Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
අපේ රටේ මේ වන විට මහ නගර සභා, නගරසභා හා ප්‍රාදේශීය සභා වලට දේශපාලන නායකයන් නැතහොත් ජනතා නියෝජිතයන් පත් කර තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුළ මහජන නියෝජිතයන් නොමැතිව පරිපාලන නිලධාරීන් විසින් මෙම ආයතන කෙටි කාලයක් පාලනය කරනු ලැබුවා. දැන් මෙම නවක ජනතා නියෝජිතයන් හා පරිපාලන නිලධාරීන් සියලුදෙනාම එකතු වී මෙම පළාත් පාලන ආයතන, එම ප්‍රදේශවල සිටින මහජනතාවට වඩාත් විශිෂ්ට සේවාවන් ලබාදෙන කාර්යක්ෂම, සඵලදායී හා පිරිමැසුම්දායක ආයතන බවට පත්කළ යුතුයි. නමුත් අවාසනාවකට පසුගිය කාල පරිච්ඡේදවල මෙම ආයතන අකාර්යක්ෂම හා දූෂණයෙන්, වංචාවෙන් පිරි ආයතන ලෙස බොහෝදෙනා විවේචන කළා. ඒ නිසා මේ ආයතන දූෂණයෙන් හා වංචාවෙන් තොරව මනා ලෙස පාලනය වන ආයතන බවට පත් කිරීමට අපි සියලු දෙනාටම කළයුතු විශාල කාර්යභාරයක් තිබෙනවා. ජනමාධ්‍ය මගින් දැනගැනීමට ලැබෙන පරිදි දැනටමත් ආරම්භයේදීම පුරපතිවරුන්, සභාපතිවරුන් හා නියෝජිතයන් පත්කිරීමේදී නොයෙක් අක්‍රමිතා සිදුව තිබෙන බව වාර්තා වී තිබෙනවා. එය පළාත් පාලන ආයතනයන්ගේ ඉදිරි පැවැත්ම හා වර්ධනයට අහිතකරයි. කෙසේ වෙතත් අලුතින් පත් වී ඇති පුරපතිවරු හා පුරපතිනිය, සභාපතිවරු සහ අනෙකුත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ආරම්භයේදීම මනා පුහුණුවක් ලබාදී, ඔවුන් වඩාත් කාර්යක්ෂම හා සඵලදායී දේශපාලන නායකයන් බවට පත් කරවීමට ඉගෙනුම් අවස්ථා උදාකරදීම පළාත් සභා මට්ටමෙ මෙන්ම ජාතික මට්ටමේ සිටින දේශපාලන නායකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගෙ යුතුකම හා වගකීමයි.
මෙම පළාත් පාලන ආයතනවල නවක දේශපාලන නායකයන්ගේ දැනට තිබෙන දැනුම යාවත්කාලීන කිරීමටත්, කුසලතා සංවර්ධනය කිරීමට සහ ඔවුන් තුළ යහපත් ධනාත්මක ආකල්ප ගොඩනැගීම සඳහා ජාතික මට්ටමේ මෙන්ම පළාත් සභා මට්ටමේ සිටින අදාළ වගකිවයුතු දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන්ට විවිධාකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබෙනවා. එය ඔවුන්ගේ යුතුකමක් හා වගකීමක්ද වෙනවා. විශේෂයෙන්ම මෙම නිලධාරීන්ට පළාත් පාලන ආයතනවලට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමට සහ එම තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචනයට අවශ්‍ය වන උපායමාර්ග කළමනාකරණය, සාමාන්‍ය කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, පරිසර කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය වැනි ක්ෂේත්‍ර පිළිබඳව පැතිරුණු දැනුමක් තිබිය යුතුයි. එමෙන්ම පළාත් පාලන කටයුතුවලට අදාළ නිතීරීති අණපනත් චක්‍රලේඛන පිළිබඳවත් දැනුමක් ලබාදිය යුතුයි. මෙම දේශපාලන නායකයන්ට නායකත්වය, මනා සංදේශනය, ගැටලු විසඳීම හා නිරාකරණය, ගැටුම් කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතාව හා මහජන සම්බන්ධතාව වැනි කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ දැනට තිබෙන කුසලතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. පළාත් පාලන ආයතනයක යහපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා දැනුම කුසලතා පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම නවක දේශපාලන නායකයන් සත්පුරුෂ ගතිලක්ෂණ තිබෙන යහපත් නායකයන් ලෙස කටයුතු කිරීම සඳහා මනා දැනුම හා කුසලතා සමග යහපත් මානසික තත්ත්වයකින් හෙබි මනුෂ්‍ය ගතිලක්ෂණ තිබෙන අය බවට පත්කළ යුතුයි. ඒ සඳහා ඉතා වැදගත් වන්නේ ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමට ඉගෙනුම් අවස්ථා ලබාදීමයි. ඒ සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන සෑම වැඩසටහනකදීම මෙම නායකයන්ගේ ආකල්ප සුබවාදී හා ධනාත්මක කරදීමට කටයුතු කළ යුතුය. එම යහපත් ආකල්ප මගින් ඔවුන්ට අවංකව, නීතිගරුකව, සදාචාරාත්මකව, යුක්ති සහගතව, මනා විනයකින් යුතු ජනතා නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය වේ. පසුගිය කාලවල බොහෝදෙනා සඳහන් කළේ මෙම පළාත් පාලන ආයතනවල දේශපාලන නායකයන්ගේත්, පළාත් පාලන නිලධාරීන්ගේත් විනය පිරිහී ඇති බවයි. මෙම අයගේ විනය පිරිහෙන විට මෙම ආයතන නිරායාසයෙන්ම අකාර්යක්ෂම සහ ඵලදායී නොවූ ආයතන බවට පත්වෙනවා. ප්‍රදේශයේ ජනතාවට බරක් නැතහොත් කරදරයක් වන ආයතනයක් බවට පත්විය යුතු නැහැ.
අපට දැනගැනීමට ලැබී ඇති පරිදි දැනටමත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මෙම නායකයන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගෙන යනවා. එම වැඩසටහන් වඩාත් විද්‍යාත්මකව හා නිර්මාණාත්මකව නවීන ඉගෙනුම් හා සංවර්ධන ක්‍රම ගොඩනැගීම හා ක්‍රියාත්මක කිරීමට ඉතා වැදගත් වෙන දෙයක්. පවතින සාම්ප්‍රදායික වැඩසටහන් හා ක්‍රමවේදයන්ගෙන් ඈත්වී වර්තමානයට ගැළපෙන මෑතකදී ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රම පිළිබඳ අධ්‍යයනයක් කර වඩාත් නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු වෙනවා.
පළාත් පාලනය සඳහා නවීන දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම්කරණය
ඉහතින් සඳහන් කළ පරිදි මෙම නවක දේශපාලන නායකයන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වෙනස් කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්. පළාත් පාලන ආයතනයක් මනාව මෙහෙයවීම සඳහා සංවර්ධනය වූ කාර්යක්ෂම, සඵලදායී, පිරිමැසුම්දායී මානව සම්පතක් තිබීම ඉතා වැදගත්. මෙම සංවර්ධනය වූ මානව සම්පත තම පළාත් පාලන බලප්‍රදේශයේ සිටින ජනතාවට ආකර්ෂණීය සේවයක් කර එම අයගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගත යුතුයි. එහිදී පළාත් පාලන ආයතනය සතු අනෙකුත් භෞතික සම්පත් එනම්, මුදල්, ද්‍රව්‍ය, යන්ත්රසූත්ර, උපකරණ, ගොඩනැගිලි, ඉඩකඩම් වැනි භෞතික සම්පත් මනා ලෙස හසුරුවන, ඒවා තවත් වැඩිදියුණු කර එම ප්‍රදේශයේ සිටින ජනතාව අමන්දානන්දයට පත් කළ හැකි මනා සැලසුම්කරණයකින් යුතුව මෙම ආයතන මෙහෙයවිය යුතුයි. ඒ සඳහා උපායමාර්ගික කළමනාකරණයේ එන මූලධර්ම පදනම් කරගෙන පළාත් පාලන ආයතනයේ ඉදිරි අවුරුදු හතර සඳහා විද්‍යාත්මක දිගුකාලීන උපායමාර්ග සැලැස්ම සහ එම දිගුකාලීන සැලැස්ම පදනම් කරගෙන එක් එක් අවුරුද්දට වාර්ෂික සැලැස්මකුත්, එම වාර්ෂික සැලැස්ම පදනම් කරගෙන අදාළ වර්ෂයේ අයවැය ලේඛනයක් සහ වාර්ෂික සැලැස්ම පදනම් කරගෙන දේශපාලන නායකයන්ගේ සහ පරිපාලන නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීමේ සැලැස්මකුත් පිළියෙල කරගත යුතුයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම පළාත් සභාවේ සිටින ප්‍රධාන ලේකම්තුමා, පළාත් පාලනය පිළිබඳව වගකීම් දරන පළාත් සභාවේ එම කාර්යභාර ලේකම්තුමන්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමන් ප්‍රධාන වශයෙන් මේ කටයුත්තට නායකත්වය සහ මගපෙන්වීම සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. මම ඉහතින් සඳහන් කළ ආකාරයට දිගුකාලීන හා වාර්ෂික සැලසුම් සකස් කිරීමෙන් පසු ඒවා අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව පාළාත් පාලනය භාරව සිටින ලේකම්තුමත්, කොමසාරිස්තුමත් ප්‍රගති සමාලෝචනයක් කළ යුතුයි. එම ප්‍රගති සමාලෝචනය මාසිකව කිරීම ඉතා වැදගත් වේ. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමා විසින් ඉහත ක්‍රියාවලියට අනුව අවම වශයෙන් මාස තුනකට වරක්වත් පළාත් පාලන ආයතන තුළ ප්‍රගති සමාලෝචනයක් කිරීම ඉතා වටියි. එම ප්‍රගති සමාලෝචනයේදී හඳුනාගන්නා අඩුපාඩු වහාම ඉවත් කිරීමට කටයුතු කර පළාත් පාලන ආයතනය නිවැරදි මාර්ගයට යොමුකර, එම ප්‍රදේශයේ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන විශිෂ්ට ගණයේ ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කිරීම අපි හැමෝගෙම වගකීමක් බව මම සලකනවා.
පළාත් පාලන ආයතන සංවර්ධන - කාර්යසාධන සංවර්ධන උපායමාර්ග සැලැස්ම
ඉහතින් සඳහන් කළ සැලසුම්කරණය සඳහා යොදාගත හැකි සරල එහෙත් වඩාත් විද්‍යාත්මක සැලසුම් ආකෘතියක් මා විසින් ගොඩනගා තිබෙනවා. එය ආයතන සංවර්ධන - කාර්ය සංවර්ධන උපායමාර්ග සැලැස්මයි (OD/PISP- ORGANIZATIONAL DEVELOPMENT - PERFORMENCE IMPROVEMENT STATADICK PLAN). මෙම ආකෘතිය මම ගොඩනගා තිබෙන්නේ ලෝකයේ බිහි වී ඇති නවීන කළමනාකරණ විෂයයන් කිහිපයක මූලධර්මයන් පදනම් කරගෙනයි. එනම් උපායමාර්ග කළමනාකරණය, ප්‍රතිඵල පාදක කළමනාකරණය, වෙනස්වීම් කළමනාකරණය, කාර්යසාධන කළමනාකරණය සහ උපායමාර්ග නායකත්වයයි. පළාත් පාලන ආයතනයක් නිවැරදි දිශාවට ගෙනයාම සඳහාත් මහජනතාවට වසරින් වසර වඩා විශිෂ්ට සේවාවක් ඉටුකර පළාත් පාලන ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් මෙම ආකෘතියට අනුව සකස් කරන සැලැස්ම ඉතාමත් ප්‍රයෝජනවත් බව මගේ විශ්වාසයයි.
මම මේ ආකෘතිය මේ වන විට පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් සෑම පළාත් සභාවකම ප්‍රධාන ලේකම්තුමාටත් ඉදිරිපත්කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විටත් සබරගමු පළාතේ ප්‍රධාන ලේකම්තුමා විසින් එයට යහපත් ප්‍රතිචාර දක්වා ප්‍රථමයෙන්ම එම සැලසුම් ආකෘතියට අනුව සබරගමු පළාත් සභාවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස්කොට අදාළ ප්‍රධාන ආයතන සියල්ලටම ආකෘතියට අනුව උපායමාර්ග සැලසුම් සකස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම එතුමාගේ අපේක්ෂාව අනාගතයේදී සබරගමු පළාතේ පත්වන පුරපතිවරුන්ට හා සභාපතිවරුන්ට මෙම නවීන සැලසුම්කරණ ආකෘතිය පිළිබඳ අවබෝධයක් ලබා දී ඒ පළාත් පාලන ආයතනවලට උපායමාර්ග සැලසුම් සකස් කර ඒවා යහපත් මහජන සේවයක් ලබාදෙන කාර්යක්ෂම ආයතන බවට පත් කිරීමටයි.
