රටේ දේශපාලනය ගැන කතාකරන දේශපාලන පක්ෂවල හා ජනතාවගේ වැඩිම අවධානය මේ වනවිට ඌව පළාත දෙසට යොමු වී තිබේ. ඒ ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දින ප්‍රකාශයට පත්වී තිබීම නිසාය.ඌව පළාත් සභාවට තරග කිරීමට බලාපොරොත්තු වන සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් තෝරාගැනීමට මේ දිනවල කටයුතු කරන අතර, ඌව පළාත තුළ මැතිවරණ ප්රචාරක කටයුතුද ආරම්භ කර තිබේ. මේවනවිට ශ්‍රී ලාංකික ඡන්ද දායකයාගේ සැලකිය යුතු අවධානයක් දිනාසිටින ප්රජාතන්ත්රවාදී පක්ෂය ඌව පළාත් සභාව සඳහා සූදානම් වන ආකාරය සහ ඌව පළාත තුළ සිදුකිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව 'අද' එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සමග කතාබහක නිරත විය.
Q ඌව ජනතාවට දේශපාලඥයන්ගෙන් මොනවගේ සේවාවක්ද සිදුවෙන්න ඕන?
ඌවේ ජනතාවට තියෙන ප්‍රධානම ප්රශ්නය තමයි දුප්පත්කම. ඒ කියන්නේ ජීවත්වෙන්න තරම් ආර්ථිකයක් නොමැතිකම. පසුගිය පළාත් සභා පාලකයන් පාලන බලය ලබාගන්න කොට දුප්පත්කම ප්‍රතිශතයක් ලෙස තිබුණේ 12% යි. ඒත් අද වනවිට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ කාර්යක්ෂම සේවය නිසා දුප්පත්කම 17% දක්වා ඉහළ ගිහිල්ලා. මේ අනුව ඌව ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය මූලික පහසුකම් ලැබෙන්නෙ නෑ කියන එක පැහැදිලියි. ඒක නිසා දේශපාලඥයන් මේ තත්ත්වය නැති කරලා දාන්න වැඩ කරන්න ඕනෑ.
Q ඌව පළාතේ හඳුනාගෙන තිබෙන ගැටලු විසඳීමට ඔබේ පක්ෂයට යම් වැඩපිළිවෙළක් තියෙනවාද?
ඔව්. අපි පසුගිය කාලය පුරාම ඌව පළාත තුළ සංචාරය කරලා ජනතාවට අද දවසේ බලපාන ගැටලු පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත්තා. මේ අනුව අපේ පක්ෂය රට සංවර්ධනය කරන්න ඕන වැඩපිළිවෙළක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ යටතේ ඌවේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්නෙ කියන එක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් දූෂණය නැති කරලා, මුදල් නාස්තිය නවත්තලා, කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීම, කර්මාන්ත දියුණු කරලා විරැකියාවට විසඳුමක් දීම, විදේශීය ආයෝජන මෙරට තුළ ස්ථාපිත කරලා විදේශීය විනිමය උපයාගැනීම සඳහා අපි කටයුතු කරනවා.
Q ඡන්ද ජිල්මාට් එකක් වෙන්න කලින් මන්ත්‍රී ජිල්මාට් එකක් වෙලා තියෙනවා කියා කියන්නේ ඇයි?
පසුගිය කාලයේ කතා කළේ ඡන්ද ජිල්මාට් ගැන. ඒත් ඌව පළාත් සභා මැතිවරණයට දින වෙන්වෙන්නට ඉස්සෙල්ලා බදුල්ලෙ මන්ත්‍රී ධුර 03ක් මොනරාගල දිස්ත්‍රික්කයට ලබාදීලා යම් පෙරළියක් කළා. මේක ජනතාවාදීව ජනතා අවශ්‍යතා සඳහා කළ වැඩක් නෙවෙයි. මොකද බදුල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර ආසන 21 ක් හිමිවෙලා තිබුණා. මොනරාගලට 11 ක් හිමිවෙලා තිබුණා. මේ ආකාරයට මන්ත්‍රී ආසන ප්‍රමාණයක් සකස් කරලා තිබුණේ ජනගහනයට අනුව. මොනරාගල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර ආසන ප්‍රමාණය වැඩි කළේ භූමි ප්‍ර‘දේශයට අනුව කියලා ඒක විකෘති කරලා තියෙනවා.
Q වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය, ජනතා මතය තහවුරු කිරීමට කටයුතු නොකරනවා කියලා චෝදනා කරන්නේ ඇයි?
රටේ පාලකයා පසුගිය කාලය පුරාම කයිවාරු ගැහැව්වා ජනතාවට නිදහස තියෙනවා, ජනතා මතයට ගරු කරනවා, ප්රජාතන්ත්රවාදය ඇති කරනවා කියලා. ඌව පළාතට අද ඇති කරලා තියෙන දේ ගැන සහ රට තුළ සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලුවම එහෙම දෙයක් නැහැ කියලා හොඳටම පේනවා. ඌව පළාත තුළ මන්ත්‍රී ආසන ජිල්මාට් එකක් කරන්නෙ තමන්ගෙ බෑණට මහ ඇමතිකම රැකලා දෙන්න. මේක අපි දකින්නෙ බියගුලු, නිවට ක්‍රියාවක් ලෙස. මොකද මෙය ප්රජාතන්ත්රවාදී රටක සිදුනොවිය යුතු දෙයක්. ඒවගේම ඌව පළාත් සභාව විසුරුවන්න පැය 12 කට කළින් මොනරාගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් මාරුකරලා දැම්මා.