රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ දැඩි ලෙස කතාබහ ඇතිවූයේ අඟහරුවාදා භික්ෂූන් වහන්සේලා පිරිසක් එම සරණාගතයන් රැඳී සිටි මධ්‍යස්ථානයක් වෙත යාම සහ එහිදී ඇතිවූ තත්ත්වයද සමගිනි.
සරණාගතයන්ට පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති අතර, සිදුකළ හැක්කේ තාවකාලිව රඳවා තබාගැනීමක් පමණි. එයද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ අධීක්ෂණය යටතේය. ඒ සඳහා ප්‍රතිපාදන ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අතර, අඟහරුවාදා ඇතිවූ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි ලෙස කතාබහට ලක්විය.
මේ නිසාම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක්ද සිදුකළේය.
එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ හිටපු රොහින්ග්‍යා මියන්මාර් සරණාගතයන් පිරිසකට ගල්කිස්සේදී චීවරධාරීන් පිරිසක් පහරදීම, මාධ්‍ය ඇමතිවරයා වශයෙන් පමණක් නොව, ශ්‍රී ලාංකීය බෞද්ධයෙක් හැටියටත් මම තරයේ හෙළා දකිනවා. අපි කුඩා කාලේ ඉඳලම බෞද්ධයන් හැටියට අපිට උගන්වන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියන්න. කවදාවත් අපිට උගන්වලා නෑ සිංහල සත්වයන්ට නීරෝගී වෙත්වා කියන්නවත්, බෞද්ධ සත්වයන්ට නීරෝගී වෙන්න කියන්නවත්. සියලු සත්වයන් වෙනුවෙන් අනුකම්පාව තියෙන ආගමක් තමයි බෞද්ධාගම, ධර්මයක් තමයි බෞද්ධ ධර්මය. නමුත්, මේ සියල්ල කෙළෙසමින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ පසුගිය මාස කිහිපය තුළ තාවකාලිකව ලංකාව තුළ රැඳී සිටින මේ අහිංසක සරණාගතයන්ට පහරදීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් හැටියට අපි හැමෝම දකින්න ඕන. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිවලට අනුකූලව යම් කෙනෙක් සරණාගතයෙක් හෝ සරණාගතයන් හැටියට රටට ඇතුළු වෙනවා නම් ඒ අය තාවකාලිකව රැකබලාගෙන ඒ අයට සුදුසු තැනක් ලැබුණාම එහි පදිංචි කිරීම සාමාන්‍ය සිරිතයි.
ඇත්ත වශයෙන්ම මෙය රොහින්ග්‍යා සරණාගතයන් ලංකාවට ආපු පළමු වතාව නෙමෙයි. 2008 මාර්තු මාසේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මේ වගේම සරණාගතයන් පිරිසක් මුහුද මැද අසරණ වූ වෙලාවේ ඒ අයගේ ජිවිත බේරාගෙන, කාලයක් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ලංකාවේ මේ ආකාරයටම තියාගත්තා. පසුව, 2012 වෙනකොට ඒ අය ඇමරිකා එක්සත් ජනපදයේ සරණාගතයන් හැටියට පිළිගත්තායින් පස්සේ ඒ රටවල්වල පදිංචියට ගියා*
අඳුරේ ඉදිරිපත් කළ පනත
විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කරමින් අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවා තිබිණි. පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව සංශෝධනය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුව කැඳවීමේ එකම අරමුණ වී තිබිණි.
එසේ වුවද එදින පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අඩු සහභාගිත්වයක් දක්නට ලැබිණි. දුර පළාත් මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ අඩුවක් පැවැති අතර, මොනරාගල ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු වරක් පවසා සිටියේ, මොනරාගල සිට කොළඹට පැමිණීමට වරකට රුපියල් 15,000ක් පමණ වැයවන බවයි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු සතියේ හැර එක් දිනක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව මන්ත්‍රීවරයා පවසා තිබිණි.
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයෙන් පසුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් විය.
