මහමග අනතුරු හැමදාමත් ඇසෙයි. වරද රියදුරන් හෝ මගීන්ගේ විය හැකිය. එහෙත් හේතුව නොසැලකිල්ලද? නැතහොත් ඔවුන් තුළ සදාචාරයත්, චර්යාවන් සහ විනයගරුකකමත්, මෛත්‍රීය හෝ ඉවසීම නමැති මානව ගුණාංගයන්ගේ පිරිහීමක්ද? එසේනම් එය නිවැරදි කිරීමට කුමක් කළ යුතුද? මේ මාර්ග නීති උල්ලංඝනය සහ රිය අනතුරු සම්බන්ධයෙන් දෙස්විදෙස් රටවල තිස්පස් වසරකට වැඩි කාලයක් පර්යේෂණයන්හි නිරත සහ අත්දැකීම් ලබා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමත් ධර්මරත්න මහතා 'අද'ට දක්වන අදහස් පෙළ ගැසීමකි.
මහපාර කාටත් පොදුද?
පාර කියන තැන කිසිම තනතුරක්, උගත්කමක් මහන්තත්ත්වයක් නැහැ. රටේ ඉහළම පුරවැසියා වන ජනාධිපතිවරයාගේ සිට අන්තිම දිළින්දා දක්වාම එකට හමුවන තැන තමයි මහා මාර්ගය කියන්නෙ. එතැන තියෙන්නෙ අවශ්‍ය එකම දේ මනුස්සකමයි. ඒත් මහපාරෙ තමයි අද වනවිට මේ මනුස්කම නැත්තෙත්. ඒකනෙ හැමදාම මහමග රිය අනතුරු ගැන වාර්තා වෙන්නෙ.
මගියාත් රියදුරාත් කියන්නෙ දෙන්නෙක්ද?
ඇයි අපි එහෙම කියන්නෙ. විටෙක කෙනෙකු රියදුරෙකු වෙනවා. විටෙක ඔහු මගියෙකු වෙනවා. ඔහු රථයක රියදුරෙකු ලෙස ගමන් කරන විට දකින්නෙ මගියා කරන වැරදි. මගියෙකු ලෙස ගමන් කරන විට දකින්නෙ රියදුරන් කරන වැරදි. නමුත් මේ හැමදනාම මහමග වැරදි කරනවා. ඒ කියන්නෙ ඒ අය නොදැන නෙවෙයි. දැනදැනයි ඒ වැරදි කරන්නෙ. එනිසා මහමග සිදුවන රිය අනතුරුවලදී රියදුරන් සහ මගියන් කියලා දෙකට බෙදන්න බැහැ. වැරදිකාරයො කවුද වැරදි නොකරන්නෙ කවුද කියලා නැවත වර්ගීකරණයකට ලක්කරන්නත් බැහැ.
රියදුරන් වැඩියෙන් කරන වැරදි මොනවාද?
රියදුරන්ගේ පැත්ත හිතමු. සමහරු සම්මත වේගයටත් අඩුවෙන් තමන්ගෙ ගමන යනවා. සමහර විට ජංගම දුරකථනයත් කණේ ගහගෙනයි වාහන පදවන්නෙ. එයින් පසුපසින් එන අයට ඉඩක් ලැබෙන්නෙ නැහැ. මාර්ගයේ වාහන තදබදයක් ඇති වෙනවා. කෙනෙකුට ඉස්සර කරන්නත් බැහැ. සමහරවිට එතැන නීතියත් හරස් වෙලා. පසුපස එන කෙනා ගැන හිතන්නෙ නැහැ.
තවත් සමහරු ඉන්නවා තැන නොතැන බලලා ඉස්සර කරන්න යනවා. එතැනත් සිදුවන්නෙ මාර්ග නීති උල්ලංඝනය කිරීමක්. එයින් සාධාරණව නීතිය පිළිපදින රියදුරාත් මහමග මගියාත් අපහසුවට පත්වෙනවා. සමහරු හරිම කලබලයි. හරියට කේන්ති ගන්නවා.
සමහර අය වාහනය නතර කරන්නෙ තවත් පිරිසකට හානියක් වන විදිහට. නගරයක වුණත් තවත් වාහන කිපයකට ඇති ඉඩකඩ අහුරමින් තම වාහනය නතර කරන රියදුරන් අනන්තයි. එය නගරයේ රථ වාහන තදබදයටත්, අනතුරු වැඩිවීමටත් හේතුවක්.
වැඩියෙන්ම රිය අනතුරු කාගෙන්ද?
