ජගත් නිදහස් ජනමාධ්‍ය දිනය, නිදහස, ව්‍යාජ ප්රවෘත්තිකරණය, පශ්චාත් සත්‍යය සහ පශ්චාත් විශ්වසනීයත්වය
සෑම වසරකම මැයි මස 03 වැනිදා යුනෙස්කෝ සංවිධානයේ මූලිකත්වයෙන් ලෝකය පුරා පුවත්පත් නිදහස් දිනය සමරනු ලැබේ. ලෝක පුවත්පත් නිදහස් දිනයේ මූලික අරමුණු වන්නේ ජනමාධ්‍ය නිදහසේ මූලිකාංග සිහිපත් කිරීම, ලොව පුරා ජනමාධ්‍ය නිදහස පිළිබඳව පවතින තත්ත්වය තක්සේරු කිරීම, ජනමාධ්‍ය නිදහසට තිබෙන තර්ජනවලින් ආරක්ෂා වීම, සිය වෘත්තියේ නියැළී සිටියදී ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් සිහිපත් කිරීම ආදියයි.
මෙවර ලෝක පුවත්පත් දිනයේ තේමාව වී ඇත්තේ 'සාමකාමී සහ යුක්ති සහගත සමාජයකට සියල්ලගේ සහභාගීත්වය ලබා ගැනීමෙහිලා ජනමාධ්‍ය භූමිකාව' යන්නයි. ලෝක නිදහස් පුවත්පත් දින ප්‍රධාන උත්සවය මේ මස 01 වැනිදා සිට 03 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තාහිදී පැවැත්වේ.
1991 වසරේ අප්‍රිකානු ජනමාධ්‍යවේදීන්ගේ, ‘‘මාධ්‍ය බහුවිධත්වය (Pluralism) සහ නිදහස සඳහා වන ''වින්ඩිහොක් ප්රකාශනයට'' ප්‍රතිචාර වශයෙන් එම වසරේ පැවැති යුනෙස්කෝ සංවිධානයේ මහ සමුළුවේදී නිර්දේශ කරන ලදුව 1993 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය ප්‍රකාශයට පත්කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්රකාශනයට අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමැති මාධ්‍යයකින් අදහස් සහ තොරතුරු ප්‍රකාශ කිරීමටත්, තමන් කැමැති මාධ්‍යයකින් තමන්ට අවශ්‍ය තොරතුරු සහ අදහස් වෙත ප්‍රවේශ වීමටත් නිදහස තිබිය යුතුය. එම කාර්යයන් සඳහා පහසුකම් සැලසීමේ මූලික වගකීම පැවරී තිබෙන්නේ ජනමාධ්‍යයන් වෙතය. ක්‍රියාශීලී ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික ලක්ෂණයක් වන්නේ නිදහස් මත සහ නිවැරදි, සත්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කිරීමටත්, ඒවා සඳහා ප්‍රවේශ වීමටත් ස්වාධීන, බහුත්වවාදී, විවිධත්වයෙන් යුතු ජනමාධ්‍ය වපසරියක් පැවතීමය.
ලෝකයේ ජනමාධ්‍ය නිදහස නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වන ෆිරීඩම් හවුස් (Freedom House) විසින් පසුගිය සිකුරාදා නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ජනමාධ්‍ය නිදහස නොමැති කාණ්ඩයේය. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන ලකුණු ප්‍රමාණය 64%කි. එය පසුගිය වසරට වඩා ලකුණු 3 කින් ඉහළ යාමකි.
පශ්චාත් යුද සමය සහ මාධ්‍ය නිදහස
සමකාලීන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස තක්සේරු කිරීමේදී අවධානයට ලක්කළ යුතු කරුණු ගණනාවක් තිබේ. එහිදී ප්‍රථමයෙන් අවධානය යොමුකළ යුත්තේ මෙරට යුද ගැටුම් ආවරණය කළ මාධ්‍යවේදීන් මුහුණදුන් තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර මාධ්‍යවේදීන් මුහුණදෙමින් සිටින තත්ත්වය පිළිබඳවය.
යුද සමයේ ඝාතනය කරන ලද, අතුරුදන් වූ සහ ශාරීරික සහ මානසික හිංසනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය සහ යුක්තිය ඉටුකිරීමට තවමත් අසමත්වීම, මෙරට ගැටුම් සංදර්භය තුළ මාධ්‍ය නිදහස සීමාවීම තවදුරටත් පවතින යථාර්ථයක් බවට සාක්ෂි සපයයි.
බැලූබැල්මට පශ්චාත් යුද සමය තුළ උතුරු, නැගෙනහිර මාධ්‍යවේදීන්ට තර්ජන තිබෙන බවක් නොපෙනුණද ඔවුන්ට සිදුවන අනියම් ආකාරයේ මානසික තර්ජන සහ බලපෑම් යුද සමයේ පැවැති තත්ත්වයෙන් වෙනත් වන්නේ ඉතා සුළු වශයෙන් බව මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම ලේඛකයා යාපනයේ මාධ්‍යවේදීන් සමග කරන ලද දීර්ඝ සාකච්ඡාවලදී පැහැදිලි විය.
කර්තෘ ස්වාධීනත්වය
මෙරට ජනමාධ්‍ය නිදහසය තිබෙන මීළඟ තර්ජනය වන්නේ ජනමාධ්‍යන්ගේ කර්තෘ ස්වාධීනත්වය සහ සංලේඛ්‍ය නිදහස ආරක්ෂා නොවීමය. මෙරට ජනමාධ්‍ය ආයතනවල කර්තෘ අංශ, ප්රවෘත්ති කාමර සහ වැඩසටහන් අංශ, හිමිකරුවන්ගේ සහ වෙළෙඳ පොළ ග්රහණයෙන් මුදාගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික, ස්ථිරසාර සහ නෛතික වැඩපිළිවෙළකට යෑම අත්‍යවශ්‍යය. මාධ්‍යවේදියා වෘත්තිකයෙක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම, මාධ්‍ය වෘත්තීය සමිති ශක්තිමත් කිරීම කෙරෙහිද අවධානය යොමුකිරීම මෙහිලා වැදගත්ය.
රාජ්‍ය මාධ්‍ය
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයෙන් 60%කට වැඩි ප්රතිශතයක හිමිකාරීත්වය තිබෙන්නේ රජයටය. රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජනමාධ්‍යන්ට කර්තෘ නිදහස භුක්ති විඳීමේ අවස්ථාව අහිමි බව පොදුවේ පිළිගත් කරුණක් වන අතර, එය රටේ ක්‍රියාශීලී ප්රජාතන්ත්රවාදයක් පැවැතීමට තර්ජනයකි.
පසුගිය දශක දෙක තුළ මෙරට මාධ්‍ය කර්මාන්තය සංවර්ධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කරනු ලැබූ ආර්.කේ.ඩබ්. ගුණසේකර කමිටු වාර්තාව (1995) කොළඹ ප්රකාශනය (1998, 2008), තෝලංගමුව ප්රකාශනය සහ යුනෙස්කෝ මාධ්‍ය සංවර්ධන දර්ශක මත පදනම් වූ පුළුල් මාධ්‍ය තක්සේරුව වන මහජන විශ්වාසය නැවත ගොඩනැගීම පිළිබඳ ජනමාධ්‍ය ප්‍රතිව්‍යූහගතකරණ ලේකම් කාර්යාලයීය වාර්තාව (2016) ආදිය මගින් නිර්දේශ කරනු ලැබූ රාජ්‍ය හිමිකාරීත්වය සහිත මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පරිවර්තනය කිරීමේ යෝජනාව ක්‍රියාවට නැංවීම මෙරට මාධ්‍ය නිදහස සාක්ෂාත් කිරීමෙහිලා ප්රමුඛ සහ අත්‍යවශ්‍ය පියවරකි.
21 වැනි ශතර්ෂයේ තොරතුරු පරිසරය තුළ ඇති වී තිබෙන සමාජ, ආර්ථික සහ තාක්ෂණික පරිවර්තනයන් හේතුවෙන් ජනමාධ්‍ය නිදහස පිළිබඳව නව ප්‍රවේශයක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුව තිබේ. ජනමාධ්‍යයේ දේශපාලන ආර්ථිකය, වෙනස් වන ප්රජාතන්ත්රවාදය සහ පුරවැසිභාවය පිළිබඳ තත්ත්වයන්, සන්නිවේදන ව්‍යාපාර සහ ඒවායේ ආර්ථික බලය, බුද්ධිමය දේපොළ අයිතිය සහ නිදහසේ තොරතුරු ගලනය අතර පවතින ප්රතිවිරෝධතා ආදිය විසින් ජනමාධ්‍ය නිදහස පිළිබඳ තර්ක, සංකල්ප අභියෝගයට ලක්කරයි.
ඩිජිටල් යුගය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් ලබාදී තිබේ. ඩිජිටල් යුගය විසින් සන්නිවේදන කළහැක්කේ කාටද? සන්නිවේදනය කරන්නේ කුමක්ද? සන්නිවේදනය කරන්නේ කෙසේද? යන්න වෙනස් කරමින් තිබේ. ඒ අතරම කුඩා කණ්ඩායමක් විසින් සමස්ත සන්නිවේදනය පද්ධතියම පාලනය කරන තත්ත්වයක්ද නිර්මාණය වෙමින් තිබේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මහජන අවකාශයේ පාලනයේ සිට පෞද්ගලික අවකාශයේ පාලනයට නතුවෙමින් ඇත.
පශ්චාත් සත්‍යය, පශ්චාත් විශ්වාසී, පශ්චාත් ප්රජාතන්ත්රවාදී සමාජයක්
සමකාලීන ලෝකයේ ජනමාධ්‍ය නිදහස සාක්ෂාත් කරගැනීමට තිබෙන මූලික බාධාව බවට පත්වෙමින් තිබෙන්නේ ජනමාධ්‍ය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටෙමින් තිබීමයි. සත්‍ය කරුණු සහ සත්‍ය තොරතුරු ඇතැයි පිළිගන්නා සමාජයක සිට එවැන්නක් නැතැයි පිළිගන්නා පශ්චාත් සත්‍ය සමාජයක් (Post truth society) කරාත්, විශ්වාස කරන සමාජයක සිට විශ්වාස නොකරන පශ්චාත් විශ්වාසී සමාජයක් (Post Trust Society) කරාත්, ප්රජාතන්ත්රවාදී සමාජයක සිට පශ්චාත් ප්රජාතන්ත්රවාදී (Post Democracy) සමාජයක් කරාත් ලෝකය පරිවර්තනය වෙමින් තිබේ.
මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වූවක් වුවත් ඒ කෙරෙහි පසුගිය වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරීත්වය ඍජු බැලපෑමක් සිදුකළ බව පෙනේ. ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් මතුකළ ව්‍යාජ ප්රවෘත්ති (Fake News) යන්න මේ වනවිට ගෝලීය ප්රපංචයක් බවට පත්වෙමින් තිබේ. ව්‍යාජ ප්රවෘත්ති යන්නෙහි මූලික අදහස වන්නේ ගොතන ලද, මිථ්‍යා හෝ හිතාමතාම වෙනස් කරන ලද ප්රවෘත්ති යන්නයි.
සමාජීය ජාල වෙබ් අඩවි විසින් විශාල ග්රාහක පිරිසක් වෙත ළඟාවෙමින් විශාල වෙළෙඳ දැන්වීම් ආදායමක් ඉපයීමේ අරමුණින් ව්‍යාජ ප්රවෘත්ති ප්රපංචයට පහසුකම් සලසනු ලැබූ බව පොදු පිළිගැනීමයි. ජනාධිපති ට්‍රම්ප් විසින් CNN, NBC NEWS, The New York Times ආදී ඇමෙරිකානු මාධ්‍යද ව්‍යාජ ප්රවෘත්ති මාධ්‍ය වශයෙන් හඳුන්වනු ලැබීය. පශ්චාත් සත්‍ය වටපිටාව විසින් ඉතා නෙමග යවන සුළු, රැවටිලි සහිත, වංක සන්නිවේදනයක් සඳහා පහසුවෙන් ඉඩ සලසයි.
තොරතුරු සහ කරුණු තෝරාගැනීම, අතිශ්‍යෝක්තිය, කරුණු මගහැරීම, ආදිය එකට එකතු කිරීම මගින් ඕනෑම සිදුවීමක් හෝ කරුණක් පිළිබඳ ව්‍යාජ පින්තූරයක් සමාජගත කිරීමට නව සන්නිවේදන තාක්ෂණය විසින් ඉඩ සලසාදී තිබේ. මෙය බහුලව සමාජීය මාධ්‍ය තුළ සිදුවන අතර පිලිපීනය වැනි රටවල එය හඳුන්වන්නේ තොරතුරු ‘‘ වස වීම (Poisoning Online Information) ලෙසයි. බොහෝවිට සාම්ප්‍රදායික මාධ්‍ය අන්තර්ගතයට සමාජීය මාධ්‍ය මූලාශ්‍ර වන තත්ත්වයක් තුළ ‘‘සත්‍යය යැයි යමක් නොමැති බවත්, එමගින් එකිනෙකා විශ්වාස නොකරන තත්ත්වයක් උදාවෙමින් තිබේ.
දෘශ්‍යමාන ආරංචි ප්රවෘත්ති බවට පත්වීම තුළ ජනමාධ්‍ය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටී ඇති අතර, මෙම තත්ත්වය සමාජයේ සාමාන්‍ය පුද්ගලයාට වඩා වැඩි නිදහසක් සහ වරප්‍රසාදයක් ජනමාධ්‍යවේදියාට තිබිය යුතුය යන්න පිළිබඳ පොදු මතයට මෙන්ම ඒ සඳහා නීති සම්ප්රදානයටද ප්‍රබල බාධාවක් ලෙස මතුවෙමින් තිබේ.
වඩාත් නිදහස් ප්රජාතන්ත්රවාදී වටපිටාවක් සහ නිදහස් මහජන අවකාශයක් සහිත රටවල පුරවැසියාට, ව්‍යාජ ප්රවෘත්ති සහ මාධ්‍ය විශ්වසනීයවය වඩවඩාත් සැලකිලිමත් වීමට සිදුව තිබෙන අතර, සත්‍ය සහ සැබෑ තොරතුරු දැනගැනීමට අමතර වෙහෙසක්, අමතර කාලයක් සහ ඇතැම්විට අමතර පිරිවැයක්ද දැරීමට සිදුව තිබේ. මේ හේතුවෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් කරන අරගල ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහි අරගලයක් බවට පත්කර ගැනීමට සිදුව තිබේ.
යුරෝපා කොමිසමේ උපසභාපති අන්ඩ්රස් අන්සිස් මෑතකදී ප්‍රකාශ කළේ සමාජීය ජාල මාධ්‍ය විසින් සමාජජාල වේදිකාව ව්‍යාජ ප්රවෘත්ති පැතිරවීමට යොදාගැනීමට එරෙහිව දැඩි පියවර ගැනීම අත්‍යාවශ්‍ය බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංස්කෘතික සහ මාධ්‍ය කමිටුව විසින් ව්‍යාජ ප්රවෘත්ති විසින් ප්රජාතන්ත්රවාදයට කරනු ලබන බලපෑම පිළිබඳ විමර්ශනයක් ආරම්භකර ඇත. සමාජීය වෙබ් අඩවිවල ව්‍යාජ ප්රවෘත්ති අන්තර්ගතයන් සහ වෛරී ප්‍රකාශන සඳහා දඩ නියම කිරීමේ අවශ්‍යතාව ජර්මානු අධිකරණ ඇමතිවරයාද පෙන්වා දී තිබේ.
සමාජීය මාධ්‍ය නියාමනයට දරණ ඕනෑම උත්සාහයක් වාරණයෙන් අවසන් වීමට ඇති ඉඩකඩ වැඩිය. අනිත් අතින් ව්‍යාජ ප්රවෘත්ති, සමාජීය ජාල වෙබ් අඩවි මගින් වේගයෙන් පතුරුවා හරින බැවින් පැරණි මාධ්‍ය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙමින් තිබේ. එය පැරණි මාධ්‍ය ආයතනවල පැවැත්මට බලවත් තර්ජනයකි.
ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහිව සටන් කිරීමටත්, ඒ තුළින් මාධ්‍ය නිදහස තහවුරු ක ගැනීමටත් වෘත්තීය ජනමාධ්‍යවේදය, මාධ්‍ය බහුවිධත්වය, මාධ්‍ය සහ සයිබර් සාක්ෂරතාව ආදිය සඳහා ආයෝජනය කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්ය.
ව්‍යාජ ප්රවෘත්ති ප්රපංචයට එරෙහිව කරන අරගලයේදී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාවද සුවිශේෂී වන අතර, ඔවුන්ගේ කටයුතු වඩාත් විවෘතභාවයෙන් සිදුකිරීම වැදගත්ය. ජනමාධ්‍ය වෙතින් වරදක් සිදුවූ විට ප්‍රමුඛතාවයෙන් යුතුව විස්තරාත්මකව මුළුමනින්ම නිවැරදි කිරීම මෙහිලා වැදගත්ය. එම නිවැරදි කිරීම් සිදුකිරිමේදී වැරැද්ද සිදුවීමට හේතුව, එය කළේ කවුද? එම ක්‍රියාවලිය අසාර්ථක වූයේ කෙසේද ආදිය නිවැරදි කිරීම සමග සඳහන් කිරීම අවශ්‍ය වේ.
මහජන විශ්වාසය යළි දිනාගැනීමට නම් ජනමාධ්‍යයන් වගවීම, විවෘතභාවය ආරක්ෂා කිරීම සිදුවිය යුතු අතර ‘තරගකාරීත්වය සහ ආර්ථික අභියෝග' හමුවේ ඒ සඳහා ඉඩ සැලසිය හැකිද යන්න ගැටලුසහගතය. මහජන උනන්දුව සහ මහජන යහපත වෙනුවෙන් ක්‍රියාකාරීමේ ජනමාධ්‍යයේ ප්රජාතන්ත්රවාදී භූමිකාව ජනමාධ්‍ය ඉටුකරන්නේ නම් ජනමාධ්‍ය සඳහා සුවිශේෂී නිදහසක් සහ වරප්‍රසාද තිබිය යුතුය යන්න පොදුවේ පිළිගැනේ.
නිදහස් තොරතුරු ගලනය සඳහා පහසුකම් සලසන්නා ලෙස ජනමාධ්‍යයන්ට තිබිය යුත්තේ කුමන මට්ටමේ නිදහසක් සහ වරප්‍රසාදයත් ද යන්න විභාග කළ යුතුය. විනිසුරු විලියම් ඩග්ලස්ට අනුව ව්‍යවස්ථාමය වශයෙන් ජනමාධ්‍යන්ට සුවිශේෂි තැනක් ලබාදී තිබෙන්නේ මුදල් ඉපයීමට හෝ සමාජයේ විශේෂ පංතියක් වශයෙන් කටයුතු කිරිමට නොව මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ දැනුවත් පුරවැසියෙකු නිර්මාණය කිරීම තහවුරු කිරීමටය.
ජනමාධ්‍ය පක්ෂපාතී වන්නේ නම්, ජනමාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ලාභ අරමුණු කරගෙන නම් සමාජයේ සෙසු ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට නොමැති නිදහසක් සහ වරප්‍රසාද ජනමාධ්‍යන්ට ලබාදිය යුතුද යන්න මෙහිදී මතුවන තවත් ගැටලුවකි. නව සන්නිවේදන වපසරිය තුළ බලසම්පන්න ක්‍රීඩකයන් බවට පත්ව Facebook, Twitter සහ Google වැනි මහා පරිමාණ ලාභ ලබන ව්‍යාපාරවලටද ජනමාධ්‍යවේදියාට තිබෙන වරප්‍රසාද ලබාදිය යුතු යන්න මතභේදයට තුඩුදී ඇති කරුණකි.
මෙම ව්‍යාපාර විසින් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කරන්නේද එසේ නැතහොත් වෙනම සංස්කෘතියක් සහ නව ආරක සමාජයක් නිර්මාණය කරමින් සිටින්නේද යන්න අවධානයට ලක්විය යුතුය.
ජනමාධ්‍යවේදියාට තිබෙන වරප්‍රසාද සහ නිදහස දීර්ඝකාලයක සිට සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන අතර, වර්තමානයේ ‘‘ජනමාධ්‍යවේදය, ‘‘ජනමාධ්‍යවේදියා පිළිබඳ පැහැදිලි හඳුනාගැනීමක් සිදුකළ නොහැකි වටපිටාවක් තුළ එය වඩාත් සංකීර්ණ සහ දුරවබෝධය සහිත කාර්යයක් බවට පත්ව ඇත.
ජනමාධ්‍ය අභිසාරිතාව සහ බ්ලොග්කරුවන්ගේ සිට සෙවුම් යන්ත්‍ර සැලසුම්කරුවන් දක්වා පුළුල් පරාසයක පැතිරයන ආයතන සහ වෘත්තිකයන් පිරිසක් ජනමාධ්‍ය කර්මාන්තය සම්බන්ධ වපසරියේ දක්නට ලැබෙන බැවින් ‘‘ජනමාධ්‍ය යන්නට අයත් වන්නේ කවරක්ද යන්න හඳුනාගැනීම උභතෝකෝටිකය.''
ජනමාධ්‍ය යන්න හෝ ජනමාධ්‍යවේදය යන්න නිර්වචනය කිරීම, ඔවුන් විසින් ඉටුකරන කාර්යය මත මිස ඔවුන්ට ලබාදී තිබෙන තනතුරු නාමය මත තීරණය කළ නොහැකිය. ඕනෑම අයෙකුට තොරතුරු එකතු කිරීමටත්, බෙදා හැරීමටත් තිබෙන අවස්ථාව සහ නිදහස නිසා ‘‘ජනමාධ්‍යවේදය යන්න ජනමාධ්‍යය කාර්යය සිදුවන ආකාරය අනුව හඳුනා ගන්නා ප්‍රවේශයට මාරු වී තිබේ.
ඉහත වටපිටාව තුළ ජනමාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පය, තර්ක සහ ඒ සඳහා යොදාගන්නා භාෂාව නැවත සලකා බැලීමට සිදුව තිබේ. නව තත්ත්වය තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එහිදී නව සන්නිවේදන තාක්ෂණයේ ගතිකයන්, ගෝලීයකරණ ප්රවණතා, ජනමාධ්‍යයේ දේශපාලන ආර්ථිකය සහ ප්රජාතන්ත්රවාදය සහ පුරවැසිභාවය පිළිබඳ නව තත්ත්වයන් වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරමින් ජනමාධ්‍ය නිදහස ස්ථානගත කිරීම වැදගත්ය.
ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ
සභාපති, ජනමාධ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වන ජාතික ලේකම් කාර්යාලය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