ඇමති ෆයිසර් අදාළ යෝජනාව ප්‍රකාශ කරන විටම පාර්ලිමේන්තු සභාගර්භයේ විදුලිය විසන්ධි විය. විදුලි ආලෝකය නොමැති වුවද සභාගර්භයේ මයික්‍රෆෝන ක්‍රියාත්මක වු බැවින් ඇමති ෆයිසර් අඳුරේම පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විදුලිය නොමැති බව පවසමින් කෑගසන්නට වූහ.
'කළුවරයි. මොකුත් පේන්නෙ නැහැ. කළුවරේ පනත් සම්මත කරන්න බැහැ. මේවා කළුවරේ කරන්න බැහැ' ආදී ලෙස ඔවුන් දිගින් දිගටම කියන්නට වූ අතර, ෆයිසර්ද සිය කතාව නොනවත්වා පැවැත්වීය. කෙසේ හෝ මිනිත්තු පහකට පමණ පසුව සභා ගර්භයේ විදුලි පහන් යළි ආලෝකමත් විය.
එවිට මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක තිලංග පැවසුවේ, &ආ දැන් හරි ලයිට් ආවනේ. දැන් නිශ්ශබ්ද වෙන්න* කියාය.
පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙන අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට විදුලි විසන්ධි වීම් සිදුවුණද, එය ප්‍රතිසංස්කරණය කිරීම මෙතෙක් කටයුතු කර නොමැත.
මේ හේතුවෙන් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට අමතරව මේ පිළිබඳ සොයාබලා අවශ්‍ය සකස් කිරීම් සිදුකරන ලෙස විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා විදුලිබල මණ්ඩලයටද එදිනම උපදෙස් දී තිබිණි.
ඔබතුමාට මොකද්ද තියෙන හදිස්සිය
පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා ආණ්ඩුව විසින් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළද, ඒ සඳහා ජනමත විචාරයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දීමත් සමග පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට නොගත්තේය.
ඒ පිළිබඳ පසුව දැනුම් දෙන බව එදින ආණ්ඩු පාර්ශ්වය විසින් දැනුම් දෙන ලදී. කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නොමැත.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවට ආණ්ඩු පක්ෂය පැවසුවද, එය මෙතෙක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇතුළත්ව ඇති බවට මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට චෝදනා කළේය.
එයට පිළිතුරු ලබාදුන්නේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලයි.
'ඔබතුමාට මොකක්ද තියෙන හදිස්සිය. ඒක තීරණය කරන්නේ ආණ්ඩුව. ඒක ආණ්ඩුවේ වැඩක්. විස්ස ගැන අපේ තීරණය අපි සාකච්ඡා කරලා දැනුම් දෙන්නම්. න්‍යාය පත්‍රයේ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඔබතුමා කලබල වෙන්න එපා.
මූලාසනයට ගරු කරන්න පුරුදු වෙන්න
සෙස්බදු සම්බන්ධ නියෝග කිහිපයක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර, එහිදී ඒකාබද්ධය වෙනුවෙන් මුලින්ම විවාදයට එක්වූයේ මන්ත්‍රී බන්දුලයි.
&අද විශේෂ පාර්ලිමේන්තු දවසක්. ඒත් මන්ත්‍රීවරු බොහොමයක් අඩුයි. කථානායකතුමා හැමදාම පාර්ලිමේන්තුවේ වියදම් වැඩියි කියලා කියනවා. ඒත් විශේෂ පාර්ලමේන්තු වාරයක් දාලා එදා විවාදයට ගන්න විෂයයේ ඇමතිවත් පාර්ලිමේන්තු ඇවිත් නැහැ. මොකද්ද මේ විහිළුව.*
බන්දුල එසේ කිව්වේ සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්රමයට. එදින මලික් පාර්ලිමේන්තු පැමිණ නොසිටි අතර, ඔහුගේ රාජ්‍ය ඇමති සුජීව පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.
ආර්ථික කාරණයක් බැවින් බන්දුල දිගින් දිගටම කතා කරගෙන ගිය අතර, ඔහුට වෙන්කර ඇති කාලසීමාව අවසන් වුවද සිය කතාව අවසන් නොකළ බැවින් කතාව අවසන් කරන ලෙස මූලාසන දැන්වීය.
