Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ 4 සහ 5 ශ්‍රේණි කීපය වෙනුවෙන් ප්ලාස්ටික් පුටු ලබාදීමේ යෝජනාවක් පිළිබඳ විවිධ කතාබහක් අධ්‍යාපන පද්ධතිය තුළින් ඇසේ. අධ්‍යාපන ක්ෂේත්රයේ සියලුම අංශවල ගුරු හිඟයක් පවතින බව 2016 ජූලි 04 දින මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය කළේය.
රට පුරා පාසල්වල තවමත් ගුරුවරුන් 23000ක පමණ හිඟයක් පවතින්නේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර 2016 ඔක්තෝබර් මාසයේදී බඩල්කුඹුර මාලිගාතැන්න පාසලේ පැවති උත්සවයකදී අනාවරණය කළේය. තාක්ෂණ විද්‍යාව සඳහා ගුරුවරුන් 5000ක් නැතැයිද ඔහු අවධාරණය කළේය.
මහින්ද ආණ්ඩුව සමයේ ගුරුපත්වීම් ප්රදානය වෙනුවෙන් 2014 ජුනි මාසයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවේ තාක්ෂණ විෂය සඳහා උපාධිධාරී ගුරුවරුන් 400ක් සහ ඉංග්‍රීසි භාෂාවට ගුරුවරුන් 900කගේ පුරප්පාඩු පවතින කතාවකි.
එහෙත් වසර දෙකක් ගතවීද ඒ පුරප්පාඩු පිරවීමක් පිළිබඳ ඇසුණේ නැත. එසේනම් ගුරු හිඟය හේතුවෙන් අධ්‍යාපනයේ අයිතිය අහිමිවන දරුවන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව යෙදූ පිළියම කුමක්දැයි සිසුන් අසන පැනයට අධ්‍යාපන ඇමතිවරයා පිළිතුරු දිය යුතුය.
මේ සියල්ල අතර පාසල් පද්ධතියෙන් පිටතද ළමයින් මුහුණ දුන් අර්බුදයකි. ඒ ඔවුන්ගේ පවුල් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ ප්රශ්නයකි. අවුරුදු 14ට අඩු ළමා ශ්‍රමිකයන් 2544ක් කෑගල්ලේ සිටින පුවත සබරගමු පළාත් ප්‍රධාන ලේකම්වරයා 2014 ඔක්තෝබර් මාසයේ අවධාරණය කළේය.
එයට පෙර 2013 වසරේදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පමණක් දරුවන් 497ක් අපයෝජනයට ලක් වී යැයි සබරගමුව පළාත් පරිවාස කොමාසාරිස් පවසන විට ගැහැනු දරුවන් 27ක් ළමා මවුවරුන් බවට පත්ව ඇති කතාවක්ද ඔහු අනාවරණය කළේය.
අධ්‍යාපනය ලබාගැනීම හෝ අධ්‍යාපනය ලැබුවද වෙනස් කළයුතු යම් ඉලක්කයන් පිළිබඳ තවත් පැතිකඩක විවරණයක්ද එතැන ඇත. එසේනම් පාසල් අධ්‍යාපනය තුළ කළ යුත්තේ භෞතික සම්පත්වලට මුවාවී ප්ලාස්ටික් පන්ති කාමර නිර්මාණය කිරීමද නැතහොත් මහපොළවේ පය ගසා ජීවත් වන මිනිසුන් අත්විඳින සමාජ ආර්ථික සහ නෛතික අර්බුදයන් පිළිබඳ පාසල් පද්ධතිය හරහා ගත හැකි ක්‍රමවේද මොනවාදැයි සොයා ඒවාට පිළියම් යෙදීමද යන්න පාලකයන්ට දැනිය යුතුය.
