ෆුල්ෆේස් තහනම, සයිලන්සර් සහ වාහන වෙනස් කිරීම තහනම් කිරීම, යතුරුපැදිකරුවන්ට පසුගිය කාලයේ සිදුවූ පහරදීම් හා යතුරුපැදි අනතුරු ඉහළ යෑම ආදිය යතුරුපැදිකරුවන් පිළිබඳ මෙරට කතාබහක් ඇතිකළ කාරණා විය.
මේ සෑම කාරණයකදීම යතුරුපැදිකරුවන් වෙනුවෙන් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඉදිරිපත් විය. මෙම සංවාදය ගොඩ නැගෙන්නේ එහි ලේකම් චිරන්ත අමරසිංහ මහතා සමගය.
Q යතුරුපැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වීමේදී අසාධාරණකම් සිදුවෙනවා කියලා ඔබ කියනවා?
යතුරුපැදිකරුවා කියන්නෙ ලංකාවේ ඉතා පහසුවෙන්ම චූදිතයෙක් කරන්න පුළුවන් පුද්ගලයෙක්. සාමාන්‍ය‘යෙන් බයික් එකක් ගන්නෙ ලොකු සල්ලි කාරයො නෙවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු. ඒ ගන්නෙත් ලෝන් දාලා, ණය වෙලා ලොකු දුකක් විඳලා. රිය පැදවීමේදී වරදක් කරලා නම් පොලිස් නිලධාරීන්ට පුළුවන් දඩ මුදලක් පණවන්න.
නමුත් පොලීසිය නිර්දෝෂී යතුරුපැදිකරුවන්වත් වරදකට හසු කරලා වාසි ලබාගන්න උත්සාහ කරනවා. මොකද නඩු මගට ගියොත් ඒවා දවස් ගණන්, මාස ගණන් ඇදෙනවා. නීතිඥ ගාස්තු විදියට විශාල මුදලක් ගෙවන්න වෙනවා. මේ නිසා අසරණ යතුරුපැදිකරුවන් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න යන්නේ නැහැ. වරද බාර ගන්නවා.
ඒ නිසා පොලීසිය මේ තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන දිගින්දිගටම යතුරුපැදිකරුවන්ව තලාපෙළා දමමින් ඉන්නවා. මේ වෙද්දි 95%ක්ම නීතිය ක්‍රියාත්මක වෙන්නේ යතුරුපැදිවලටයි, ත්‍රිරෝද රථවලටයි පමණයි. යතුරුපැදිකරුවන්ට නීතිය පිළිබඳ හරි දැනුමක් නැහැ. මේ තත්ත්වයන් පොලීසිය තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා.
උදාහරණයක් විදිහට මෑතකදී පොලීසිය එක් යතුරුපැදිකරුවෙක් අත්අඩංගුවට අරගෙන තිබුණා සයිලන්සරයේ ශබ්දය වැඩියි කියලා. නමුත් ඒක තමයි ඒ යතුරුපැදි වර්ගයට එන සයිලන්සරය. යතුරුපැදිකරුවා මේක නොදන්න නිසා වරද බාරගෙන දඩමුදලකට යටත් වෙනවා. එහෙමත් නැත්තම් පොලීසියට කීයක් හරි දීලා තත්ත්වය සමථයකට පත්කර ගන්නවා.
Q අසාධාරණ සිදුවීම් සම්බන්ධයෙන් ඔබලා ඍජුවම ඇඟිල්ල දිගුකරන්නෙ පොලීසියටද?
පැහැදිලිවම, මම දන්නා තරමින් පවතින හෝ පෙර රජයන්වලටත්, මැති ඇමතිවරුන්ටත් කිසිදු අවශ්‍යතාවක් නැහැ යතුරුපැදිකරුවන්ට අඩත්තේට්ටම් කරන්න. මේ රටේ බහුතරයක් ඉන්නේ යතුරුපැදිකරුවො. ඒ නිසා බහුතරයකට ප්‍රශ්න ඇතිකරන්න රජයට අවශ්‍යතාවක් නැහැ. මේක පොලීසියට සල්ලි හොයාගන්න හුඟ කාලයක ඉඳන්ම කරන අසාධාරණයක්.
Q කොයි වගේ විදියටද යතුරුපැදිකරුවන්ට අසාධාරණකම් සිදුවෙන්නෙ?
මේ වෙනකොට අපි කතා කරන කාරණයක් තමයි වාහන වෙනස් කිරීමේ ප්රශ්නය. එහෙමත් නැතිනම් 'මොඩිෆයි' කිරීමේ ප්රශ්නය. මෙරට නීතිය අනුව වාහන වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. නමුත් ඇත්ත තමයි එහෙම කතාවත් තිබුණත් වාහන වෙනස් කරන ව්‍යාපාර ලියාපදිංචි කරලා තියෙනවා.
