මේ රජයට උද්ඝෝෂණ කරන්න ස්ථාන නම් කරන්න ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තිබෙනවා
උද්ඝෝෂණ පැවැත්වීම සඳහා ස්ථාන නම් කිරීමේ ආණ්ඩුවේ සූදානම සම්බන්ධව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන සහ වමේ පක්ෂවලින් යම් යම් හඬවල් ඇසෙමින් තිබෙන අවස්ථාවක එවැනි යෝජනාවක ප්‍රායෝගික වැදගත්කම ගැන කතා කිරීමට අප සම්බන්ධ කරගත්තේ නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සාමාජික, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හරිනි අමරසූරිය මහත්මියයි.
Q උද්ඝෝෂණ පැවැත්වීම සඳහා ස්ථාන නම් කිරීමට රජයේ සූදානමක් ඇතැයි පැවසෙනවා. මෙවැනි යෝජනාවක් ප්‍රායෝගික යැයි සිතනවාද?
එහෙම යෝජනාවක් ආවොත් ඒක භයානක ප්රජාතන්ත්ර විරෝධී එකක්. උද්ඝෝෂණ හුදෙකලාව කරන එකක් නෙවෙයි. ඒ අයට උවමනා තැනක කරන්න වෙනවා. ඒකෙන් එදිනෙදා ජීවිතයට බලපෑමක් වෙනවා තමයි. නමුත් උද්ඝෝෂණවල ස්වභාවය ඒක. ප්රජාතන්ත්රවාදී සමාජයක උද්ඝෝෂණ කරන්නේ කිසියම් හෝ බලපෑමක් කරන්න. කාටවත් පෙන්නැති තැනක ඒ විදියට උද්ඝෝෂණ කරන්න බැහැ.
Q නමුත් රජයේ පාර්ශ්වයේ අදහස වන්නේ මහජනතාව පීඩාවට පත්වීම නිසා මෙවැනි ස්ථාන නම් කිරීමට සිදුවන බවයි?
රජයට මහජනතාව ගැන ඔච්චරම කැක්කුමක් තියෙනවා නම් ප්‍රථමයෙන්ම මහජනතාව උද්ඝෝෂණය කරන හේතුවලට පිළියම් යොදන්න ඕන. උද්ඝෝෂණය පාලනය කරන එක නෙවෙයි කරන්න ඕන. මට පේන්නෙ නෑ මේ ආණ්ඩුවට හෝ හිටපු ආණ්ඩුවලට මහජනතාව ගැන ඔච්චරටම කැක්කුමක් තිබුණාය කියලා.
මහජනතාව මුහුණදෙන ප්‍රශ්න ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම් මහජන ප්‍රශ්නවලට මීට වඩා ඉතා උද්යෝගයෙන් මැදිහත් වෙන්න ඕන. නමුත් එහෙම එකක් පේන්න නැහැ. මේ අයට උද්ඝෝෂණ පාලනය කරන්න ඕන වෙනකොට හිටපු ගමන් මහජනතාවත් මතක් වෙනවා. මහජනතාව ඉදිරියට දාගෙන තමන්ගේ බලය පාවිච්චි කිරීමේ කාර්යයක් මේ කරන්න යන්නේ. සියල්ලටම කලින් මහජනතාව මුහුණදෙන ප්‍රශ්න විසඳලා ඉන්න ඕන.
Q රජය විසින් විසඳිය යුතු ප්‍රධාන ප්‍රශ්න විදියට මොනවද ඔබ දකින්නේ?
දැන් බලන්න ඩෙංගු වසංගතයක් ඇවිත් තිබෙනවා. මිනිස්සු විශාල ප්‍රමාණයක්, රටේ රෝහල්වල ඉඩ නැති තරමට ප්රශ්නය බරපතළ වෙලා තිබෙනවා. සෞඛ්‍ය ඇමතිවරයා කියා තිබුණා මේක සංවර්ධනය වෙනකොට මතුවන ප්‍රශ්නයක් කියලා.
ඒවා මහජනතාව ගැන හිතලා කියන කතා නෙවෙයි. ඒ වගේම කුණු කසළවලට තවම විසඳුමක් නැහැ. දැනට දශක ගාණක් තිස්සේ ප්‍රධාන උද්ඝෝෂණ සිද්ධ වෙන්නෙ අධ්‍යාපනයේ සහ සෞඛයේ තිබෙන ප්‍රධාන ගැටලු නිසයි. ඒ ගැටලු එකකටවත් එක රජයකටවත් උත්තර දෙන්න බැරි වෙලා තිබෙනවා.
අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර දෙකෙන්ම ජනතාව මුහුණදෙන ගැටලු රාශියක් තිබෙනවා. පාසලකට සහ රෝහලකට ගිහින් බැලුවොත් ඒ ගැටලුවලට මිනිස්සු දිනපතා මුහුණදෙන බව පේන්න තියෙනවා. මහජනතාව මුහුණදෙන ප්‍රශ්න අපට හොඳට තේරුම්ගන්න පුළුවන්. අපේ පාලකයන් සොයා නොබලන අංශත් මේ කේෂ්ත්‍ර දෙක තමයි.
පාලකයන්, මැති ඇමතිවරුන් ලෙඩ වුණාම යන්නෙත් අපි යන රෝහල්වලට නෙවෙයි, ඒ අයගේ ළමයි ඉගෙනගන්න යන්නෙත් අපි යන පාසල් හෝ විශ්වවිද්‍යාලවලට නෙවෙයි. මේ කේෂත්ර දෙකම ඒ අයට අදාළම නැහැ. නමුත් ඒ දෙක තමයි ජනතාවට බලපාන ප්‍රධාන කේෂත්ර දෙක. මේ රටේ පසුගිය දශක ගණනාවම බැලූ විට පෙනෙන දෙයක් තමයි වැඩිපුර උද්ඝෝෂණ ඇවිත් තියෙන්නේ අධ්‍යාපන කේෂත්රයේ සහ සෞඛ්‍ය කේෂත්රයේ බව.
Q මෙවැනි උද්ඝෝෂණවලට පිළිතුර පහරදීමද?
පහරදෙන එක පිළිතුරක් නෙවෙයි. රටේ ප්රජාතන්ත්රවාදය තිබෙනවා කියලා පාලකයන් කියනවා. එසේ නම් කිසියම් උද්ඝෝෂණයකට පහරදීමක් කරනවා නම් ඒක වැරදියි. උද්ඝෝෂණ කරනකොට යම් ආකාරයකින් රජයක් හැටියට ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන. අන්තිම වරට පසුගියදා විශ්වවිද්‍යාල සිසුන්ට කරපු ප්‍රහාරය අමානුෂික ප්‍රහාරයක්.
රජයකින් බලාපොරොත්තු විය නොහැකි ප්‍රහාරයක් එදා එල්ල කළේ. උද්ඝෝෂණ පාලනය කිරීමට රජයට අයිතිය තිබෙනවා. නමුත් ඒකට අනවශ්‍ය විදියට බලය පාවිච්චි කිරිමට, පහරදීමට අයිතියක් නැහැ. ශිෂ්ට සමාජයක මෙවැනි ගැටලු ඇති වෙන්න විදියක් නැහැ. ඒකෙන් පෙන්වන්නේ අපි කොතරම් අශිෂ්ටද කියලා. එවැනි ප්‍රහාර සමාජය බාර ගන්න එකත් ඛේදවාචකයක්.
Q උද්ඝෝෂකයන් රාජ්‍ය දේපොළවලට හානි කරනවා නම් රජයකට බලන් ඉන්න බැහැ නේද?
එවැනි අවස්ථාවකදී නිතිය ක්‍රියාත්මක කරලා අවශ්‍ය නම් හිරබාරයටත් ගන්න පුළුවන්. නමුත් එළවා එළවා බිම දාගෙන ගහන්න බැහැ. ඒ සියලු දෙනාම අත්අඩංගුවට ගත්තත් මම විරුද්ධ නැහැ. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා නඩු දාන්න.
Q නමුත් බිම දාගෙන පයින් සහ පොලුවලින් ගහන එක අපට අනුමත කරන්න පුළුවන්ද?