එහිදී ලංකාව තවමත් සාම්ප්‍රදායික විෂය නිර්දේශයට සහ මීගුල් ක්‍රමයට පමණක් සීමාවී ඇතැයි විද්වත්හු පෙන්වා දෙන යථාර්ථය අධ්‍යාපන බලධාරීන්ට පෙනිය යුතුය.
ඒ අතර ගුරුවරුන් ලෙස සේවය කරන 13%කට කිසිදු වෘත්තීමය සුදුසුකමක් නැතැයිද පුහුණු සහතිකය පමණක් ඇති ගුරුවරුන් 36%ක් පමණ සේවයේ යෙදී ඇතැයිද ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර ගිය වසරේ ඔක්තෝබර් 23 දින ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකදී තහවුරු කළාය. ගුරුවරුන්ගේ වෘත්තීමය දක්ෂතා සංවර්ධනය නොකර පන්ති කාමරය ප්ලාස්ටික් පුටුවලින් සැරසීම පමණක් අර්ථවත් නොවන බව විදුහල්පතිවරු පෙන්වා දෙති.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව පාසල් ළමයින් 10% - 15% අතර පිරිසක් දියවැඩියාවෙන් පෙළෙන බව අනාවරණය කරගෙන තිබේ. රට තුළ පාසල් සිසුන් සිය දිවි නසා ගැනීමට ගන්නා උත්සාහයන් ගත වූ කාලයේ නිරතුරුව ඇසුණි. ළමයින් 45000ක් දෙනා ඇස් පෙනීමේ අබාධ තත්ත්වයට පත්වෙමින් සිටින්නේ යැයි ඇතැම් සෞඛ්‍ය වාර්තා පවසයි.
ගෝලීය පාසල් ශිෂ්‍ය සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ අවුරුදු 13-15 ත් අතර ළමයින්ගෙන් 10%ක් දෙනා වසරකට එක් වරක් හෝ තමාට සිය දිවි නසා ගැනීමට සිතෙන බවට යම් අනතුරු ඇඟවීමකට යොමු වූ වාර්තාවකි. නුවරඑළිය වතු ආශ්රිත ප්‍රදේශයන්හි පමණක් 2013 වසරේ අගෝස්තු 20 දින සිට දින 20ක් ඇතුළත සිසුන් පස්දෙනෙක් සිය දිවි නසා ගත් පුවත වාර්තා විය.
වැඩිමනත් අවශ්‍ය නැත. පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සහ දෙමව්පියන් පුර්ව විභාග සමයේ සිට පත්වන දැඩි මානසිකත්වයත්, පශ්චාත් සමයේ ප්‍රතිඵල ලැබීමෙන් සහ පාසලක් සොයා ගැනීමේදී පත්වන අර්බුදයේ පීඩනය කෙතරම්දැයි යම් විධිමත් විමසුමකට ගතවූ යහපාලන දෙවසර තුළ හෝ ආණ්ඩුව යොමුවීද යන්න අදටත් ප්‍රශ්නාර්ථයක් පමණි.
සුපුරුදු මධ්‍ය මහා විද්‍යාල සංකල්පයෙන් ඔබ්බට ගිය ජනප්‍රිය පාසල් සංස්කෘතියක් 1977 වසරේදී ආණ්ඩුව රටට හඳුන්වා දුන්නේය. දරුවන්ට නොව එහි වාසිය ඇත්තේ විදුහල්පතිවරුන්ටය. ඔවුන්ගේ අතරමැදි හෙංචයියන්ටය. හැමදාමත් අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් වන හෝ අතයට ගනුදෙනු මගින් බහුතරයකගේ බැංකු ගිණුම් සපිරෙන්නේද එහෙයිනි.