පර්යේෂණයන් අනුව වැඩියෙන්ම රිය අනතුරු සිදුවන්නෙ ත්‍රිරෝද, බස්රථ සහ ලොරි රථවලින්. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් පෞද්ගලික වාහනය පදවා ගෙන යන අය තමාගේ ගමන එතැනින් පිටත්වූ පසු ආයෙත් ඒ මාර්ගයේ එන්නෙ ආපසු එන ගමනට පමණයි. නැතහොත් වෙනත් පාරකින් ඒ ගමන වෙනත් අතකට ගිහින්. ලොරි, ත්‍රිරෝද රථ, බස්රථ එහෙම නෙවෙයි. ඒවා නිතරම තමන්ට නියමිත මාර්ගය පුරා දිනකට වැඩි වාර ගණනාවක් ධාවනය වෙනවා. එනිසා ඒවායේ රියදුරන් තුළද තදියම, අනාරක්ෂිත බව, නීතිය නොසලකා හැරීම සහ විනය කඩකිරීම් වැඩියෙන් සිදුවෙනවා. ඒ කියන්නෙ එතැන තියෙන්නෙ තරගයක් නිසා.
ඇයි ඒ අයට හිතන්න බැරි මේ තරගය තවත් කෙනෙකු ආබාධිතයෙකු හෝ මරණයට පත් කරවන සිදුවීමක් කියන එක. ඒ නිසා ඒ අය හිතාමතා වැරදි කරන අය කිව්වොත් මා සමග අමනාප විය යුතු නැහැ.
අනික මේ ආකාරයෙන් රිය පදවන අය අතර තියෙන නොසැලකිල්ල තරගය සහ නොහික්මුණු බවත්, සදාචරසම්පන්න නොවීමත් නිසා නිතරම ගැටුම්, ආරවුල්, වචන හුවමාරු සිදුවෙනවා. එයද ආවේගකාරී මිනිසුන්ගේ සිතිවිලි වශයෙන් නොයෙක් රිය අනතුරුවලට අනුබල සැපයීමක් වෙනවා.
නීතියට මේවා පාලනය කළ නොහැකිද?
නීති දැමීමෙන් පමණක් මාර්ගයේ රිය අනතුරු අවම කරන්න බැහැ. නීතිය අවශ්‍යයි. ඒත් ඇයි මිනිසුන් කියන සත්ත්ව කොට්ඨාසය නීතිය මතම යැපෙන්නෙ. හැමවිටම අනුන්ගෙ ගුණදෙස් දකින සහ වැරදි ඉදිරියේ 'ඒවා මට පෙන්වන්ට බෑ' කියන මිනිස්සු, මහා මාර්ගයේදී ඒ ටික අමතක කරලා මගියෙකු ලෙස හෝ රියදුරෙකු ලෙස රිය අනතුරුවලට ඉඩකඩ ලැබෙන විදිහට හැසිරෙනවා නම් ඒ අය කරන්නෙ, සමාජයට පෙන්වන්නෙ බොරුවක් නේද? කෝ ඒ අය දකින සාධාරණත්වය, කෝ මනුස්සකම, කෝ හැදියාව සහ විනයගරුක බව. තමන්ද නීතිය යටතේ පාලනය කරවා ගන්නට උත්සාහ කරන මිනිසුන් ඇත්තටම නීති ගරුකද?
මම මෙතැන්දි මගියා අමතක නොකළා නොවේ. වාහනය දැකදැක අපේ කහඉර කියලා පාරට පනින අය ඉන්නවා. කහඉර උඩ අනතුරුවලට ඒ නොහැදියාවත් එක හේතුවක්. දෙතුන්දෙනා හරස් අතට පේළි හැදී පාරේ යනවා. රියදුරන්ට කළ හැකි දෙයක් නැතිව ඒ නොහික්මුණු අය හැප්පෙනවා. එතැනත් රිය අනතුරක්. කෝ මගියන් කතාකරන නීතිගරුක බවත්, හැදියාවත්. ධාවනය වන වාහන පසුපස දිව ගිහින් වෙනත් වාහනවල ගැටෙනවා. නිරපරාදේ වෙනත් රියදුරන්ට උසාවි සිරගෙවල්වල තපින්නට සිදුවෙනවා.
එහෙමනම් මේ මගියන්ගේ නීතිගරුක බව කොහෙද? කතා කරන්නෙ ආගම ධර්මය පිළිපදින සමාජයක් ගැන. හැමදාම පන්සල්, කෝවිල්, පල්ලි ගියාට තමන් ගැන තමන්ට ස්වයං පාලනයක් නැතිව මහපාර පාවිච්චි කරන්න බැහැ. අද මහපාර ඒ තරමට කාර්යබහුලයි. අනතුරු වැඩිවෙන්නෙ ඒ තරගාකාරී ධාවන පරිසරය නිසයි. පාරවල් නුසුදුසුයි කියනවා වෙනුවට තියෙන ඉඩකඩ පාවිච්චියට නොගැනීම ගැන රියදුරන් සහ ජනතාව ලජ්ජා විය යුතුයි. ආණ්ඩුවෙන් නොකෙරන පාර ලොකු කරන එක ගැන කතා කරන්නෙ ඇයි? තමන් සතුව තියෙන මෛත්‍රීය, ඉවසීම පාවිච්චි නොකරන තරමට ජනතාව දුෂ්ටවන්නෙ ඇයි?
එහෙනම් මේ අර්බුදය ජයගන්නෙ කොහොමද?
රිය අනතුරු කියන්නෙ සමාජ ප්‍රශ්නයක්. මේක සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ ආර්ථික පෞද්ගලික සහ සමාජ අවශ්‍යතාවන් වෙනුවෙන් කරන අරගලයේදී අනතුරු සිදුවන තවත් සාධකයක්. එහෙම නම් ඒ සාධකය වැළැක්වීමට කළ යුත්තේ සමාජය තුළදී ලැබෙන නිසි මැදිහත්වීමත් පාලනය කිරීම සහ කළමනාකරණයත් තුළින් සංවරකම ඇතිකර ගැනීමෙන්. ඒ සඳහා පුද්ගලයා තුළ විනය හික්මීම සාරධර්ම සහ හැදියාව තියෙන්න ඕන.
ඔබ ආගමික පැත්තට බර අදහසක්ද යෝජනා කරන්නේ?
හරියට හරි. මම එතැන්ටයි එන්න යන්නෙ. ඒ නිසා මේක නිවැරදි පැත්තකට යොමුකරවීම ආගමික සංස්ථාව වෙත පැවරෙන වගකීමක් වෙනවා. එහිලා මම තවදුරටත් පහත යෝජනා ඉදිරිපත් කරන්නම්. පළමු වැන්න රජය මගින් මේ සඳහා කාර්යසාධක බළකායක් සම්පාදනය කළ යුතුයි. දෙවැන්න මාර්ග ආරක්ෂාව පිළිබඳ පණිවිඩය පවුල, පාසල, පන්සල, පල්ලිය, කෝවිල හරහා සමාජගත කළ හැකියි.
රිය අනතුරකින් යමෙකු මියගිය පසු අවසානයේ ඒ හැම මළගෙදරකම ආගමික වතාවත් වන්නෙ ඒ ආගමික පූජ්‍ය පක්ෂයෙන් නම් මේ අනතුරු ගැන පණිවිඩය එතැන්දි ලබා දිය හැකියි. බෞද්ධයො නම් පාංශකූලයේදීත්, අවමංගල සභාවේදීත්, හත්දවස තුන්මාසෙ පිංකම්වලදී මේ තත්ත්වය ගැන යමක් සිහිපත් කළ හැකියි කියලා මට හිතෙනවා.
තෙවැන්න මෙය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි කියන කරුණ ඉතා වැදගත්.
සිවුවෙනුව ස්වේච්ඡාවෙන් මිනිසුන්ට මෛත්‍රී කිරීමත් ඉවසීමත් පුරුදු කළ යුතුයි.
පස්වෙනුව හැම මිනිසෙකුටම මට ඉවසීමක් නැතිව පාරෙ යන්න බැහැ. එනිසා මම ඉවසීමට හුරුවෙනවා යන මතය පුරුදු පුහුණු කර දිය යුතුයි.
අනෙත් පැත්තෙන් මිනිසුන් ඒඒ තැනට අනුබලයක් වන පරිදි ගමනේ වේගය, පාර පැනීම, තවකෙකු ඉස්සර කිරීම, පසුපසින්යෑම, අවධානයෙන් ගමන් කිරීම වැනිදේ මගියාද රියදුරුද යන බේදයෙන් තොරව කළ යුතු දෙයක්. රිය අනතුරු අවම කිරීම හැම රට වැසියෙකුගේම වගකීමක්. එතැන්දී ඒ සඳහා කළ හැකි වැදගත්ම දේ තමයි මගියෙකු ලෙස කල්පනාවෙන් මහා මාර්ගයේ ගමන් කිරීමත් රියදුරකු ලෙස ඉවසීමෙන් සහ සංසුන්ව කාලය කළමනාකරණය කරගනිමින් තමන්ට තමන් පාලනය කරගැනීමත් කියන එකයි වැදගත් වන්නෙ. මේ හැම දෙයක්ම සිදුවන්නෙ ආචාරශීලී බවත්, කාරුණිකත්වය සහ ඉවසීමක් නැති රියදුරන්ගේ අශීලාචාර චර්යාවන් නිසයි.
මේ සම්බන්ධයෙන් ඔබ අදහස් කරන ක්‍රියාදාමය කුමක්ද?
කොහාම වුණත් ලබන සිංහල අවුරුද්දෙන් පසු රිය අනතුරු නිවාරණය සම්බන්ධයෙන් ආගමික ස්ථාන සම්බන්ධ කරගනිමින් පුද්ගලයාගේ මාර්ග භාවිතයේ හැදියාව චර්යාවන්ගේ වෙනස සහ මහමග වැරදි අවම කිරීමේ වැඩසටහනක් රිය අනතුරු නිවාරණ සංවිධාන සඳහා හඳුන්වා දීමටත් අප සහ සම්බන්ධිත වෙනත් ආයතන සමග කටයුතු කරනවා. කැමැති අයට අප සමග එකතුවිය හැකියි. ඒක ස්වේච්ඡා මෙහෙවරක්.