කාර්ය සංවර්ධන උපාය සැලැස්මේ අපේක්ෂාවන්
අප ගොඩනගා ඇති සැලසුම් ආකෘතියට අනුව විද්‍යානුකූල ක්‍රමයකට සැලැස්මක් සකස් නොකළහොත් දේශපාලන නායකයන් හා අදාළ නිලධාරීන් තම තමන්ට කැමති අයුරින් හැසිරෙන්නත්, තම තමන්ට කැමති දේවල් කරන්නත් ඉඩ තිබෙනවා. ඒ ඒ පුද්ගලයන් තම තමන් කැමති දේවල් නොකර පළාත් පාලන බලප්‍රදේශයේ ආර්ථික, සමාජීය, සංස්කෘතික දියුණුවක් ඇති කිරීම සඳහා සියලුදෙනා එකඟව කළයුතු දේවල් කිරීමට මෙම සැලසුම් ක්‍රමය මගින් හැකි වෙනවා. මෙම ආකෘතියට අනුව සැලැස්ම සකස් කිරීමට දේශපාලන නායකයෝත්, පළාත් පාලන ආයතනයේ නිලධාරීන් හා අනෙකුත් කාර්යමණ්ඩලයත් එකට එකතුවී කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි. එහිදී සියලුදෙනා එකතුවී මූලික ප්‍රශ්න කිහිපයක් අසා සාමුහිකව ඒවාට පිළිතුරු සෙවිය යුතුයි. එනම්,
1. අපේ පළාත් පාලන ආයතනය පසුගිය වසර තුනක කාලයේදී තිබූ තත්ත්වය කෙසේද?
2. අප දැන් සිටින්නේ කුමන තත්ත්වයේද?
3. අපි ඉදිරි වසර හතරක කාලය තුළ පත්වීමට අපේක්ෂා කරන තත්ත්වයන් මොනවාද?
4. එම තත්ත්වයට පත්වීමට අප කළ යුත්තේ මොනවාද?
මේ අනුව මෙම සැලැස්මෙන් පහත සඳහන් අපේක්ෂාවන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
වසරින් වසර පළාත් පාලන ආයතනයේ පැවැත්ම හා වර්ධනය වැඩිදියුණු කරවීම.
පළාත් පාලන බලප්‍රදේශයේ සිටින ජනතාවට ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ සේවාවක් ලබාදී ඔවුන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික දියුණුවක් ඇතිකරලීම.
පළාත් පාලන ආයතනයේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීම හා ඒ සම්පත්වලට අදාළ අපතේ යෑම, නාස්තිය අවම කිරීම.
පළාත් පාලන ආයතනයේ කටයුතු පිළිබඳ මනා පාලනයක් තිබීම.
වෙනස් වන පරිසර තත්ත්වයන් ගැළපෙන ආකාරයට පළාත් පාලන ආයතන වසරින් වසර වෙනස් කිරීම.
පළාත් පාලන බලප්‍රදේශයේ තිබෙන අනෙකුත් ආයතන සමග මනා සම්බන්ධීකරණයක් ඇතිකිරීම හා ඒවා අතර තිබෙන සන්නිවේදන බාධා ඉවත් කිරීම.
මනා මූල්‍ය කළමනාකරණයක් ඇතිකිරීම සහ පළාත් පාලන ආයතනයේ ආදායම් විවිධාංගීකරණය කිරීම සහ ආදායම් එකතු කිරීම යහපත් කිරීම.
පළාත් පාලන ආයතනයේ කටයුතුවලට ජනතා සහාභාගිත්වය වැඩිදියුණු කිරීම සහ මනා සංවාදයක් ගොඩනගා ගැනීම.
පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ සහ අනෙකුත් කාර්යමණ්ඩලයේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම.
කාර්ය සංවර්ධන
උපාය සැලැස්මේ
අදියර සහ පියවර
මෙම උපායමාර්ග සැලසුම් ආකෘතියේ ප්‍රධාන අදියර 5ක් සහ එක් එක් අදියර යටතේ අනුගමනය කළයුතු පියවර 18ක් තිබෙනවා. ඒවා සංක්ෂිප්තව පහත පරිදි ගොනු කළ හැකියි.
උපායමාර්ගික මාර්ගෝපදේශික උපාංග ගොඩනැගීම සහ වර්තමාන කාර්යසාධන මට්ටම් මැනීම.
මෙම අදියර යටතේ එන පියවර 7කි. එනම්,
1. ආයතනයේ සේවාලාභීන්ගේ අපේක්ෂාවන් හඳුනාගැනීම සහා ආයතනික වටිනාකම්
තීරණය කිරීම.
2. ආයතනික මෙහෙවර/ අභිප්‍රාය
ප්රකාශනය ගොඩනගා ගැනීම.
3. ආයතනික දර්ශන / ඉදිරි දැක්ම
ගොඩනගා ගැනීම.