එවිට මූලාසනයේ සිටියේ මන්ත්‍රී බිමල් රත්නායකය.
'ඔබතුමාට කතා කරන්න තව කාලය අවශ්‍ය නම්, ඒකාබද්ධයේ කතික ලැයිස්තුවේ මන්ත්‍රීලගේ කාලයෙන් එයාල කැමැතිනම් ගන්න පුළුවන්.
කවුද ඉන්නෙ ඊළඟට,
ලක්ෂ්මන් සෙනවිරත්න, ගාමිණී ලොකුගේ* යැයි බිමල් ලැයිස්තුව කියවන විට ඒකාබද්ධයේ මන්ත්‍රීවරු උස්හඬින් සිනහසෙන්නට වූ අතර, බිමල් එවිට මදක් කිපුණු අතර දැඩි ස්වරයෙන් කතා කරන්නට විය.
'මන්ත්‍රීතුමා මූලාසනයට ගරු කරන්න ඉගෙන ගන්න. කතා කරන්න ඕන නම්, කාලය ගන්නෙ කාගෙන්ද කියන්න.*
'ලක්ෂ්මන් සෙනවිරත්න ඒකාබද්ධයේ නොවෙයි. එයා තාම ආණ්ඩුවේ ඉන්නෙ' යැයි බන්දුල එවිට කිව්වේය.
'මට ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාගේ කාලය දෙන්න* බන්දුල එසේ පවසමින් සිය කතාව නැවත ආරම්භ කළේය.
දන්නවනේ ලොක්කගේ හැටි
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් වැඩමුළුව සෙනසුරාදා පැවැත්වුණේ ජාඇලදීයි. සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් සංවිධානය කර තිබූ එයට යොවුන් පෙරමුණු සභාපති කාවින්ද ජයවර්ධන සහ මන්ත්‍රී රවි සහභාගි වූහ. ජාඇල සංවිධායක ජෝසප් මයිකල් එයට පැමිණියද ඔහුට සභාව ඇමතීමට අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් ඔහුගේ කලබලකාරී හැසිරීමෙන් වැඩමුළුව අතරමග නතර කිරීමටද සිදුවිය.
'ජාඇල සංවිධායක මම. මේකේ මම කතා කරන්නේ නැද්ද? මම සංවිධායක. නායකතුමා ඒක දන්නවා. මේ වැඩේ වැරදියි.'
එසේ කියමින් සභාව ඇමතීමට ජෝසප් මයිකල් සභාවට ගොඩවුවද මයික්‍රෆෝනය ක්‍රියාවිරහිතව තිබූ බැවින් ඔහුට සභාව ඇමතීමට නොහැකිව යළිත් බැණ වදින්නට විය.
'මේකද යූඇන්පී එක. ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ පෙරමුණේ නායකයො මෙහෙමද කටයුතු කරන්නෙ. ජාඇලින් මම තමයි මන්ත්‍රීවරයෙන් බිහිකළේ' ආදී ලෙස පවසමින් ජෝසප් මයිකල් දැඩි වාග්ප්‍රහාරයක් එල්ල කළේය. ඒ අතරතුර රවි සහ කාවින්ද සභාවෙන් නැගිට ගිය අතර, වැඩමුළුවද එමගින් අවසන් විය.
අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු භෝජනාගාරයට යමින් සිටි අතර, මන්ත්‍රී බන්දුල ගුණවර්ධන භෝජනාගාරයේ සිට පිටතට පැමිණෙමින් සිටියේය.
කාවින්ද දුටු ගමන් බන්දුලට ජාඇල සිදුවීම මතක් වූ අතර කොරිඩෝවේ නැවැතී බන්දුල සිදුවූයේ කුමක්දැයි කාවින්දගෙන් විමසන්නට විය.
'කාවින්ද මොකද්ද මේ අවුලක් ඇතිකර ගත්තා කියන්නෙ?'
'නැහැ සර් එහෙම දෙයක් නැහැ. යොවුන් පෙරමුණේ වැඩමුළුවක් තිබුණේ.'
'ඇයි ඉතිං අපේ ජෝසප්ට කතාවක් දුන්නේ නැත්තේ?*
&එහෙම දෙයක් නැහැ සර්, ඒක උත්සවයක් නෙවෙයි වැඩමුළුවක් නේ. සිරිකොතින් එවපු කතා ලැයිස්තුවේ විදියට තමයි වැඩේ කරගෙන ගියේ.
අනික සර් ඒක ජාඇල වැඩක් නෙවෙයි දිස්ත්රික්කෙම වැඩක්. අපි මොකුත් ප්‍රශ්න ඇතිකළේ නැහැ. ජෝසප් මයිකල් මහත්තයාටත් ආරාධනා කරලා තිබුණේ.'
'ඒ වුණාට කාවින්ද ඔයාට අනාගතයක් තියෙනවා නේ. පරිස්සමින් වැඩකරන්න. ජ්යේෂ්ඨයොත් එක්ක අවුල් ඇතිකර ගන්න එපා. අනික දන්නවනේ ලොක්කගේ හැටි. ඔයවගේ අවුල් ඇතිකර ගත්තොත් ලොක්කා මොකද කරන්නේ කියලා මම හොඳට දන්නවා. ඒ නිසා පරිස්සමින්* යැයි කියූ බන්දුල පිටතට ගියේය. එදින පාර්ලිමේන්තුවේදී කාවින්දගෙන් බොහෝ දෙනෙක් මෙම සිදුවීම පිළිබඳ විමසූහ.
හිටපු ජනපති මහින්ද සහ ඇමති රාජිත හමුව
චීන මහජන සමූහාණ්ඩුවේ 68 වැනි ජාතික නිදහස් දින උත්සවයේ කොළඹ උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උත්සවයට සහභාගි වනවිට පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු රැසක් ඊට එක්ව සිටියහ. සෞඛ්‍ය අමාත්‍යවරයා වේදිකාවේ සිට සිය දේශනය පැවැත්වීමට යනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපෙළ අසුනක අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා තම දේශනය ආරම්භයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්ද අවසරද ලබාගැනීමට වගබලා ගත්තේය. දේශනය අවසන් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා පහතට පැමිණ හිටපු ජනාධිපතිවරයාට අතට අතදී පිළිගත් අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා &රාජිත කොහොමද?* කියා විමසුවේය. &මට තවත් උත්සවයකට යන්න තිබෙනවා හිටපු ජනාධිපතිතුමා ඒ නිසා මම යනවා* යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සිනාමුසු මුහුණින් පිළිතුරු ලබාදුන්නේය. එවිට හිටපු ජනාධිපතිවරයා 'බොහොම හොඳයි රාජිත' යනුවෙන් ප්‍රකාශ කළේය. උත්සවය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමග සුහද කතාබහකද නිරත විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා චීනය විසින් ලබාදීමට පොරොන්දු වූ ඖෂධ පරීක්ෂණාගාරය සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ඉතිරි මහල් 13 ඉදිකිරීම පිළිබඳ විමසීය. කොළඹ ජාතික රෝහලේ සෙසු මහල් 13 ඉදිකිරීමට ප්‍රමාද වන්නේ නම්, වෙනත් රටකින් ණය ආධාර ලබාගැනීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. එවිට චීන තානාපතිවරයා පැවසුවේ, ඉදිරියේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවයි.
උත්සවයෙන් පසුව පැවති සාදයට මැතිඇමතිවරුන් ඇතුළු සියළු දෙනාම එක්වුණ අතර හිටපු ජනාධිපති මහින්ද ද එයට එක්ව සිටියහ. සාදයේ සිටින පිරිස් ඡායාරූපශිල්පීන් විසින් ඡයාරූපගත් අතර ජාතික පුවත්පත ජායාරූප ශිල්පියෙක් විසින් මහින්දගේද ඡායාරූපයක් ගත්තේය.
සාදයේ සිටින මහින්දගේ ඡායාරූප ගත්තේ ඇයිදැයි මහින්දගේ ආරක්ෂකයකු විසින් ඡායාරූපශිල්පියාගෙන් විමසු අතර වහාම එය මකාදමන ලෙසටද තර්ජනය කලේය.
ඔයා එහෙම කියන්නේ ඇයි. මම ගත්තු ෆොටෝ කාටවත් පෙන්නන් මම බැදිලා නැහැ. ඒවා මකන්නෙත් නැහැ. ඔහු කිව්වේය.
කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡන්දය දෙන එක අපේ වගකීමක්
අඟහරුවාදා දිනයේදී ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී විශේෂයෙන් අවධානයට යොමු වුණේ පළාත් සභා පනත සංශෝධනය කිරීම පිළිබඳව මතු වී ඇති තත්ත්වය සහ විගණන පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳවය.
'පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය වීම ගැන කරුණු හරිහැටි ජනතාව අතරට ගියේ නැහැ. සමහරු තවමත් හිතාගෙන ඉන්නේ විස්ස සංශෝධනය අධිකරණය තීන්දුවට පිටුපාලා තුනෙන් දෙකෙන් සම්මත කරගත්තා කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන සිහිනය බිඳවැටුණු ඒකාබද්ධ විපක්ෂය අපේ පක්ෂයට මඩ ගහනවා. මේ කරුණු නිසා පනත ගැන නිවැරදි දේශපාලන සංවාදයක් ජනතාව අතරට ගියේ නෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය.
'රාජපක්ෂ කණ්ඩායම මුලදී පළාත් පාලන මැතිවරණය ඕනෑ කියලා කෑ ගැහැව්වා. දැන් පළාත් සභා ඕන කියලා කෑ ගහනවා. එක එක වෙලාවට තමන්ට වාසි වෙයි කියලා හිතෙන දේශපාලන ප්‍රකාශ සිදුකරනවා. රාජපක්ෂ කණ්ඩායම ඡන්ද ඉල්ලුවට ඇත්තටම ඡන්දවලට බයයි. කොහොමත් ශ්‍රී.ල.නි.පය දෙකඩ වෙනවා ඡන්දයකදී. ඒකට බයයි. ඒකයි ඇත්ත කතාව. ඒකාබද්දෙට ප්‍රාදේශීය සභා මැතිවරණය ආවාම අපේක්ෂකයෝ තෝරගන්න එක අර්බුදයක් වෙනවා. ඒකයි පළාත් සභා මැතිවරණයට බය. ඒක වහගන්න අපිට මඩ ගහනවා” සුනිල් හඳුන්නෙත්ති කිව්වේය.
'පළාත් සභා පනතට සංශෝධන ගෙනාපු විදියේ කැතක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ කියන එකට තවත් හොඳම උදාහරණයක් තමයි මේක. නමුත් මේ පනතෙන් පළාත් සභා මැතිවරණයටත්, මනාප නැති ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක රටටත්, ජනතාවටත් වැදගත්. කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡන්දය දෙන එක අපේ වගකීමක්. රාජපක්ෂ කණ්ඩායම දෙවැනි වර කියවන අවස්ථාවට ඡන්දය දුන්නේ නැහැ. ඒ කියන්නේ කාන්තා නියෝජනයට විරුද්ධයි. ඒ වෙලාවේ 44ක් විරුද්ධ වුණා. ඒත් සංශෝධනවලට ඡන්දය දුන්නේ 37යි. 7ක්ම ඡන්දෙට හිටියෙත් නැහැ. මහින්ද රාජපක්ෂ ආවෙත් නැහැ. තමන්ගේ මන්ත්‍රීවරු ටිකවත් එක තීරණයක තියාගන්න බැරි බංකොලොත් කණ්ඩායමක් තමයි අපිට චෝදනා කරන්නේ” අනුර දිසානායක කියාගෙන යන්නට විය.
'ඔව්, රාජපක්ෂ කණ්ඩායම කියන තරම් මේ පනත මාරාන්තික නම් පනතට ඡන්දෙ දීලා තමන්ගේ විරෝධය පළකරන්න ඕනෑ. රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් ගහන ගමන් තමයි අපිට චෝදනා කරන්නේ. සිරිලිය ගිණුම් ගැන, රාජපක්ෂ දරුවන්ගේ අපරාධ ගැන පරීක්ෂණ නැත්තේ ඩීල් නිසයි. අපි වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. රනිල්වත්, මහින්දවත් සතුටු කරන්න නෙවෙයි කියලා අපි රටට පැහැදිලි කළ යුතුයි” ටිල්වින් සිල්වා කීවේය.
ඇත්තටම මේ වෙලාවේ ජනතාවට ඕනෑ අවුරුදු දෙකහමාරක් විතර පස්සට ගිය පළාත් පාලන ඡන්දේ. පළාත් සභා ආව නම් ඡන්දෙ තියෙන්නේ පළාත් සභා 03ක විතරයි. පළාත් සභා 03ක ඡන්දය ආවා නම් ආණ්ඩුව ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලේ බැහැලා බඩු බෙදලා, ආණ්ඩුවේ සම්පත් පාවිච්චි කරලා ඡන්දෙ කරයි. ඊට වඩා මුළු රටේම ඡන්දය තියෙන එක අපිටත් හොඳයි. ජනතාවටත් හොඳයි. ඒ නිසා අපි හරි දේ වෙනුවෙන් පෙනී හිටිය බව මඩවලට රැවටෙන්න නොදී ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ” ලාල්කාන්ත කියා සිටියේය.
බිමල්ගෙන් ජනාධිපතිට ඉල්ලීමක්
2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කොට ඝාතනය කරන ලද විද්‍යාගේ සිදුවීමට සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව බදාදා යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශයට පත්කෙරිණි. මෙම සිද්ධියේ චූදිතයන් වූ සුවිස් කුමාර් ඇතුළු හත්දෙනෙකුට මරණ දඬුවම නියම වුණ අතර විද්‍යා දැරියගේ මවට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීමටද අධිකරණය නියෝග කළේය.
නඩුව විභාගයට ගත් බදාදා දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී බිමල් රත්නායක, යාපනය දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත ගොස් සිටියහ. මෙහිදී විශාල පිරිසක් තීන්දුව දැන ගැනීම සඳහා උසාවි භූමියට පැමිණ සිටියහ. බිමල් රත්නායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නඩු තීන්දුවට පෙර විද්‍යාගේ මව හමුවීමට අවස්ථාවක් උදාකර ගත්හ. විද්‍යාගේ සිදුවීමෙන් සතියකට පමණ පසු බිමල් රත්නායක මන්ත්‍රීවරයා විද්‍යාගේ මව හමුවූ අතර, ඇයට ඔවුන් මතකයේ රැඳී තිබුණි. මව ඉතාම සංවේදීව දියණිය ගැන සිහිපත් කළාය.
නඩු තීන්දුවෙන් අනතුරුව පැමිණ සිට නීතිඥයෝ, නීති සිසුහු ඇතුළු සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් තීන්දුව පිළිබඳව සෑහීමකින් කතාබහ කළ අතර, බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමග කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් කියා සිටියේය.
&මන්ත්‍රීතුමා මේ නඩු තීන්දුව ඉතාමත් ඓතිහාසික එකක්. ඒ වගේම ඉලංගචේලියන් විනිසුරුතුමා වෙනම නඩු තීන්දුවක් ලබාදුන්නා. එතුමා ගැනත් ලොකු ප්‍රසාදයක් තියෙනවා” නීතිඥයෙක් මන්ත්‍රීවරයාට කියා සිටියේය.
&විජයකලා මන්ත්‍රීවරියත් මේකට පැටලිලා තිබුණා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් මාස 4ක් 5ක් ඇතුළත තමයි මේ සිදුවීම සිදුවුණේ. කොහොම නමුත් මේ සිදුවීම මුළු රටම කම්පා කළ එකක්. විනිසුරු මඬුල්ලේ කටයුතු ප්‍රසංශනීයයි” බිමල් රත්නායක කියා සිටියේය.
&ළමා අපචාර සිදුකරන පුද්ගලයන් එකකින් නවතින්නේ නැහැ. ඔවුන්ට එක සිදුවීමකින් දඬුවම් නොලැබුණහොත් ඉදිරියටත් එවැනි දේවල්වලට යොමු වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ජනාධිපතිවරයා මේ දැරියගේ ඝාතනයෙන් පස්සේ යාපනයට ආවා. ඇවිත් පොරොන්දු වුණා ළමා අපචාර සිදුවීම් පිළිබඳව විභාග කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. දැන් මාස 28ක් පමණ ගතවෙලා ඉවරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ නඩු තීන්දුවවත් පාදක කරගෙන ළමා අපචාර සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා. ඒකෙන් තමයි ළමයින්ට සිදුවන අපචාරවලට යම් නීතිමය ආවරණයක් ලැබෙන්නේ” බිමල් රත්නායක මන්ත්‍රීවරයා යාපනයේ සිට මාධ්‍ය මගින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
සාමාන්‍ය කෙනෙකුට ගිහියෙකුට කොහොමවත් එහෙම කියන්න බැහැ
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බදාදා අරලියගහ මන්දිරයේදී දානමය පිංකමක් සංවිධානය කර තිබූ අතර, රටට සෙත් පැතීම එහි අරමුණ වූ බව එහිදී ප්‍රකාශ විය.
මෙම දානයට නොවඩින ලෙස ඇතැම් දේශපාලඥයන් භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටි අතර, ඇතැම් භික්ෂූන් වහන්සේලා එයට නොවඩින බවද පැවසූහ.
භික්ෂූන් වහන්සේලා දහස්නමක් එයට වැඩමකර සිටි අතර, එහි අනුශාසනාව පැවැත්වූයේ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් විසිනි.
&මේ අවස්ථාවේ මම විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක් තිබෙනවා. මේ දානමය පිංකමට වැඩමකරන්න එපා කියලා අපේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා තිබුණා. සමහර භික්ෂූන් වහන්සේලාත් ප්‍රකාශ කරලා තිබුණා. මහා සංඝයාට එවැනි නිවේදනයක් නිකුත් කිරීමට ශක්තිය තිබෙන්නේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක නාහිමියන් වහන්සේට, එහෙම නැතිනම් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක නාහිමියන් වහන්සේට, අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හෝ ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පමණයි. සංඝයාට දානයකට වඩින්න එපා කියලා සාමාන්‍ය කෙනෙකුට, ගිහියෙකුට එවැනි ප්‍රකාශයක් මොන විදිහකින්වත් කරන්න බැහැ*
වෙල්ගම කනගාටුවෙන්
කථානායක කරු ජයසූරිය ඇතුළු නියෝජිතයන් පිරිසක් මේ වන විට ඇමරිකාවේ අධ්‍යයන චාරිකවක නිරත වෙමින් සිටී.
නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර යන අමාත්‍යවරුන්ද, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන්ද මෙම චාරිකාවට එක්ව සිටිති.
ඇමරිකානු කොංග්රසයේද සහය ඇතිව මෙය පැවත්වෙන අතර, මෙහිදී වැඩමුළු කිහිපයකටම මෙම කණ්ඩායම සහභාගී වූහ.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස එරට පාර්ලිමේන්තුව නැර්ඹීමටද සහභාගී වූහ. එමෙන්ම එහිදී ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ විශේෂ වැඩමුළුවකට සහභාගී වීමටද අවස්ථාව ලැබුණු අතර, ඔක්තෝම්බර් 02 දක්වා මෙම අධ්‍යයන චාරිකාව සිදුකෙරේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ලෙස කටයුතු කළ චාරිකාවේදී සියල්ලෝම සුහදව කතාබහ කරමින් සිටින අතර, පාර්ලිමේන්තුවේ සිදුවීමක් පිළිබඳ මන්ත්‍රී වෙල්ගම මෙම කණ්ඩායම සමග සාකච්ඡා කළේ ඇමරිකානු කොංග්‍රසයේ වැඩමුළුවෙන් පසුවයි.
පළාත් සභා ඡන්දය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ අකාරයේ වරදක් වූ බව වෙල්ගම මෙහිදී පිරිසට පැවසීය.
මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කර ඡන්දය ලබාදීමට හැකිවූවා නම් එය හොඳ බවත්, එලෙස සිදුකිරීමට නොහැකි වීම පිළිබඳව වෙල්ගම කණගාටුවත් පළ කළේය.
දියවන්නාරාළ විසිනි
diyawannarala@gmail.com