දෙමවුපියන් සහ දරුවන්ගේ තරගයට ආකල්පමය වෙනසක් අපේක්ෂා කරන වගකිවයුත්තන් තමන්ගේ ආකල්පමය වෙනසක් තුළින් මේ අර්බුද වටහා නොගැනීම පිළිබඳ ජනතාවට ඇත්තේ කම්පනයකි. එහෙත් පන්ති කාමරය වෙනස් කළ පමණින් හෝ නිලඇඳුම වෙනස් කළ පමණින් දරුවන් තුළ ආකල්පමය වෙනසක් කළ හැකි නම් ඒ තවත් එක් දේශපාලන පිරිවටයක් තුළ පාසල් සිසුන් සිරකරවීමක් පමණක් බව කිවයුතු නැත.
ඒ අතර ගතවූ 2015 අගෝස්තු මාසයේ මහනුවර මූලික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකදී අමාත්‍ය සරත් අමුණුගම කළ ප්‍රකාශයට සවන් දෙමු.
“පාසල් 10,000න් විද්‍යා විෂයන් උගන්වන්නේ පාසල් 800ක ළමයි. විද්‍යා අංශයෙන් උපාධි ලබා 90%ක් රැකියා ලබන විට කලා අංශයෙන් 10%ක් එවැනි අවස්ථාවන් ලබනවා” ඔහු පවසයි. එහෙත් ප්ලාස්ටික් පුටු හෝ පන්ති කාමරය කඩිනමින් වෙනස් කිරීමට මිලියන එක්දහස් ගණනක් යෙදවිය යුතු යැයි ආචාර්යවරයා අවධාරණය කළේ නැත.
විවිධ තර්ක තිබිය හැකිය. පන්ති කාමරය වඩා ප්‍රසන්න තැනක් වූ විට දරුවාට එය යහපත් මනසකින් අධ්‍යාපනය ලැබීමට අනුබලයක් වනු ඇත. එහෙත් පන්ති කාමරය දක්වා පැමිණෙන ගමන් මාර්ගය කටු කොහොල් පිරි කර්කෂ එකක් නම් ඒවා මඟහැර දරුවාට එතැනට පැමිණිය හැකිද? ඒ මග දරුවාට එළිපෙහෙළි කරගත නොහැකි ආර්ථික සමාජ දේශපාලන අර්බුදයන්ගෙන් වසාගත් එකක් නම් දරුවාට කළ හැක්කේ එතැනින් පළා යාම පමණි.
දෙමව්පියන්ට එය කළ හැකි වුවද ඒ පිරිපහදු කිරීම වෙනුවෙන් අවශ්‍ය දැනුම, සම්පත් සහ ශක්තිය ඔවුන්ට නොමැති නම් ඔවුන් කුමක් කළ යුතුද? ඔවුන්ට සිදුවන්නේද දරුවා සමගින් එතැනින් ඉවත්වීමටය. එසේනම් මේ අර්බුද දිනාදීම රජයේ වගකීමකි. පාලකයන්ගේ කාර්යභාරයකි. එහිලා ආණ්ඩුව නැමැති වග විය යුතු පාර්ශ්වය මේ දක්වා ගෙන ඇති පියවර කුමක්ද?
සිසුන් ගණිතය විෂය අසමත් වීම පිළිබඳ හේතු සෙවීමට 2014 මැයි 3 දින විද්වත් කමිටුවක් පත්කරන තැනට අධ්‍යාපනය කඩා වැටී ඇතැයි වාර්තා විය. එහෙත් ගණිතය විෂය ඉගැන්වීමට අදටත් ගුරුවරුන් නැති පාසල් කෙතරම්ද?
ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් 18ක සනීපාරක්ෂක පහසුකම් නැත. පාසල් 56 ක පානීය ජලය නැත. පාසල් 16ක ගුරු නිවාස ප්‍රශ්න ඇත. පාසල් 11ක විදුලිය නැතැයිද 2014 වසරේ පුවතකින් අනාවරණය විය. එසේ තිබියදී පන්ති කාමර තුළ තිබෙන පුටුව දරට විසිකර ප්ලාස්ටික් පුටු මිලදී ගැනීමේ වාසිය කාටදැයි පාසල් සිසුන් අසන පැනය පාලකයන්ට ඇසිය යුතුය.
දැන් නැවත ප්ලාස්ටික් පුටු කතාවට හැරෙමු.
මෙරට රජයේ පාසල් 10,162 ක් ඇතැයි 2016 අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තා දක්වයි.
4 ශ්‍රේණිය් ඉගෙනුම ලබන සිසු පිරිස 352,237කි. 5 ශ්‍රේණියේ සිසු පිරිස 345,262කි. පොදුවේ එක් පන්තියක සිසුන් 40ක් වෙතැයි උපකල්පනය කර ඉහත දැක්වූ සිසු පිරිස අනුව ගණනය කරන්නේ නම් පන්ති කාමර 17,000ක් පමණ වනු ඇත. පාසල් ප්‍රමාණයෙන් 75%ක් පමණ මේ අනුව ප්ලාස්ටික් පුටු සඳහා සුදුසුකම් ලැබිය හැකි යැයි අනුමාන කළ හැකිය.
මාධ්‍ය වාර්තා දක්වන පරිදි යෝජිත සැලැස්ම අනුව 4 සහ 5 ශ්‍රේණි සඳහා පන්ති කාමර 12,000ට ප්ලාස්ටික් පුටු සහ මේස ලබාගැනීමට යෝජිතය. 2016 ඔක්තෝබර් වන විට ටෙන්ඩර් කටයුතු සිදුවී ඇතැයි පැවසේ. ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 1930කි. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසේ.
රජයේ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසු පිරිස 2016 වාර්තා අනුව 4,143,330කි. මේ හැමදෙනාටම ප්ලාස්ටික් පුටු ලබාදෙන්නේ නම් ඇතිවන පරිසර හානියත් වැය කළ යුතු අනවශ්‍ය මුදලත් පවතින ලීපුටු හා මේසවලටත් සිදුවන දේ උගතුන් සහ විද්වතුන්ගේ අවධානයට යොමු විය යුතු කරුණකි.
කෙසේ හෝ ප්ලාස්ටික් සහ පොලිතින් අවම කිරීම සහ තහනම් කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රබල යෝජනාවකි. නොදිරන, දිරන සංවාදය පසෙක තබා මේවා කෙතරම් පරිසර හිතකාමීදැයි යන්න තවත් තර්කයකි.
දෙවැන්න ලීපුටු මේස භාවිතයෙන් පරිසරයට සිදුවන වාසිදායක තත්ත්වය පාසල පන්ති කාමරය තුළින් ඇසිය යුතු කතාවකි. ආකල්ප වෙනස් කළ යුත්තේ එතැනින්ය. ගහක් සිටුවමු. දැව ලබා ගනිමු. ඵල ලබා ගනිමු. කපා ගන්නා ගස වෙනුවට තවත් පැළයක් සිටුවා පරිසරය රැක ගනිමු යැයි කියන තැනට පන්ති කාමරය වෙනස් කළ යුතුව ඇත.
එහෙත් ප්ලාස්ටික් පුටු ගෙන්වමු. ඒවා කැඩුණු පසු තවත් පුටුවක් මිලට ගනිමු. කැඩුණු ඒවා පරිසරයට හානිකර යැයි අනාගතයේ නැවත අරගලයක් කරමුයි යන්නට සිසුන් යොමු කරවීම අධ්‍යාපන බලවතුන්ගේ වගකීම නොවිය යුතුය.
පොලිතින් ප්ලාස්ටික් එපා යැයි සිසුන් පාසල් තුළින් පෙළඹවීම වෙනුවට ඒවා හැකිතරම් පාසලෙන් ඉවත් කිරීමේ ආකල්පමය වෙනසකට පාසල් බලධාරීන් සහ රජයේ මැති ඇමතීන් ආකල්පමය වශයෙන් වෙනස් කළයුතු කාලය එළඹ ඇතැයි පාසල්් පන්ති කාමරය තුළින් ඇසෙන යෝජනාවකි.