ඒකට සාමාන්‍ය පොලීසියත් නෙවෙයි එස්.ටී.එෆ්. එක පාවිච්චි කළේ. ශිෂ්‍යයො කියන්නේ ත්‍රස්තවාදියො නෙවෙයි. ඒ ගහපු එක හොඳයි කියලා මාධ්‍ය ඇතුළු සමාජයේ විවිධ පිරිස් කියනවා මම දැකලා තිබෙනවා. ඒ වගේ තැනකට අපි සමාජයක් හැටියට එන එක ප්‍රශ්නයක්.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නෙවෙයි හෙට අපට ඕක වෙන්න පුළුවන්. අනිද්දා මොනවාහරි ඉල්ලීමක් වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න බලන් ඉන්න පුද්ගලයන්ට වෙන්න පුළුවන්. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගලයට එකඟ නොවෙන්න පුළුවන්. නමුත් ශිෂ්ට සමාජයක් හැටියට රජය බලය පාවිච්චි කරන සීමාව ගැන සීමාවක් තිබිය යුතුයි.
ඒ සීමා ගැන සමාජයක් හැටියට අපට සංවේදීභාවයක් නැත්නම්, මගේ ළමයාට මට නොවන නිසා අනිත් අයට ඕනම දෙයක් කළාට කමක් නෑ කියන ආකල්පයක් නම් තියෙන්නේ, ඒක භයානක තත්ත්වයක්.
Q මගීන් ඇතුළු පොදු මහජනතාවගේ අයිතිවාසිකම් කඩකරලා වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය සංවිධානවල අයිතිවාසිකම් දිනාගැනීමට සටන් කිරීම යුක්ති සහගතද කියන ප්‍රශ්නයත් තියෙනවා නේද?
උද්ඝෝෂණයක ස්වභාවය තමයි අනිවාර්යයෙන්ම තවත් පාර්ශ්වයකට යම්කිසි බලපෑමක් වෙනවා කියන එක. කාටවත් ප්‍රශ්නයක් නොවන උද්ඝෝෂණ මොන රටකවත් වෙන්නෙ නෑ. බලපෑමක් නැති, කරදරයක් නැති, කාටවත් හානියක් නොවන උද්ඝෝෂණ කරන්නේ කොහොමද කියන එක මම නම් දන්නෙ නෑ. මහත්මා ගාන්ධි උදඝෝෂණය කරද්දිත් තවත් පාර්ශ්වයකට බලපෑමක් ආවා.
ගාන්ධි ඒක අවිහිංසාවාදීව කළේ. කාටවත් ගැහුවේ, බැන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒකෙන් බලපෑමක් වුණා. ප්රජාතන්ත්රවාදී රටක උද්ඝෝෂණ කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබනවා. ඒක අපට පාලනය කරන්න බැහැ. ඒක පාලනය කරන්න පුළුවන් ප්රජාතන්ත්රීය අයිතීන් රැකදෙන නීති රාමුවක් තුළ. එතනදි අනිවාර්යයෙන්ම වෙනස්කම් තියෙන්න පුළුවන්.
සමහර උද්ඝෝෂණවලට අපට එකඟ වෙන්න පුළුවන්, තවත් ඒවාට එකඟ නොවෙන්න පුළුවන්. එලෙස එකඟ නොවීමට අපට සම්පූර්ණයෙන් අයිතිය තිබෙනවා. මෙතන ප්රශ්නය මහජනතාව උද්ඝෝෂණයට එකඟද නැද්ද කියන එක නෙවෙයි. විරෝධතා සහ උද්ඝෝෂණවලට රජයක් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එකයි ගැටලුව.
අපට යම් උද්ඝෝෂණයකට එකඟ නැතිනම් ඒකට විරුද්ධව ලියන්න, එකඟ නැහැයි කියන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. ඒක තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ. ඒ ගොල්ලො කියන දේට අපි ඔක්කොමලා අත උස්සලා එකඟ වෙන්න ඕන නෑ. රජයක් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක, උද්ඝෝෂණයේ හරි වැරදි එක පැත්තක තියලා ප්රජාතත්ත්රවාදී රාමවුක් තුළ අපට එකඟතාවකට එන්න වෙනවා.
Q අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් කොහොමද කම්කරු සහ ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන කතා වෙන්නේ?
මේ වෙලාව වෙනකොට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ කුමන කාර්යයක් සිදුවෙනවාද කියන එක මම දන්නෙ නැහැ. නමුත් අපි ලබාදුන් වාර්තාවේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය, වැඩ වර්ජන කිරීමේ අයිතිය, රැස්වීමේ අයිතිය රැකගත යුතුයි කියන යෝජනා ඇතුළත් වුණා.
අතුරු වාර්තාවේ මානව හිමිකම් පරිච්ඡේදයක් ඉදිරිපත් කර තිබෙනවා මම දැක්කා. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් රැසක් රැකගත යුතුයි කියන යෝජනාව එම පරිච්ඡේදයේ තිබෙනවා. නමුත් අවසාන වාර්තාව ඒක නෙමෙයි. අවසාන වශයෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ මොකද්ද කියන එක ගැන මගේ දැනුමක් නැහැ. ඒ ගැන කිසිවෙකු දන්නවා ඇතැයි කියලා මම හිතන්නෙ නැහැ.
Q ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරද්දි කම්කරු සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන වගන්ති සකස් විය යුතු ආකාරය ගැන ඔබට අදහසක් තිබෙනවාද?
ජ්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව අයිතීන් ව්‍යවස්ථාවක් තුළින් ආරක්ෂා විය යුතුයි. ප්රකාශනයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, දේශපාලන, සිවිල් අයිතීන් ආරක්ෂා විය යුතුයි. අලුත් ව්‍යවස්ථාවක් යථාර්ථයක් වී එනවා නම් එම අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම ආරක්ෂා වීමේ යෝජනා, කොන්දේසි ඇතුළත් විය යුතුයි. ව්‍යවස්ථාවක් එනවද නැද්ද කියන එක වෙනමම කතාවක්.
Q උද්ඝෝෂණ කිරීමට අනෙකුත් රටවල ස්ථාන නම් කර තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද?
ප්රජාතන්ත්රවාදී රටවල මම දන්න තරමින් එහෙම එකක් නැහැ. මම අහලත් නැහැ. නමුත් ඉන්දියාවේ නවදිල්ලිවල එහෙම ස්ථානයක් තිබෙනවා. ඒක ඉන්දියාවටම බලපාන්නෙ නෑ. ලෝකයේ උද්ඝෝෂණවලට ප්‍රසිද්ධ තැන් තිබෙනවා. ඇමෙරිකාවේ වයිට් හවුස් එක ඉදිරියේ දශක ගාණක් තිස්සේ මිනිහෙක් අට්ටාලයක් ගහගෙන ඉන්නවා.
Q උදස්ඝෝෂණ පැවැත්විය යුතු ස්ථාන නම් කිරීමට තරම් ලංකවේ වාතාවරණක් දැනට උදාවෙලා තිබෙනවාද?
මේ රජයට උද්ඝෝෂණ කරන්න තැන් නම් කරන්න ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තිබෙනවා. ඒ ගොල්ලෝ කළයුතු දේ කරනවා නම් උද්ඝෝෂණ ඉබේටම අඩු වේවි. එහෙම නොකර උද්ඝෝෂණ සීමා කරන්න යෑමෙන් ප්රශ්නය තවත් අවුලක් බවට පත්වෙනවා. රජය පොරොන්දු වූ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි.
රජයක් පත්වෙන්නේ යම් කිසි න්‍යාය පත්‍රයක් අනුවයි. එම න්‍යාය පත්‍රයට අනුව ඒ අය වැඩ කරන්න ඕන. යහපාලන ආණ්ඩුවට කරන්න කටයුතු රාශියක් තිබෙනවා. නාස්තිය, දූෂණය නැති කිරීම, අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිර ප්‍රශ්නවලට උත්තර ලබාදීම, දෙමළ මුස්ලිම් ප්‍රශ්නවලට උත්තර ලබාදීම, බඩු මිල අඩු කිරීම, තිරසාර සංවර්ධනය වැනි කොච්චර නම් වැඩ තිබෙනවාද? ඒවා ගැන කිසිවක් නොකර උද්ඝෝෂණ කරන්න ස්ථාන නම් කරන්න යන එක මේ අයගේ ප්‍රධාන කාර්යය වෙලා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

