ඌව පළාත් සභා මැතිවරණයේ ප්රචාරක කටයුතු ඉතාමත් උණුසුම් ආකාරයෙන් මේ දිනවල සිදුවෙමින් තිබේ. එහිදී කතාබහට ලක්වන ප්‍රධාන චරිත අතර එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් මහඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතාට හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. වරක් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ ඔහුට මේ වනවිට චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා සමග රහස් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවට එක්වීමට යන බවයි. ඒ සඳහා යම් සිද්ධියක් සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමටද ආණ්ඩු පක්ෂයේ පිරිස් කටයුතු කරමින් තිබේ. 'අද' මේ පිළිබඳව ඌව පළාත් මහඇමති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සමග කතාබහක නිරත විය.
Q මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට ඔබටත් චෝදනා එල්ලවෙනවා?
නාමයෝජනා භාරදුන් අවසාන දිනයේදී පෙළපාළියක් පවත්වලා මැතිවරණ නීති උල්ලංඝනය කළා කියලා කණ්ඩායම් කිහිපයකටම චෝදනා එල්ලවුණා. මම කිසිම පෙළපාළියක් පැවැත්වුවේ නැහැ. ඒත් එදා අපේ පක්ෂයේ පිරිස් කාර්යාලයක් තුළට වී හිටියා. හැබැයි ඒ ආකාරයට පාක්ෂිකයන්ට එන්න එපා කියලයි තිබුණෙ.
කොහොමහරි මට ආදරය කරන, පක්ෂයට ආදරය කරන පිරිස් කාර්යාලයට ඇවිත් තිබුණා. පස්සෙ මම යන්න පිටත් වුණාම පාක්ෂිකයොත් ඔවුන්ගේ වාහන අරගෙන මගේ පස්සෙන් ආවා. මෙහෙම යනකොට පිළිගැනීමේ උත්සව 20කට විතර සහභාගී වෙන්න වුණා. හැබැයි ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයෙක් වාහන 150 ක් විතර අරගෙන පෙළපාළි ගියා. එයා ගැන විතරක් තනියෙන් කතා කරන්න බැරි නිසා මගේ නමත් ඒකට ඇතුළත් කළා. ඒක තමයි ඇත්ත සිද්ධිය.
Q පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පූජා කරලා පළාත් සභා මැතිවණයට ඉදිරිපත් වුණත් ඔබට බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායකත්වයවත් ලැබුණෙ නැහැ නේද?
එකක් කියන්න ඕන. මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා ආවෙ තනතුරු බලාගෙන නොවෙයි. මට ඕන වෙලා තියෙන්නෙ පක්ෂය දිනවල ජනතාව දිනවන්න. අනිත් එක තමයි බදුල්ල දිනවන්න.
බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය ලබාදීලා තියෙන්නෙ අපේ පක්ෂය වෙනුවෙන් වසර 30කට අධික කාලයක් සේවය කළ කෙනෙකුට. එහෙම අය ඉද්දි මම වගේ ළාබාල කෙනෙකුට මහ ඇමති අපේක්ෂක ධුරය ලබාදීම පිළිබඳවත් සතුටුවෙන්න ඕන. මොකද මට මහ ඇමති අපේක්ෂකත්වය ලබාදෙනවා කිව්වම ජ්‍යෙෂ්ඨයො කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. අදටත් ඒ අය කටයුතු කරන්නෙ පක්ෂය ජයග්‍රහණය කරවලා ජනතාව වෙනුවෙන් යමක් කරන්න.
Q නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග 'ඩීල් එකක්' තිබෙන බවට ඔබට චෝදනා එල්ලවෙනවා?
දේශපාලනය තුළදි ආණ්ඩු පක්ෂය සමග යම් ප්‍රශ්නයක් තිබුණත්, මනුෂ්‍යයන් වශයෙන් මම කවුරුත් සමගත් හිතවත්. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම කෙනෙක් සමග මම තරහ නැහැ. ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සමගත් මම තරහා නැහැ. අපි ඉස්සර ඉඳලම එකට රගර් ගහලා තියෙනවා. තරගයක් අවසානයේදී එකිනෙකාට සුබ පතාගන්නවා.
ළඟදි දවසක බදුල්ලෙදි නාමල් මන්ත්‍රීතුමා සමග විනාඩි ගණනක් කතාකළා. ඒක ප්‍රසිද්ධියේ වෙච්ච සිදුවීමක්. ඒත් යම් මාධ්‍යයක් ඒක විකෘති කරලා ප්‍රචාරය කළා. හැබැයි නාමල් මන්ත්‍රීතුමා මාත් එක්ක කතාකළේ දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳවයි. මීට අමතරව මට මහ ඇමතිතුමා කියලා ඒ වෙලාවෙ විහිළුවකුත් කළා. ඕක තමයි ඇත්ත කතාව.
Q නාමල් මන්ත්‍රිතුමා සමග ඔබ හොර රහසේ සාකච්ඡා පවත්වමින් ආණ්ඩුවට එක්වීමේ සැලැස්මක් තිබෙන බවටත් කතාබහක් ඇතිවෙලා තියෙනවා?
පාර්ලිමේන්තු මන්ත්‍රීකම දාලා පළාත් සභාවට ඉල්ලන්නෙ ජනතාව ප්‍රතික්ෂේප කරමින් ඉන්න ආණ්ඩුවට එක්වෙන්න නොවෙයි. මේ සියලුම දේවල් අතහැරලා ආවෙ පක්ෂය දිනවල ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කරන්න. අනිත් එක මම ආණ්ඩුවට එක්වන බව ප්‍රකාශ කරන එක් අයෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ආණ්ඩුවට එක්වුණේ නිදිපැදුරටත් නොකියා.
හැබැයි මම කවදාවත් ඒ වගේ තත්ත්වයට පත්වෙන්නෙ නැහැ. මම දේශපාලනයට ආවෙ එක්සත් ජාතික පක්ෂයෙන්. දේශපාලනයෙන් විශ්‍රාම යන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන්. ඒක නිසා බොරු ප්‍රචාර යවලා ජනතාව නොමග යවන්න උත්සාහ කළත් බදුල්ලේ ජනතාව වගේම මුළු රටේම ජනතාව දන්නවා මම සියලුම කැපකිරීම් කරන්නෙ පක්ෂය වෙනුවෙන් කියලා.
Q හැබැයි ඔබ රහස් සාකච්ඡා පවත්වා තිබෙන බවට බොහෝ දෙනෙක් චෝදනා කරනවා?
ආණ්ඩුවට එක්වෙන්න හරි, ආණ්ඩුවේ කෙනෙක් එක්ක හරි රහස් සාකච්ඡාවක් පවත්වලා තියෙනවා කියලා ඔප්පු කළොත් මම මහ ඇමති අපේක්ෂක ධුරයෙන් ඉවත්වෙනවා. අනිත් එක රහස් සාකච්ඡා පවත්වන්න අවශ්‍ය නැහැ, ඕන කෙනෙකුට දුරකථනයෙන් කතාකරලා, එහෙමත් නැත්නම් එස්.එම්.එස්. එකක් යවලා ඔය කටයුත්ත සිදුකරන්න පුළුවන්.
හැබැයි ආණ්ඩුවට යන අය දැන් ගිහිල්ලා ඉවරයි. දැන් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ පක්ෂය දිනවලා, ජනතා ගැටලුවලට විසඳුම ලබාදෙන්න කැප වී සිටින පිරිස්. ඒ නිසා නායකතුමාට ජනාධිපතිතුමා මළගෙදරකදි, මඟුල් ගෙදරකදි හමුවෙලා කතාකළාට, නාමල් මන්ත්‍රීතුමා සමග හිතවත්කමට, යාළුකමට හරින් ප්‍රනාන්දු කතාකළාට ඒකෙන් කියවෙන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ආණ්ඩුවට යනවා කියලා.
Q ස්ථිරවම කියන්න ඔබ ආණ්ඩුවට යන කතාව ඇත්තක්ද? බොරුවක්ද?
මම කොන්දක් තියෙන කොල්ලෙක්. මට කවදාවත් ආණ්ඩුවට එක්වෙන්න උවමනාවක් නැහැ. ඒ බව මම අපේ පක්ෂයේ නායකතුමාට, නායකත්ව මණ්ඩල සභාපතිතුමාට සහ පක්ෂයේ සභාපතිතුමාට ස්ථිරවම කියලා තියෙන්නෙ. අනික මම එකක් කියලා තව දෙයක් කරන කෙනෙක් නෙමෙයි.
හැබැයි දිගින් දිගටම මඩ ප්‍රචාර දියත් කරනවා මේ කටයුත්තට. මාධ්‍යයකුත් දායකවෙලා තියෙනවා. ස්ථිරවම මම කියන්නෙ ඌව පළාත එක්සත් ජාතික පක්ෂය දිනුවට පස්සෙ මට මහ ඇමතිකම නොලැබුණත් එක මට ප්‍රශ්නයක් නොවෙයි. එහෙම නොලැබුණා කියලා මම කනගාටුවක් නැහැ. අනිත් එක මෙච්චර කට්ටක් කන්නෙ ආණ්ඩුවට යන්න නෙමෙයි.
Q ඇයි ෆේස්බුක් ගිණුම වහලා දැම්මෙ?
මා වටා මේ වනවිට ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒ වගේම එකතුවෙමින් ඉන්නවා. මේ නිසා ඒ පිළිබඳව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියක් ලැබුණොත් ආණ්ඩුව තව තවත් කලබල වෙනවා. ඒ නිසා මැතිවරණය අවසන් වෙනකම් ෆේස්බුක් ගිණුම වහලා තියෙන්නෙ.
මොකද දැනටමත් අපේ පක්ෂයේ ප්රචාරක කටයුතුවලට ආණ්ඩු පක්ෂයේ පිරිස් නිරතුරුවම බලපෑම් එල්ල කරමින් තිබෙනවා. මැතිවරණ ප්රචාරක කාර්යාල විශාල ප්‍රමාණයකට පහරදීලා තියෙනවා. ඒ වගේම විවිධ තර්ජනය කිරීම් කරනවා. මේ පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කරලා තියෙනවා. පොලීසියට පැමිණිලි කරලා තියෙනවා. ඒත් මැතිවරණ කටයුතුවලට දිනෙන් දිනම බාධා එල්ලවෙමින් තිබෙනවා. ඒක නිසා ඉදිරි දිනකදී බදුල්ලේ ජනතාව එකතු කරගෙන දැවැන්ත උපවාසයක් සිදුකරනවා.
Q ඌව පළාත් සභා මැතිවණ ප්රචාරක කටයුතුවලට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත්ද?
අපේ පක්ෂයේ සියලු දෙනාම මේ දිනවල ඌව පළාත දිනාගැනීමේ කටයුත්තට අවශ්‍ය දේවල් සිදුකරමින් තිබෙනවා. ඒ සඳහා නායකතුමාගෙ ඉඳලා සෑම කෙනෙකුගේම සහයෝගය ලැබෙමින් තිබෙනවා.
ඒ වගේම පක්ෂයේ සංවත්සරයත් ඌව පළාතෙදි සිදුකරන්න කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ. මීට අමතරව මම ආසන්න වශයෙන් රැස්වීම් 515කට ආසන්න ප්‍රමාණයක් පවත්වන සැලසුම් කර තිබෙනවා. ඉන් රැස්වීම් 300 ක් විතර මම මේ වනවිට අමතලා තියෙනවා.
Q සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පක්ෂ නායකවරයා සහ නායකත්ව මණ්ඩල සභාපතිතුමා සමග අත්වැල් බැඳගෙන ඌව ප්රචාරක කටයුතුවලට එන්න කියලා ඔබ ආරාධනා කළා. එය ඉෂ්ට වී තිබෙනවාද?
මම හිතනවා ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන රැස්වීම්වලට සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි කියලා. මොකද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ප්‍රධාන රැස්වීම් 17 පැවැත්වෙන්නෙ ඉදිරියේදියි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බව දන්වලා තියෙනවා.
Q ඥාති සංග්‍රහය යටතේ දේශපාලනයට පැමිණෙන පිරිස විවේචනය කරන ඔබත් දේශපාලනයට පැමිණියේ ඥාති සංග්‍රහය යටතේ නේද?
මම දේශපාලනයට ආවෙ මගේ භාර්යාවගේ පියා වන විල්සන් ඩයස් මැතිතුමා නිසා. හැබැයි මම ආඩම්බරයෙන් කියනවා මම දේශපාලනයට ආවෙ එතුමා දේශපාලනයට ආයුබෝවන් කිව්වට පස්සෙ. මොකද මාමයි බෑණයි එකට දේශපාලනය කරන්න හොඳ නැහැ කියලා හිතුණ නිසා මාමා දේශපාලනයෙන් ඉවත්වුණා. මොකද මම ඥාති දේශපාලනයට අකමැති කෙනෙක්. හැබැයි ආණ්ඩු පක්ෂය තුළ තාත්තයි, පුතයි, නෝනයි දේශපාලනය කරනවා.
Q ඌව පළාත ඇත්තටම දුප්පත්ද?
ඔව්. මේ පළාතේ ඉන්නවා මව්කිරි බිව්වට පස්සෙ කිරි වීදුරවක් නොබීපු අය. හැබැයි ඌව පළාත කියන්නෙ රටටම බත සපයපු පළාතක්. එළවළු ටික සපයපු පළාතක්. අද මේ පළාතේ මිනිස්සු දැඩි නියඟයකටත් මුහුණදීලා ඉන්නවා. එච්චර අසරණ වෙච්ච මිනිස්සුන්ට වතුර ටික ලබාදෙන්න අපේක්ෂයන්ගේ නම්, අංක ගැහැව්ව බවුසර වලින්. වතුර බෝතල් ලබාදෙන්නෙ අපේක්ෂකයන්ගේ ඡායාරූප සහිතව.
මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ ජල මූලාශ්‍ර හදන්න ඕන කියලා. අවසානයට කියන්න සිදුවෙන්නෙ මේ මැතිවරණය අවසන් වුණාට පස්සෙ ඔය කියන ව්‍යාපෘති සිදුවෙන්නෙ නැහැ කියලා තමයි.
Q ඌව පළාතේ බලය ලබාගැනීම සඳහා ඇයි මේ තරම් සටනක් දියත් කරන්නෙ?
ප්‍රධානම කාරණය තමයි ඌව පළාතේ දුක්විඳින ජනතාව ගොඩදාන්න තමයි එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නෙ. අනිත් කාරණය තමයි පොදුවේ ගත්තම මේ මැතිවරණයෙන් පසු එළඹෙන්නෙ ජාතික මැතිවරණයක්. ඒ මැතිවරණයේදී ඌව පළාතේ ජය කාටත් වැදගත් වෙනවා. ඒ නිසා ඌව පළාත තුළ උණුසුම වැඩිවෙන්න එය හේතුවක් වෙලා ඇති.