දේශපාලන අස්ථාවරභාවය හමුවේ රටේ අනාගතය කොයිබටද යන්න පිළිබඳවයි.
නොගැළපෙන දීගය
පසුගිය 2015 වසරේ ජනවාරි 08 වැනිදා මහා විප්ලවයක් සිදුවුණු බව කියමින් ඇතැම් පිරිස් උදම් ඇනූවත් අවසාන වශයෙන් සිදුවී තිබෙන්නේ එකිනෙකට නොගැළපෙන ආර්ථික, සමාජීය සහ දේශපාලනික ප්‍රතිපත්ති සහ දැක්මක් සහිත දේශපාලනික පක්ෂ දෙකක එකතුවීමක් පමණයි. එස්.බඩ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරගන්නේ එම පක්ෂයත් සමග තිබුණු මතවාදී අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පවතින ධනවාදී චින්තනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ලෙසකින් බණ්ඩාරනායක මහත්මයා ඇඳා ගත්තේ නැහැ.
නමුත් ඓතිහාසික ලෙස 2015 වසරේදී මේ එකිනෙකට නොගැළපෙන පක්ෂ දෙක එක්වෙලා ආණ්ඩුවක් පිහිටුවන්නේ ජනාධිපතිවරයා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනුත්, අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනුයි. මේ පක්ෂ දෙකටම ප්‍රමාණවත් මන්ත්‍රී ආසන ප්‍රමාණයක් තිබුණෙ නැහැ වගේම විශේෂිතම කාරණය තමයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදී යනවා. එක් පිලක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටාත්, තවත් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටාත් ඒකරාශී වෙනවා. එතැනදි අවසානයේදී මෛත්‍රී පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරද්දී මහින්ද පිල ඒකාබද්ධ විපක්ෂය නමින් නව පෙරමුණක් පිහිටුවා ගන්නවා. මේ කාරණා ඔස්සේ පැහැදිලිවම දැඩි බල අරගලයක් මේ තුළ තිබෙන බව පෙනී යනවා.
මෛත්‍රීගේ ස්වාධීනත්වය නැති කළේ කවුද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආශිර්වාදය සහිතවයි. ඔහු මහින්ද රාජපක්ෂ යටතේ තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ඇවිල්ලා කරපු පළමු කතාවේදීම ඉතා හැඟීම්බර කතාවක් කරමින් රනිල් වික්‍රමසිංහ වෙත දැඩි සේ ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ වෙත ලැබීමට ගිය අවස්ථාවක් තමයි මට මේ ලැබුණේ යැයි කියමින්. ශ්‍රී ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය පැහැදිලිවම අද වෙනකොට තිබෙන්නේ බොහොම බලලෝභී බල අරගලයකයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්තරා අවස්ථාවක බොහොම පැහැදිලිව සඳහන් කරනවා නැවත ජනාධිපති ධුරයට පත්වීමට තියා අපේක්ෂකයෙක් වීමටවත් බලාපොරොත්තුවක් නැති බව. එහෙමනම් ඔහුට ඉතාම පහසුවෙන් හැකියාව තිබුණා ස්වාධීන ජනාධිපතිවරයෙක් ලෙස නිවැරදි ගමනක් යන්න. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා සිටි කණ්ඩායමේ සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සිටි කණ්ඩායම අතර තිබෙන බලඅරගලය හමුවේ මෛත්‍රී පිලේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වුණා ඔහුව ඒ ස්වාධීනත්වයෙන් මුදවලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග සෘජුවම සටනකට යොමු කරන්න. ඒ කටයුත්තට අද ස්වාධීනවෙලා සිටින 16 දෙනාත් ඇතුළත්.
ආණ්ඩු ගිනියම් වෙද්දී රට ගිනි ගැනීම
මේ බල අරගලය තුළදී පෙනෙන දෙයක් තමයි තමන්ට පක්ෂපාතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සතුටු කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවී ඇති බව. ඒ නිසා ඔහුට සිදුවුණා යම්කිසි සම්මුතියක් තිබුණු එක්සත් ජාතික පක්ෂයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ළැදිව කටයුතු කරන්න. ඒ වගේම ඔහු විශාල වරදකුත් එතැනදි කළා. ඒ තමයි තමන්ට බලයට පත්වීමට කැපවුණු එක්සත් ජාතික පක්ෂයට දැඩි සේ පහර ගහන්න කටයුතු කිරීම. ඒ සඳහා හොඳම උදාහරණය තමයි පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ වාග් ප්රහාරයන්. ඒ ඔස්සේ තමන් මේ ආණ්ඩු කරන්නේ තමන්ගේ විරුද්ධවාදීන් සමගයි කියන හැඟීම දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් අතරත්, පාක්ෂිකයන් අතරත් ඇති වුණා. මේ බල අරගලය තුළ සිදුවුණේ රටේ කිසිදු ආකාරයක සක්‍රීය මට්ටමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් හෝ රටේ ප්රගමනය සඳහා වූ ව්‍යාපෘතියක් සිදු නොවීමයි. පහුගිය කාලයේ අපට හොඳින්ම දකින්නට ලැබුණු හාස්‍යජනක කාරණයක් තමයි එක්සත් ජාතික පක්ෂය ගෙන එන ඇතැම් තීන්දු සහ තීරණ පැය කිහිපයක් තුළ ජනාධිපතිවරයා විසින් තමා ඒ පිළිබඳව දැනුවත් නැහැ කියමින් නිශේධනය කර දැමීම.
මේ බල අරගලය තුළ සිදුවුණේ රටේ කිසිදු ආකාරයක සක්‍රීය මට්ටමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් හෝ රටේ ප්රගමනය සඳහා වූ ව්‍යාපෘතියක් සිදුනොවීමයි. අද රටේ සමස්ත ක්‍රියාවලියම බිඳ වැටිලා තිබෙනවා. තවත් පැත්තකින් නිලධාරීන් අසරණ වෙලා තිබෙනවා තමන් ක්‍රියාත්මක කරන්නේ විධායකයේ නියෝගද, එසේත් නැත්නම් ව්‍යවස්ථාදායකයේ නියෝගද කියලා සිතාගන්නට නොහැකිව. ආණ්ඩුව සංවර්ධනය තුන් ගුණයකින් වෙනවා කියනවා, නීතිය ස්ථාපිත වෙලා තියෙනවා කියනවා, සෘජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියනවා නමුත් මේ කිසිවක් ජනතාවට දැනෙන්නේ නැහැ. දවසින් දෙකකින් තීරණයක් ගෙන විසඳිය යුතු වැඩවර්ජන වැනි දේවල් මාස ගණන් ඇදී යනවා. රටේ විශ්වවිද්‍යාල මාසයකට වැඩි කාලයක් වසා දැම්මා. ජාතිවාදී කෝලාහල දරුණු මට්ටමකට ඇවිත් තිබෙනවා. නීතිය සහ සාමය බිඳවැටිලා. පාතාලය රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට වෙඩි තබන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මේ සියල්ල ඔස්සේ රටක තිබිය හැකි නරකම තත්ත්වය තමයි අද අපි අත්විඳිමින් ඉන්නේ. ඒ වගේම මෙය තමයි ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතිවුණු දැවැන්තම අස්ථාවරභාවය.
රටට නොගැළපෙන සම්මුතිවාදී ආණ්ඩුව
අද වෙද්දි මනාවට ඔප්පු වෙලා ඉවරයි සම්මුතිවාදී ආණ්ඩු එහෙමත් නැත්නම් ජාතික ආණ්ඩු කියන සංකල්පය කිසිදු ආකාරයකින් මේ රටට නොගැළපෙන බව. ඒ හරහා රට තුළ ඇතිවෙලා තිබෙන්නේ විශාල ව්‍යාකූල තත්ත්වයක් සහ ව්‍යවසනයක් පමණයි. කවුරුන් හෝ එක ශක්තිමත් පක්ෂයක් රටේ පාලනය ගත යුතුයි. විශේෂයේම සන්ධානගතව හෝ සම්මුති ඔස්සේ එකඟතාවලට පැමිණීම වැනි දේශපාලන ක්‍රියාකාරකම් බලය ලබාගැනීම සඳහා සිදුකරන හුදු ව්‍යාජයක් පමණයි කියන දේ හොඳින්ම පැහැදිලි වෙලා තිබෙනවා.
පසුගිය කාලය පුරාම මේ රටේ සිද්ධ වුණේ, අහන්න ලැබුණේ පක්ෂ ප්රතිසංවිධාන, පක්ෂ නායකත්වයන් වෙනස්වීම් එහෙමත් නැත්නම් විශ්වාසභංග පිළිබඳව පමණයි. ඒ හැර රටට හෝ ජනතාවට ඵලක් ඇති කිසිදු දෙයක් දේශපාලඥයන් අතින් සිදුවුණේ නැහැ. රටේ දැවැන්ත සමාජ ප්‍රශ්න විතරක් නෙවෙයි මන්දපෝෂණය දෙවැනි ස්ථානයට වැඩිම රට බවටත් අපේ රට පත්වෙලා තිබෙන බව කියවෙනවා.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන රටේ ප්‍රතිපත්ති
ඇත්තටම සංවර්ධිත රාජ්‍යයන්වලින් ශ්‍රී ලංකාව වැනි ඌන සංවර්ධිත රටක් වෙනස් වෙන්නේ මෙතැනදී. අපි හොඳින්ම දන්නවා සංවර්ධිත රාජ්‍යවල සෞඛ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති, සංවර්ධන ප්‍රතිපත්ති සහ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්නේ අඩුම තරමින් දශකයක් හෝ ඉදිරිය ගැන හිතලා. රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් සහ විද්වතුන්ගෙන් ඔවුන් නියම ප්‍රයෝජන ගන්නවා. නමුත් අපේ රටේ ප්‍රතිපත්ති සකස් වෙලා තිබෙන්නේ එවැනි විද්‍යාත්මක පදනමකින් නොවෙයි. අමාත්‍යවරයාගේ හිතුමතයට හෝ ඔහුගේ හිතවතුන්ගේ හිතුමතයට, එහෙමත් නැත්නම් අමාත්‍යවරයාට ලැබෙන කොමිස් මුදල අනුවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෙක්ට කිසිම ආකාරයකින් තමන්ගේ ප්‍රදේශය කියලා එක් ප්‍රදේශයක් තිබෙන්න විදිහක් නැහැ. ඔහුට සමස්ත රටේම දියුණුව අදාළ විය යුතුයි. රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් සහ අපේක්ෂාවන් වටහාගත යුතුයි. නමුත් අපේ රටේ දේශපාලනය තවමත් සිටින්නේ ඉතාමත්ම ගෝත්‍රික මානසිකත්වයක. පසුගිය ආණ්ඩු කරපු වැරදි මේ ආණ්ඩුත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
එයාලගේ වැරදි නිසා අපිට මුකුත් කරන්න බැහැ
පසුගිය කාලය පුරාම වගේම අදටත් දැකගන්න ලැබෙන දෙයක් තමයි කලින් රජයේ දූෂණ අක්‍රමිකතා නිසා තමන්ට හරිහැටි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැයි කියමින් චෝදනා කරමින් සිටීම. මෙය මේ ආණ්ඩුවේ වගේම පසුගිය ආණ්ඩුවෙත් දකින්න ලැබුණ කාරණයක්. මැතිවරණ සමයේදී ඔවුන් දේශපාලන වේදිකාවලදී කරපු කතා නැවතත් ශ්‍රවණය කරනවා නම් ඔවුන් කියනවා මේ රජය මේ තරමට දූෂිතයි, ජනතා මුදල් ගසා කනවා, අපි මේවා නවත්තලා විශාල වෙනසක් කරනවා කියලා. උදාහරණයක් විදිහට 2015 ජනවාරි 08 වැනිදා බලය පත්වුණාට පස්සේ ජනාධිපතිවරයා කිව්ව දෙයක් තමයි පසුගිය රජය කරපු දූෂණය වැළැක්වූවාට පස්සේ ඒ කාලේ සිදුවුණා වගේ තුන් ගුණයක සංවර්ධනයක් තමන්ට කරන්න පුළුවන් කියලා. ජනතාව පවා හිතුවා විශාල සුබදායී වෙනසක් සිදුවෙයි කියලා. නමුත් බලය ලබාගත්තාට පස්සෙ කියනවා නම් එයාලා ගත්ත ණය වැඩියි, එයාලා අපේ කකුලෙන් අදිනවා, අපිට මුකුත් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රකාශ ඉතාමත් හාස්‍යජනකයි. බලය ලබාගන්න පෙර මේ පිළිබඳව හරි ආකාරයේ තක්සේරුවක් තිබුණේ නැද්ද? තුන්ගුණයක් විශාල සංවර්ධනයක් කරනවා කිව්වේ හුදු සිහිනයක් පමණද කියලා ජනතාව පෙරළා ප්‍රශ්න කළ යුතුයි. ඒ නිසා අතීතය කියන මුව හමට තළමින් නිදහසට කරුණු කීම කිසිදු ආකාරයකින් අනුමත කළ හැකි දෙයක් නොවෙයි.