භාවිතයේදී ප්ලාස්ටික් ඉක්මනින් කැඩී බිඳී යයි. නිවෙස් තුළ භාවිත වන මෙවැනි පුටු පවා වසර දෙක තුනක් ගතවන විට විනාශව නිවස වටා ගොනුකර හෝ මහ මඟ දමා ඇති අයුරු සුලභ දෙයකි.
ලී පුටුවක්, මේසයක් කැඩුණද ඇණයක් ගසා නිවසේදීම සාදාගත හැකිය. යකඩ කම්බියෙන් සෑදු එකක් නම් ආසන්නයේ ගරාජයකට ගෙන ගොස් අලුත්වැඩියා කළ හැකිය. එහෙත් ප්ලාස්ටික් පුටුව එසේ කළ නොහැකිය. කළ හැකි දේ පැත්තකට විසිකර පරිසරයට එක් කිරීමය.
තවද දහදිය දැමීම සහ පෞද්ගලික කායික අපහසුතාවන් සැලකීමේදීද මෙම පුටුවල පවතින අහිතකර බව වෛද්‍යවරු අවධාරණය කරති. නමුත් මෙම පුටු මිලදී ගැනීමේදී තාක්ෂණ කමිටුවක් පත්කර ඇතැයි පැවැසුවද එම සාමාජිකයන්ට දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් මිස හෙට දවසේ මතු විය හැකි වෙනත් අර්බුද අපහසුතා සහ හානි සිහිපත්කර දීමට නොහැකි නම් එතැන ඇත්තේද උමා ඔය ව්‍යාපෘතියට නොදෙවෙනි තවත් ව්‍යාපෘතියක වෙනත් පැතිකඩක් පමණි.
පරිසර හිතකාමී සහ සෞඛ්‍යයට අහිතකර නොවන ලීපුටු මේස නිසා අධ්‍යාපනය වැටී ඇතැයි යමෙකු සිතන්නේදැයි නොදනිමු. එසේනම් කළ යුත්තේ කාගේ හෝ අතට යමක් ලැබෙන නොමනා ක්රමෝපායන් හඳුන්වාදීම වෙනුවට සැබවින්ම දරුවන් වෙනුවෙන් පාසල තුළින් කළ යුතු කාලීන යුග මෙහෙවර කුමක්දැයි පාලකයන් සිතා ගැනීමය.
මේ අතර ජාත්‍යන්තර පාසල් පවා සිසුන් අත්විඳින අපහසුතාව සලකා ප්ලාස්ටික් වෙනුවට ලීපුටු භාවිතයට යොමු වීමේ යෝජනාවක සිටින්නේ යැයි පැවසේ. සුපිරි පාසල් තුළ දැනුම ලබා කේක්, සොසේජස් බුදින සංස්කෘතියකින් හෙබි සිදාදියේ ඇත්තන්ගේ අපේක්ෂාවන් 70%ක් ගැමි දරුවන් සිටින රටේ අධ්‍යාපනයට කෙතරම් ගැළපෙන්නේදැයි ජනතාව අසති.
අධ්‍යාපනය යනු මානව හිමිකම් ප්රඥප්තිය තුළ සංස්කෘතික අනන්‍යතාවකි. එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය හදාරා එහි පහස විඳ ඇති අය පමණක් දන්නා දෙයකි.
වැව් බැඳි රාජ්‍යයේ ගොවි ගෙදර ලෑලි බංකුව මත වාඩි වී රතු කැකුළු බතක්, සම්බෝලයක් සමග පිල් කොටේ සිට රස බැලූ ජනාධිපතිතුමාට මේ වෙනස වටහා ගැනීම අපහසු නොවනු ඇතැයි ජනතාව පවසන කතාබහ එසේම ඇසිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd