දකුණු පළාතට පසුගිය කාලයේ බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පළාතෙහි සියලු තරාතිරම්වලට අයත් විශාල පිරිසක් අවතැන් වූහ. ඒ අතර රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන බොහොමයකටද ගංවතුර නිසා දැඩි හානි සිදු විය. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති අතර එම ප්‍රදේශයේ ජන ජීවිතය යථාතත්ත්වයට පත්වෙමින් පවතී.
ගංවතුරෙන් ඉතිරි වූ දේ හෝ නැතිවූ දේවල් ගැන බොහෝ විග්රහ සිදු කළත් ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ වැසියන්ගේ ජන ජීවිතයට අත්වූ ඉරණම, හානිය හා බලපෑම මෙතෙකැයි කියා තක්සේරු කළ නොහැකිය. පුද්ගලයන් තිස් දෙදෙනෙකු තම ජීවිතයෙන් වන්දි ගෙවද්දී පුද්ගලයෝ පහළොස් දෙනෙක් මෙතෙක් ආගිය අතක් නොමැතිව අතුරුදන් වී සිටිති.
පුද්ගල මරණ සහ අතුරුදන් වූ ගණන සංඛ්‍යාත්මකව එසේ වුවත් මිනිස් ජීවිතවල වටිනාකම කොතෙක් දැයි අපට කෙසේ තක්සේරු කළ හැකිද? නමුත් ගැටලුව වන්නේ ඉදිරියේදී ඇති විය හැකි මෙවන් තත්ත්වයකට මුහුණදීමේ හැකියාවක් සහිත ක්‍රමවේදයක් හෝ සැලසුම් කර තිබේද යන්නයි.
නිල්වලා ගඟ ආශ්‍රිතව වසර අටකට හෝ දහයකට වරක්වත් ආසන්න වශයෙන් විශාල ගංවතුරක් පැමිණෙන අතර වසරකට කිහිපවරක් සුළු හා මධ්‍ය පරිමාණ ගංවතුර පැමිණේ. නිල්වලා ගංගාව මාතර දිස්ත්‍රික්කය මැදින් ගමන් ගන්නා බැවින් එය පිටාර ගැලීමෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දහසයටම එයින් බලපෑම් ඇතිවේ.
මෙවර ගංවතුරෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දහසයෙහිම විසි නව දහසකට අධික පවුල් සංඛ්‍යාවක එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසක් අවතැන් වූහ.
මේ හේතුවෙන් වාර්තා වී ඇති පූර්ණ නිවාස හානි ප්‍රමාණය එක් දහස් එකසිය හතළිස් අටක් වන අතර අර්ධ හානි ප්‍රමානය හයදහස් තුන්සිය දහ නවයකි. එමෙන්ම දිස්ත්‍රික්කයේ පාසල් හැත්තෑ පහකටද මේ නිසා බලපෑම් එල්ල විය. තවද මහාමාර්ග,පාලම් ඇතුළු පොදු දේපළටද දැඩි හානියට පත්වී ඇත. ගංවතුරෙන් වැඩිම හානි සිදු වූයේ කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, ඇතුරලිය, මාලිම්බඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලටය.
එම ප්‍රදේශවල පදිංචි පාසල් ළමුන්ගේ පොත් පත් ඇතුළු සියලු දෑ ගංවතුරට ගසා ගෙන ගොස් අවසන්ය. බොහෝ පාසල්වල ගොඩනැගිලි අයහපත් කාලගුණයත් සමගම ඉතා අවදානම් මට්ටමක පැවතීම අවධානයට යොමු විය යුතු කරුණකි. නැතිනම් ගංවතුරෙන් වූ ඛේදවාචකයට වඩා දැවැන්ත හානියක් සිදුවනු නොඅනුමානය.
නිල්වලා ගංගාව මාතර දිස්ත්‍රික්කයට ගංවතුර ඇති කරනු ලබන ප්‍රධානම මූලාශ්රයයි. එම ගඟ කරුණු කිහිපයක් නිසා විශේෂත්වයක් ගනු ලබයි. එකම පරිපාලන දිස්ත්‍රික්කයකින් ආරම්භ වී එම දිස්ත්රික්කයෙන්ම මුහුදට වැටෙන ලංකාවේ එකම ගංගාව ලෙස නිල්වලා ගඟ ලෙස හඳුන්වාදිය හැකිය.
කිලෝමීටර හැත්තෑවක දිගින් යුත් නිල්වලා ගඟ ශීඝ්‍ර බෑවුමක් සහිතව කිලෝමීටර් තිස් හයක් දක්වා දෙනියායේ සිට අකුරැස්ස බෝපගොඩ දක්වා ගමන් කරන අතර එතැන් පටන් කිලෝ මීටර් තිස් හතරක දුරක් සුළු බෑවුමක් සහිතව මුහුදට වැටෙන මාතර තොටමුණ දක්වා ගමන් කරයි. මෙහි ඉහළ කොටසට අධික වර්ෂාවක් ලැබුණු විට ඉතා වේගයෙන් ජල පහර අකුරැස්ස දක්වා පැමිණෙන අතර එතැන් පටන් මාතර දක්වා ජල පහර ගලා බසින්නේ ඉතා මන්දගාමීවය.
දෙනියාය සිට අකුරැස්ස දක්වා ගංවතුර දිනක් දෙකක් ඇතුළත බැස යන අතර ඉන් පහළ කොටසේ ගංවතුර සතියකටත් අධික කාලයක් තුළවත් බැස යන්නේ නැත. 1983 වර්ෂයේ නිල්වලා යෝජනා ක්‍රමය ආරම්භ වූ අතර 1989 වර්ෂයේ එහි ඉදිකිරීම් වල නිරත ප්‍රංශ සමාගම එවකට පැවැති දේශපාලන කැරලි කෝලාහල නිසා එය අතහැර දැමීය. නවතා දැමූ තැනින් නිල්වලා යෝජනා ක්‍රමය ඉදිරියට ගමන් කිරීමක් සිදු නොවීය.
නිල්වලා යෝජනා ක්‍රමය නැවතී මේ වනවිට වසර විසි අටකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි ඉදිරි පියවරක් තබන්නට මේ වනතෙක් හැකියාව ලැබී නොමැත. මෙම යෝජනා ක්‍රමය ආරම්භයේ එක් අරමුණක් වූයේද ගංවතුර අවම කිරීමයි.
ගිං, නිල්වලා ජල යෝජනා ක්‍රමයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙන යාමට සකස් කරන ලද සැලසුමට මිලියන 4000 ක් මේ වන විට ගෙවා ඇති බව සඳහන් වන නමුත් මේ වන විට එම මුදලින් එක් පස් පිඩැල්ලක් හෝ කපා ඇති ආකාරයක් දක්නට නැත.
මේ අයුරින් බලන කල නිල්වලා ගංගාවේ අඳෝනාව වසර ගණනාවක් පුරා ගංවතුරේ සැඩ පහරට ගසා ගෙන යාමට දේශපාලඥයන් ඇතුළු බලධාරීන් කටයුතු කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.
නිල්වලා ගඟ ආශ්‍රිතව ගංවතුර පාලනය කිරීමට එහි ඉහළ ප්‍රදේශයෙන් ගඟ හරස් කොට වැව් ඉදිකර අතිරික්ත ජලය හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමට නිල්වලා යෝජනා ක්‍රමයෙන්ද යෝජනා වුවත් මෙම යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. මෙම යෝජනාව ප්‍රායෝගික නොවන්නේ නම් මීට වඩා සුදුසු විකල්පයකට ගොස් නැවත දැවැන්ත ගංවතුරක් පැමිණෙන තෙක් නොයිද ක්‍රියාත්මක කිරීම තුළින් අනාගතයේ ගංවතුරකින් වන හානිය අවම කරගත හැකිය.
වසර කිහිපයකට වරක් විශාල ගංවතුරක් පැමිණීම සාමාන්‍යකරණය වී ඇති අතර එයින් වන හානිය, බලපෑමද කෙමෙන් කෙමින් ඉදිරියට යනු ඇත. ඒ නිසා ඒවාට මුහුණ දීමට අකමැත්තෙන් වුවත් අපට හැඩගැසීමට සිදුවනු ඇත. මන්දයත් ගංවතුර ආදී උපද්‍රවයන්ගෙන් වන හානියටද මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ද අඩු වැඩි වශයෙන් දායක වී ඇති නිසාය.
2003 වර්ෂයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට වඩා මෙවර ගංවතුර නිල්වලා ගඟේ ජල මට්ටම අඩි දෙකකට වඩා වැඩි වූ අතර සිදු වූ හානියද වැඩිවිය. දින ගණනාවක් තිස්සේ ඉහළ ගංඟාධාර ප්‍රදේශයට අධික වර්ෂාවක් පැමිණුනහොත් නිල්වලා ගංගාව පිටාර ගලා ගංවතුර තත්ත්වයක් ඇතිවීම මේ වන විට සුලබ දෙයක් බවට පත්වී ඇත. නාදුගල ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දෙපස පිටාර යන ජලය පාලනය කිරීමට ඉදිකරන ලද වේලි 2003 ගංවතුරේදී නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යන විට කඩා දැමුණි.
මෙවර ඒවාටද ඉහළින් යාමට තරම් ජල පහරක් පැමිණියේය. එයින් එම වේලි වැඩි අවදානමකට ලක්වූ අතර එය යම් හෙයකින් කැඩී ගියා නම් මාතර නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නවතාලිය නොහැකිය. මෙවර ගංවතුරේදී දෙනියාය හා මොරවක ආශ්‍රිතව දින දෙකක් ඇතුළත මිලිමීටර් හත්සීයකට අධික වර්ෂාපතනයක් ලැබුණු අතර එම ජල කඳ ඉතා වේගයෙන් නිල්වලා ගංගාව පිටාර ගලමින් මුළු මාතර දිස්ත්‍රික්කයම ගංවතුරෙන් වෙළා ගත්තේය.
දෙනියාය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අකුරැස්ස හා අනෙකුත් පහත් ප්‍රදේශවලට ගංවතුර අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන කටයුතු කළත් ජනතාව බොහෝ විට ඒවා කොතරම් දුරට තැකීමකට ලක් කළාද යන්න ප්රශ්නයකි.
ඒ නිසා සිදුවූ හානිවලටද එයද වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කළා විය හැකිය. නිල්වලා ගඟ දැවැන්තම හානිය සිදුකරන නගර ලෙස අකුරැස්ස හා මාතර පෙන්වාදීම වරදක් නොවෙයි. අනවසර ඉදිකිරීම් නිල්වලා ගඟේ ජලය බැස යාමට විශාල බාධාවක් වී ඇත.
තවද මේ වන විට ගංගා රක්ෂිතයද ආක්‍රමණය කරමින් ගඟට ඉතා ආසන්නයෙන් පවා ඇතැම් ඉදිකිරීම් සිදුකිරීමට ජනතාව පෙළඹී සිටිති. අනාගතයේ මාතර ගංවතුර පාලනය කිරීමට නිල්වලා ගඟේ ජලය මුහුද දක්වා නිදහසේ ගලාබැසීමට අවස්ථාව සලසා දිය යුතුය. ඒ සදහා ගඟ දෙපස රක්ෂිත කොටසේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කොට පාලනයකින් යුතුව කළමනාකරණය කළ යුතුය.
මේ වන විට ගංවතුර තත්ත්වය පහව ගොස් ඇත. ජීවිත, නිවාස, ව්‍යාපාර අහිමි වූවන්ට වන්දි මුදලක් ලැබුණත් මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාවකගේ ජන ජීවිතය වසර ගණනාවකින් ආපස්සට ගොස් තිබේ. තේ, වී ඇතුළු බව භෝග විනාශ වී ගොසිනි. කෘෂිකර්ම ක්ෂේත්රයට සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර කෘෂිකර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවූ ඒ ආශ්‍රිතව රැකියාවේ නිරත වූ බොහෝ අයට දිගු කාලයක් යන තුරු තම ආදායම් මාර්ග අහිමි වී වී ඇත.
තවද සුළු පරිමාණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර මහන්සියෙන් ගොඩනගා ගත් නමුත් ගංවතුරෙන් එක් රැයකින් එය ගසා ගෙන ගොස් හමාරය. මාස ගණනක් යනතුරු ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇත. කුඩා තේ වතු ඇතුළුව තේ අක්කර දහස් ගණනක්, කර්මාන්ත ශාලා ද විනාශ වී ගොසිනි. ඒ ආශ්‍රිතව රැකියාවේ නිරත වූ බොහෝ අයට මාස ගණනක් යන තුරු රැකියා අහිමි වී තිබේ. වන්දි මුදල් ලබාදීමේදී ඒවා තක්සේරු වීමක් හෝ ඒවාට වන්දි ලැබෙන්නේද නැත. කවදත් ගංවතුරෙන් කබලෙන් ලිපට වැටෙන්නේ අන්ත අසරණ ජනතාවය.
තවද දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් සිසුන්ගේ පාසල් පොත් පත් හා සියලු පාසල් උපකරණ ගංවතුරට ගසාගෙන යාම නිසා ඔවුහු ගැටලු රැසකට මුහුණදී සිටිති. මේ නිසා ඔවුන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක්ද වහා ආරම්භ කළ යුතුය.
දක්ෂිණ අධිවේගී මාර්ගය හා මාතර කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම නිසා මෙවර ගංවතුර වැඩි වූ බවට ඇතැම් අය තර්ක කළද එහි යථාර්ථය පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට අපගේ දැනුම ප්‍රමාණවත් නොමැත. එහෙත් සංවර්ධන කටයුතුවලදී ගංවතුර පාලනය වන ක්‍රමවලට මුල්තැනදී එය වළක්වා ගැනීමට මුල්තැනක් දෙන යෝජනාවලට ඉඩප්‍රස්තාව සලසා දිය යුතුය.
අසූව දශකයේ නිල්වලා යෝජනා ක්‍රමයෙන් කුඹුරු අක්කර දහස් ගණනක් පුරන් වී ගොස් ඇති අතර එයින් බලාපොරොත්තු වූ ගංවතුර පාලනය කිරීමටද හැකියාවක් ලැබී නැති බව පෙනෙන්නටද ඇත. එම නිසා ඉදිරියේදී සිදුකරනු ලබන නිල්වලා ගඟ ආශ්රිත සංවර්ධන ක්‍රියාවලදී ගංවතුර පාලනය, කෘෂිකාර්මික අභිවෘද්ධිය හා පානීය ජල අවශ්‍යතාව සඳහා ජලය ලබාගැනීම ආදී අවශ්‍යතාවලට ප්රමුඛස්ථානයක් ලබාදෙමින් ඒවා සකස් කළ යුතුය.
ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමග ඇවතැන්වූ වෙත සහන සේවා සැපයීමේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව දැක්වූ දායතක්වය පැසසිය යුතුය. බොහෝ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විවිධ ස්වේච්ඡා කණ්ඩායම් තමන්ගේ රාජකාරියට එපිටට ගිය දැවැන්ත මානුෂීය මෙහෙයුමක නිරත වූහ.
ඔවුන්ද මේ අවස්ථාවේ ගෞරවනීය මෙහෙවරක නිරත වූ සුවිශේෂී කොට්ඨාසයකි. එය විපතට පත්වූ ජනතාවගේ ජන ජීවිතයට යම් තාක් දුරකට සහනයක් වූවා නොඅනුමානය. මාතර දිස්ත්‍රික්කයට බලපවත්වන ගංවතුර වැළැක්වීමට නැවත ගංවතුරක් එන තුරු නොයිද ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම කාලීන අවශ්‍යතාවකි. එයට හේතුව ඉදිරියේදී ඇතිවන ගංවතුර මෙවර ගංවතුරට වඩා බරපතළ වීමට ඉඩකඩ ඇති බැවිනි.
මාතර - එච්.ඊ.ඒ. ප්‍රසාද්