රටේ දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ මොකද වෙන්නේ යනුවෙන් පැනයකි. එසේ නොවීමට නම් ජනතාව තමන්ගේ ඡන්ද පාවිච්චි කිරීම සහ අයිතිය පිළිබඳ මෙන්ම දේශපාලකයන්ගේ යුතුකම් සහ වගකීම් පිළිබඳ 'අද' ‘ කළ විමසීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය ආර්.ඒ.ඩබ්ලිව්. රණසිංහ මහතා දක්වන අදහස් පෙළගැසීමකි.
Q ලංකාවේ දේශපාලකයා කෙබඳුද
නුසුදුස්සන් දේශපාලනය තෝරාගත් පසු මුග්ධයන් දේශපාලන පුදබිමෙහි පිනුම් ගසති. බුද්ධිමතුන්ට දේශපාලනය අපලය. ස්ත්‍රීන් දූෂණය කර සැණකෙළි පවත්වන්නේත් ගුරුවරුන් දණගස්සවා බලහත්කාරයෙන් වැඳුම් ලබා ගන්නේත් අධ්‍යාපනයක් ඇතත් නැතත් මොළයක් නැති හීනමානය හේතුවෙනි.
ඔවුන්ට නිර්මාණශීලී දැක්මක් නැත. එවැනි නිර්මාණශීලී දේශපාලකයන් සිටි රටවල් සංවර්ධන ගමන් මගෙහි ගව් ගණනාවක් ඉදිරියට ගොස් තිබේ. එයට හේතුවද රටට ආදරය කළ නායකයන්ගේ මගපෙන්වීම බව කිව යුතුය. එවැනි පූර්වාදර්ශ සැපයිය හැකි දේශපාලකයන් මෑත කාලයේ මෙරට තුළ බිහි නොවූ තරම්ය. ඉන්දියානු මැති ඇමතිවරුන් ලෝක සභාවට යන්නේ දුම්රිය හෝ කුලී රථයෙනි. එහෙත් අපේ අයට කෝටි හයක් වටිනා වාහනයක් නැතිව රට හැදිය නොහැකිය. ඔවුන් එසේ සැප විඳින්නේ ඡන්දය දුන් ජනතාව දුක්විඳින අතරය.
Q සංවර්ධනය සහ දේශපාලකයාගේ ක්‍රියාදාමයන් පෙළගැසෙන්නේ කෙසේද
සංවර්ධනය පිළිබඳ පුරසාරම් දොඩමින් රටේ ආර්ථිකයට කර ඇති බරපතළ හානිය නිසා එම අංශ ජනාධිපතිතුමා අතට ගැනීමට තීරණය කර ඇතැයි කියයි. එම කටයුතු පැවරී ඇත්තේ අගමැතිවරයාටය. මෙයින් පැහදිලි වන කරුණු දෙකක් තිබේ. එකක් අගමැතිතුමා අමාත්‍යාංශ හැසිරවීම කෙරෙහි මේ රටේ ජනාධිපතිවරුන් තුළ ඇති අකැමැත්තය. නැතිනම් අගමැතිතුමාගේ යළි පුබුදමු ශ්‍රී ලංකා මාදිලියේ ආර්ථික දැක්ම අපට නොගැළපීමය. එසේද නොමැතිනම් අසමත්කමය. 2004දී චන්ද්‍රිකා ජනාධිපතිනියද අගමැති වික්‍රමසිංහ මහතාගෙන් ආරක්ෂක ජනමාධ්‍ය හා අභ්‍යන්තර කටයුතු විෂයයන් පිළිබඳ අමාත්‍යාංශ පවරාගෙන පාර්ලිමේන්තුවද විසුරුවා එතුමා අනාථ කළ අයුරු ජනතාවට අමතක නැත.
මෙවැනි දේශපාලනයක් කරන ලංකාවේ අපි ගැන හරියටම නිවැරදි කතාව කීවේ ඇලෙක්සැන්ඩර් පෝප් තුමා යැයි මට සිතේ. දේශපාලනය යනු සුළු පිරිසකගේ යහපත සඳහා බොහෝ දෙනකු විසින් කරනු ලබන පිස්සු ක්‍රියාවක් බව ඔහු පවසා තිබේ.
Q මෙය මෑතකාලීනව ලෝකයේ පවතින ස්වභාවයක්ද
දැනට වසර 2400කට පෙර ග්‍රිසීයේ ඇතැන්ස් නුවර ජීවත් වූ ප්ලේටෝ ගැන මම කියන්නම්. අද මෙන්ම එදාත් නීති සම්පාදනය වූයේ පාලකයන්ගේ තෘප්තිය සඳහා මිස බහුජනතාවගේ යහපත උදෙසා නොවේ. ජනතාවගේ යහපත වෙනුවෙන් නීති නොහැදුණේ නම් එවැනි නීතිවලින් හෝ ප්රතිපත්තිවලින් කිසිදු ඵලක් නැත්තා සේම එවැනි ආයතනයන්ගෙන්ද ඵලක් නැත. අපි එසේ සිතුවද හැමදාම සිදුවූයේ තමන්ගේ යහපත සඳහා නීති හදාගෙන සත්‍ය වළ දමමින් බොරු බේගල් ගොතමින් ජනතාව රැවටීම පමණි.
Q සොක්රටීස්ට සිදු වූ දේ සහ ප්ලේටෝ පැවසූ යථාර්ථය
ප්ලේටෝ ජීවත් වූ යුගයේද එය එසේම විය. ඔහුගේ ගුරුවරයා වූ සොක්රටීස් පඬිවරයා පාලකයන්ගේ ව්‍යාජ වූත් සරුව පිත්තල වූත් වචනවලින් රටක් සහ ජාතියක් ගොඩනැගිය නොහැකි බව පෙන්වා දෙමින් එසේ පුරසාරම් දෙඩ වූ මුග්ධ පාලනය අනුමත කළේ නැත.
පාලකයන්ගේ විශ්වාස අන්ධ බවත්, ප්රජාතන්ත්රවාදයේ නමින් බොරුවෙන් පාලනයක් ගෙන යා නොහැකි බවත් පෙන්වා දුනි. සොක්රටීස් පඬිතුමාගේ සත්‍යවාදී ගවේෂණය අමනෝඥ පාලකයන්ට වහකඳුරු වූයෙන් සත්‍ය පිටුදැකීම සඳහා සොක්රටීස් වස පොවා මරා දැමීමට ග්‍රීක අඥාන පාලකයන් තීරණය කරනු ලැබීය. ව්‍යාජ නීතිය විසින් දුන් දඬුවම් අසාධාරණ බව දැන දැනත් ලෝකයේ සදාකාලික සත්‍ය වෙනුවෙන සොක්රටීස් පඬිවරයා වස කෝප්පය පානය කර දිවි පිදීය. ඒ මරණය ලොවට එක් සත්‍යයක් අනාවරණය කළේය. එනම් පාලකයන්ට ඇත්ත තිත්ත බවය.
තම ගුරුවරයා වූ ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ මරණයෙන් ප්ලේටෝ උගත් පාඩම වූයේ අඥාන පාලකයන්ට ඇත්ත තිත්ත හෙයින් අනුවණයන් පාලකයන් ලෙසින් පත්කර ගැනීම භයානක බවත්, ඒ නිසාම දැනුම් තේරුම් ඇත්තන් පමණක් තමන්ගේ පාලකයන් ලෙසින් තෝරා ගත යුතු බවත්ය. ඔහු එදා අනුවණ පාලකයන් නිසා හෙම්බත්ව සිටි ග්‍රීකයන් මුදාගැනීම සඳහා තමන් විසින් රචිත සමූහාණ්ඩුව නම් කෘතියෙන් ප්ලේටෝ එදා ග්‍රීක රටවැසියන්ගෙන් මෙම පැනය ඇසීය.
“ඔබ රෝගාතුර වූ විට පිළියමක් සඳහා සොයා යන්නේ දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද? ඔබ ඔබගේ සපත්තුව කැඩුණු විට එය අලුත්වැඩියා කරගැනීම සඳහා සොයා යන්නේ හොඳම සපතේරුවා නොවේද? එහෙත් කලාවන් අතර වැදගත් වූ පාලන කලාවේදී ඔබ බුද්ධිමතුන් තෝරා නොගන්නේ ඇයි? සත්ත්වයන් අතරින් ඉතාමත්ම බුද්ධිමත් වූ මිනිසා තමන් පාලනය සඳහා කිසිම හැකියාවක් නැති කපටි රැළක් තම පාලකයන් ලෙස තෝරාගන්නේ මන්ද යනුවෙනි.
මෙයට වසර 2400ට පෙර එදා ප්ලේටෝ ඇසූ පැනයම මේ යුගයේ අපටත් එලෙසින්ම අපගෙන්ම ඇසීමට සිදුව ඇත්තේ නිදහස ලැබීමෙන් පසු වසර 70ක් ගතවීද එදා සිටි තැනටත් වඩා පහළට වැටී සිටින අයුරු දකින විටය. ඒ සඳහා දායක වී ඇත්තේ අප විසින් පත් කරගත් අපේම පාලකයන්ය.
අද සංහිඳියාවේ නාමයෙන් වඩා බරපතළ ඛේදවාචකයන්ට මුහුණදී ඇත්තේ නමට මහජාතිය වූ සිංහලයන්ය. ඔවුන්ගේ දුක්ගැනවිලි ඇසීමට පාලකයන් නැති තරම්ය. එහෙත් පාර්ලිමේන්තුවේ 225න් 170ක් සිංහලයන්ය. සෙසු බලාධිකාරීවල බහුතරය සිංහලයෝ වෙති. එහෙත් ඔවුන් නඩත්තු කිරීමට සිදුව ඇත්තේද බහුතරයක් වූ සිංහලයන්ටය. ආර්ථිකය වළපල්ලට යවා දේශපාලකයන්ගෙන් රට පෝෂිත කිරීම අප වැනි රටක සිදුවන දේශපාලන ක්‍රියාදාමය පැහැදිලියි.
Q එය පැහැදිලි කළොත්
සෑම වසරක් තුළම මැතිවරණයක් පවත්වන එකම රට ලංකාව බව කිව යුතු නැත. ඒ වෙනකක් සඳහා නොව ඔබේත් මගේත් කරමතට නිකමුන් රොත්තකගේ බර පැටවීම වෙනුවෙනි. එහෙත් දේශපාලකයන් දැනුමෙන් බොල් වුවත් නඩත්තු කිරීමේදී ඔවුන්ගේ බර අපට වැඩිය.
ඒ බර වසරින් වසර වැඩි වුණා මිස ජනතාවට වූ සෙතක් නම් නොවීය. නිදහස ලබන විට අපට හිටියේ මන්ත්‍රීන් 101කි. 1959දී එය 151 දක්වා වැඩි විය. 1976දී 168ක් වූ අතර 1978දී එය 225 දක්වා වැඩි විය. 1988 වන විට පළාත් සභා වටා තවත් පිරිසක් නඩත්තු කිරීමට රටට බාර දුන්නේය. අලි මදිවට හරක් කීවාක් මෙන් දැනට 4000ක් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණන 8000ටත් වැඩිය. එසේනම් ජනතාව පවසන පරිදි මේ අපරාධය කළ එකා එක්කෝ ජනතාවගේ හතුරෙකි. නැතිනම් අමු අමුවේම වර්ගවාදියෙකි. මන්ත්‍රීන් වැඩි වූ තරමට රටක් දියුණු වන්නේ නම් ලංකාව කේතුමතියක් මෙන් තිබිය යුතුය. රටේ ජනතාව ජීවත් වන්නේද හෝ ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන්න ගැන මොවුන්ට කිසිම ගණනක් නැත. තනතුරට පත් වූ දින සිටම සංවිධානාත්මක රංචුවක් ලෙසින් උත්සාහ ගන්නේ දීමනා වැඩිකර ගැනීමටය. සුපිරි වාහන ලබා ගැනීමටය. වෙනත් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමටය. මේ මංකොල්ලයට රාජ්‍ය සේවකයන්ද හවුල්ය. මොවුන් කරන්නේ සුදුකරපටි හොරකම්ය (white collar robbery). අපේ දේශපාලකයන්ට සදාචාරයක් නැත. ඉගෙන ගන්නවා නම් ගෝත්රිකයන්ගෙන්ද පාඩම් ඉගෙන ගත හැකිය.
Q දේශපාලන සදාචාරය පිළිබඳ ගෝත්රිකයන්ගෙන් ඉගෙන ගත හැකි පාඩම් මොනවාද
1960 නිදහස ලැබූ ටැංගනිකාව 1967දී අවුෂා ප්රකාශනය (Ausha Declaration 1967) නමින් ප්රකාශනයක් එළිදැක්වූහ. එහි 5 වැනි වගන්තියෙන් දේශපාලකයන්ට චර්යා ධර්ම පද්ධතියක් උගන්වා තිබුණි.
රටේ දේශපාලන නායකයන් ධනපති හෝ වැඩවසම් පුරුදු පවත්වාගත නොගත යුතු බව.
රටේ නායකයන් රටේ වෙළෙඳ ව්‍යාපාරවල කොටස්කරුවන් හෝ ඒවායේ අධ්යක්ෂ තනතුරු දැරීමෙන් අමතර ඉපැයීම් නොකළ යුතු බව.
මැති ඇමතිවරුන් තමන් ජීවත් වන නිවසට වඩා වැඩි නිවසක් තබා නොගත යුතු බව.
දේශපාලන නායකයන් වැඩ කරන්නන් විය යුතු බව යනුවෙන් ඒවා දැක්වෙයි.
Q එහෙත් වනචාරී ගෝත්‍රික යුගයෙන් මෑතකදී එළියට ආ අප්‍රිකානුවන්ගේ දේශපාලන සදාචාරය ඉදිරියේ අපේ ඇත්තන් ලැජ්ජා විය යුතු නොවේද, බලය ලබාගන්නා දේශපාලකයන්ගේ වගකීම කුමක්ද
යමෙකු බලය ලබාගත් පසු එය පාවිචිචි කළ යුත්තේ යහපත් දේ කිරීම වෙනුවෙනි. පාලකයන්ගේ පළමු කාර්යය විය යුත්තේ තමන් බලයට පත් කළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම බව ජනතාව විශ්වාස කරති.
එහෙත් බොහෝවිට සිදුවන්නේ ව්‍යාපෘතියකට වෙන්කරන මුදලින් කොටසක් ඇමතිගේ සාක්කුවටය. ඉතිරියෙන්ද කොටස කොටස අනෙක් අය අතර බෙදී ගිය විට ව්‍යාපෘතිය තැනෙන්නේ භාගයෙන් භාගයකි. උමං ජලය කාන්දු වන්නේත් ගොඩනැගිලි ගිලා බසින්නේත් එහෙයිනි. මිලදී ගැනීම් වලදී හතරවරම් ගැහැලි ගැන ඇසෙන්නේද එනිසාය.
Q එහෙම වෙන්නේ ඇයි
එදා පාලකයන් අද මෙන් ජාතික සම්පත් විකුණාගෙන කෑමට යොමු වුණේ නැත. ගසක් කැපුවේ ගසක් රෝපණය කිරීමෙන් පසුය. අද ඇමතිවරු ගස් කපති. පුරාවිද්‍යාව බලා සිටියදී ඇමතිවරුන්ගේ බලයෙන් සංස්කෘතිය ඩෝසර් වෙයි. එහෙත් රටේ නායකයා පරිසර ඇමතිය. මැතිවරණවලදී තෝරා ගන්නට කෙනෙක් නොමැති නම් ගෙදරට වී සිටීම කුසල් රැස්කර ගැනීමකි. ඒ පව්කාරයන්ගේ පව්වලට හවුල් වීමක් නොවන හෙයිනි.
Q ඉදිරියද මැතිවරණ සමයකි. මේ දිනවල ඇසෙන සංවාද හරහා වැරදි හදාගෙන ජනතාව දේශපාලන අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඡන්ද පොළකට යාමේදී උගත යුතු දේශපාලන පාඩම් ලෙස දැන් සිටම සිතිය යුත්තේ කුමක්ද
වැරැද්දක් සිදුවන්නේ යමක් හරියට කිරීමට නොදත්කම හේතුවෙනි. අනෙක අතීතයෙන් උගත් පාඩම් ඉගෙන නොගත් නිසාවෙනි. මෙතෙක් දේශපාලනයේදී අප ක්‍රියාකර ඇත්තේ අන්ධයන් මෙන් රෑ වැටුණු වළක දවල්ද වැටෙමිනි.
'වළකට වැටීම මොළයට ලාභයක්' යැයි චීනුන් කියනවා. ඒත් අපට එවැනි ලාභයක් නැත්තේ මොළයක් නැති නිසා දැයි සිතිය යුතුය. බොරුකාරයන්ගේ බේගල් සහ මංකොල්ලකාරයන්ගේ උපක්රමවලට රැවටී ඔවුන් පසුපස යමින් අදත් අප කතා කරන්නේ උමතු දේශපාලනයක් නොවේ දැයි මට සිතේ.