එතකොට නියම වරද වෙන්නෙ නීත්‍යනුකූල නොවන එවැනි ව්‍යාපාර කරගෙන යන එකද?, එහෙමත් නැත්නම් ඒවා සවිකර ගෙන යන එකද? පොලීසිය ඒ ගැන හිතන්නේ නැහැ. වාහන අලංකාරයට තියෙන බොඩිකිට් ආනයනය කරද්දි බදු ගෙවනවා, විකිණීමේදී බදු ගෙවනවා. ඊට පස්සේ ඒක සවිකර ගෙන පාරේ යන මනුස්සයා තමයි දඩ ගෙවන්න ඕන.
පොලීසිය උත්සාහ කරන්නේ ප්රශ්නය විසඳන්න නෙවෙයි ප්රශ්නය පාවිච්චි කරලා යතුරුපැදිකරුවන් ඇපයට අරගෙන තමන්ගේ මඩි තරකර ගන්න. අද වෙද්දි පොලීසියට අවශ්‍ය විදියටයි රටේ නීතිය අර්ථකථනය වෙන්නෙ. පොලීසිය පොතේ නීතිය තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගෙන ඉන්නවා.
Q රථවාහන සම්බන්ධයෙන් පවතින නීතිරීති පද්ධතිය යාවත්කාලීන විය යුතුයි කියලා ඔබ හිතනවාද?
අනිවාර්යයෙන්ම විය යුතුයි. වාහනයක මුල් ආකෘතිය වෙනස් කිරීම තහනම් කිරීමේ නීතිය ගත්තොත් ඒක ගේන්නෙ 1960 වසරේදී වගේ. ඒ කාලේ වාහන වෙනස් කිරීම තහනම් කළේ වෙනත් අදහසකින්. ඒ කාලයේ වාහන වෙනස් කිරීමේදී තාක්ෂණික ගැටලු මතුවී තිබුණා.
ඒ කාලයේ වැරදි නළාවක් සවි කළාම එය නාද කරද්දි විදුලි කාන්දු වීම් නිසා ගිනි ගැනීමක් සිදුවුණා. රෝද විශාල කරලා සවිකළාම ඇක්සල් කැඩීයෑම සිදුවුණා. ඒ තත්ත්වය නැති කරන්නයි එම නීතිය ගෙන ආවේ. තාක්ෂණය මෙතරම් දියුණු අද වගේ කාලයක් මේ නීතිය මත පදනම් වෙලා කටයුතු කිරීම විහිළුවක්.
වාහන වෙනස් කිරීම කියන්නෙ ලෝකයම පිළිගන්නා කලාවක්. ෆුල්ෆේස් හෙල්මට් ප්රශ්නය ඇති වුණෙත් මේ නිසා. පොලීසියට හොරු අල්ලගන්න බැහැ කියලා යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව නැතිකර ගන්න බැහැ.
මේ වගේ නීතිරීති පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ වගේම නීතියක් ප්‍රායෝගික නොවන හැම තැනකදීම නීතියේ ආධිපත්‍ය නැතිවෙලා පොලීසියේ ආධිපත්‍ය රජ කරන්න පටන් ගන්නවා. නමුත් පොලීසියේ ආධිපත්‍ය‘යේ පැහැදිලිව තිබෙන්නෙ දූෂණය.
දැනට තිබෙන රියදුරු බලපත්‍රය ලබාදෙන ක්‍රමවේදය සහ රියදුරු පාසල්වලින් ලැබෙන පුහුණුව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
කිසිසේත්ම බැහැ. මම රියදුරු බලපත්‍රය ගන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ දැක්කා එතැන තිබෙන දූෂණය. පරීක්ෂකවරයාට රුපියල් 500ක් හරි 1000ක් හරි නොදුන්නොත් පරීක්ෂණය සමත් කරන්නෙ නැහැ.
රියදුරු පාසලක් මාර්ගයෙන් එනවා නම් එයාට සල්ලි දුන්නම එයාලා පරීක්ෂකවරයාට දෙනවා. මේවා මම පෞද්ගලිකවම අත්විඳපු දේවල්. ඉතිං නිසි පුහුණුවක්, ප්‍රමිතියක් නැතිව දූෂණයෙන්, හොර පාරෙන් රියදුරු බලපත්‍රය දෙන රටක රිය අනතුරු වැඩිවීම අහන්නත් දෙයක්ද.
ලර්නස් කරන අයට අවශ්‍ය සල්ලි විතරයි අපි අභියෝගයක් කරනවා පුළුවන් නම් ළඟදී රියදුරු පරීක්ෂණයෙන් සමත් වුණු සිය දෙනෙක් අරගෙන පාරේ හරියට යනවද කියලා පෙන්වන්න කියලා. යතුරුපැදි නෙවෙයි කිසිම වාහනයක් ගැන නිසි පුහුණුවක් ලැබෙන්නේ නැහැ.
වෙන රටවල්වල 'L' පුවරුවෙන් පස්සේ 'P' කියලා පුවරුවක් දෙනවා. ඒක දීලා මාස ගණනාවක් නිරීක්ෂණය කරනවා. හරි විදිහට රිය පදවනවද කියලා. 'P' පුවරුවක් තියෙන කෙනෙකුට අධිවේගී මාර්ගයක ධාවනය කිරීම තහනම්. ඒ විදිහට මාස ගණනක පුහුණුවෙන් පස්සෙ තමයි රියදුරු බලපත්‍රය දෙන්නෙ. අපේ රටේ එහෙමද, රුපියල් 2000ක් දෙනවා නම් දවසින් වුණත් ලයිසන් එක ගන්න පුළුවන්.
Q ලංකාවට එන යතුරුපැදිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නේද?
ලංකාවට එන යතුරුපැදිවල ප්‍රමිතිය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් ඉන්දියාවේ බයික් එකක් ගත්තොත් පොඩ්ඩක් වේගෙන් ගියොත් වැනෙන්න පටන් ගන්නවා. පාලනය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. බලධාරීන් යතුරුපැදිකරුවන් නිසා අනතුරු වැඩියි කියන්න එන්නේ ලංකාවට ගෙන්වන යතුරුපැදිවල ප්‍රමිතිය ගැනවත් හොයන්නෙ බලන්නෙ නැතුව.
Q ඔබේ සංගමයට යම් දේශපාලනික අරමුණක් තිබෙනවාද?
අපට කිසිම දේශපාලන අරමුණක් නැහැ. සමහරු ඊට වැරදි අර්ථකථන දෙන්න උත්සාහ කරනවා. අපි සංගමයක් විදියට උත්සාහ කරන්නෙ පවතින රජයක් සමග යතුරුපැදිකරුවාගේ අයිතීන් දිනාගැනීමක් මිසක් ආණ්ඩු පෙරළන්න යතුරුපැදිකරුවා පාවිච්ච් කරන්න නෙමෙයි. ඒ නිසයි අපි අපේ ගැටලු ජනාධිපතිවරයා වෙතම යොමුකරන්නෙ.
අපි ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු විශ්වාස කරන්නෙ නැහැ. අපි ජනාධිපතිවරයාව විශ්වාස කරන්නෙ ඔහුත් දුප්පත් පවුලකින් ආව දුප්පතාගේ දුක දන්න කෙනෙක් කියන නිසා. කනගාටුවට කරුණ තමයි, තරුණ දේශපාලඥයො අද රටේ ගොඩදෙනෙක් ඉන්නවා. ඒත් ඒ කවුරුත් මේ දුප්පත් තරුණයන්ගේ, මිනිසුන්ගේ රෝද දෙක ගැන කතා කරන්නෙ නැහැ.
Q යතුරුපැදිකරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා නම් ඔබ සංගමය සූදානම්ද ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න?
අනිවාර්යයෙන්ම. පොලීසියෙන් යම් යතුරුපැදිකරුවෙකුට අසාධාරණයක් වෙනවා නම්, අපි සූදානම් ඒ අයට උදව් කරන්න. අපට නිතරම මේ වගේ අසාධාරණකම්වලට ලක්වුණු අය එනවා. දොඩම්ගොඩදී පොලීසියෙන් පහර කාපු ඒ තරුණයා වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ අසාධාරණය වෙනුවෙන් කතා කරලා විතරක් නොවෙයි නීතිඥ සහාය පවා ලබාදුන්නා.
අපේ සංගමය වටා විශාල ශක්තියක් එකතු වෙලා තියෙනවා. ඒ අහිංසක දුප්පත් කොල්ලන්ගේ ශක්තිය. අපි කතා කරන්නේ ඒ අය වෙනුවෙන්. පොලීසියට විස්කි බෝතල් දෙන්න පුළුවන් යතුරුපැදිකරුවන් වෙනුවෙන් නෙමෙයි අපි කතා කරන්නෙ. ඒ නිසා මම කියන්නෙ ඔබට යම් අසාධාරණයක් වෙනවා නම් 077 3 083 479 අංකයට කතා කරලා අපිව සම්බන්ධ කරගන්න.