4. දිගුකාලීන අභිමතාර්ථ ගොඩනගා ගැනීම.
5. කෙටිකාලීන අරමුණු හා කාර්යසාධන දර්ශක හඳුනාගැනීම.
6. වර්තමාන කාර්යසාධන මට්ටම් හඳුනාගැනීම හා අනාගත ඉලක්ක පිහිටුවීම.
7. පරමාර්ථ අරමුණු සහ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා උපායමාර්ග, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් හඳුනාගැනීමත් ඒවා ඉෂ්ට කිරීමට අදාළ වගකීම් දරන කණ්ඩායම් හඳුනාගැනීම.
කාර්යසාධන ගැටලු සහ බාධාකාරී, අහිතකර බලවේග හඳුනාගැනීම.
8. ආයතනය මුහුණ දෙන අභ්‍යන්තර දුර්වලතා මෙන්ම බාහිර පරිසරයෙන් එල්ලවන අභියෝග හඳුනා ගැනීමට දත්ත රැස් කිරීම.
9. එම දත්ත විශ්ලේෂණය කිරීම හා වර්ගීකරණය කිරීම.
10. ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට දායක වන හිතකර බලවේග. එනම් අභ්‍යන්තර ශක්තීන් හා බාහිර අවස්ථා හඳුනාගැනීම හා විශ්ලේෂණය.
11. බාධාකාරී බලවේග හා අහිතකර බලවේග ඇගයීම.
බාධාකාරී බලවේග ඉවත් කර ගැනීමටත්, හිතකර බලවේග පාවිච්චි කිරීමටත් උපායමාර්ග සහ ක්‍රියාකාරී වැඩසටහන් ගොඩනැගීම
12. උපාය මාර්ග ගොඩනැගීමට නිර්මාණාත්මක අදහස් බිහිවීමට බුද්ධි කලම්භනය
13. බුද්ධි කලම්භනයෙන් ගෙඩනගා ගත් අදහස් තුළින් උපායමාර්ගයන් හා වැඩසටහන් හඳුනාගැනීම.
14. උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීමට අදාළ වගකීම් සහ සම්බන්ධීකරණ කණ්ඩායම් හඳුනාගැනීම.
තුන්වැනි අදියරේ හඳුනාගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු හඳුනාගැනීම.
15. උපාය මාර්ග සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි සහ ඇතිවිය හැකි දුෂ්කරතාවන් හඳුනාගැනීම සහ ඒවා පිටුදැකීමට කටයුතු කිරීම.
16. බාධා පිටුදැකීමට අවශ්‍ය කතිකා කළයුතු ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගැනීම සහ ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගයන් මොනවාද යන්න හඳුනාගැනීම.
17. වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු ප්‍රමුඛතා ලේඛනගත කර ගැනීම.
උපායමාර්ගික, ප්‍රගති සමාලෝචනය ඇගයීම සහ පාලනය
ඉහත විස්තර කරන ලද කාර්යසාධන සංවර්ධන උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගති සමාලෝචනය සහ මෙහෙයවීම පළාත් පාලන ආයතනයේ දේශපාලන නායකයන්ගේත්, පරිපාලන නිලධාරීන්ගේත් ප්රමුඛ වගකීමයි. ඔවුන්ට ඉහළින් සිටින ජාතික මට්ටමේ සහ පළාත් සභා මට්ටමේ දේශපාලන නායකයන් සහ පරිපාලන නිධාරීන්ටද මේ සඳහා මනා මගපෙන්වීමක් ලබාදීමට කටයුතු කිරීම පළාත් පාලන ආයතන නිවැරදි මාර්ගයේ නිවැරදි දිශාවට යොමු කිරීමට අත්‍යවශ්‍ය වේ. අවසාන වශයෙන් කළමනාකරණ කියමනකින් මෙය මම සම්මුඛ සාකච්ඡාව අවසන් කිරීමට කැමතියි.
%සාර්ථකත්වය යනු දියුණු වෙමින් යන චාරිකාවකි. එය ගමනාන්තයක් නොවේ. අපි සියලුදෙනා දැනගත යුත්තේ අප ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ නිවැරදි දිශාවටද යන්නයි.^ එබැවින් පළාත් පාලන ආයතනයත් නිවැරදි මාර්ගයේ නිවැරදි දිශාවට යොමුකිරීම සඳහා කාර්යසාධන සංවර්ධන උපාය මාර්ග සැලැස්මක් නිර්මාණය කර එය ක්‍රියාවට නැංවීම සඳහා අප සියලුදෙනාම ඇපකැප වී කටයුතු කළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd