මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන වැවිලි ක්ෂෙත්රය තුළ නිරන්තරයෙන්ම ගැටලු අර්බුද ඉස්මතු වනු දැකිය හැකිය. එම බෝග සඳහා වන මිල වෙනස්වීම, වගා කටයුතුවලදී පැණනගින ගැටලු ආදිය ඒ අතර ප්රමුඛ වේ. එවන් වූ වැවිලි ක්ෂේත්‍ර‘යේ හෙට දවස සුබ කරන්නට වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සමත්වනු ඇතිද? මේ ඒ සූදානම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සමග කළ සංවාදයකි.
Q වැවිලි ක්ෂේත්රය ආශ්රිත නව ප්රවණතා මොනවාද?
සාම්ප්‍රදායික වැවිලි ලෙස දැනට යන්නෙ තේ, පොල්, රබර් තමයි. දීර්ඝකාලීනව බැලුවොත් අපිට නව බෝගවලට යන්න සිද්ධ වෙනවා. එතකොට අපිට ඒක ගැන අලුතින් හිතන්න වෙනවා. අපේ ඉඩම් ප්‍රමාණයත් එක්ක ඒවා නිවැරදිව භාවිත කළ යුතු වෙනවා. තේ, පොල්, රබර් අවුරුදු එකසීය ගාණක් පුරාවට තිබුණ බෝග. ඒවායින් අපේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබුණා. නමුත් ලබන අවුරුදු 30 සඳහා අපිට සාම්ප්‍රදායික බෝගවලට අමතරව අලුත් බෝග ගැන හිතන්න වෙයි. ඒකට අපි විශේෂයෙන්ම බෝග කිහිපයක් අරමුණු කරගෙන ඉන්නවා.
එකක් තමයි උක්. ඒ වගේම කුරුඳු, මීට අමතරව ෆාම් ගස් වගාවක් සිදුකරන්න අපේක්ෂා කරනවා. මේ තුන සම්බන්ධයෙන් දැනටත් පරීක්ෂණ කරමින් තිබෙනවා. විශේෂයෙන් මේ බෝග ඔක්කොම යන්නෙ ජාත්‍යන්තර වෙළෙඳ පොළත් එක්කයි. ජාත්‍යන්තර වෙළඳ පොළේ තේවලටයි, රබර්වලටයි දැන් තියෙන මිල තත්ත්වය ඒ තරම් හොඳ නෑ. එහෙම නම් රටට විශාල ආදායමක් ලබාගැනීමට හැකියාවක් තිබෙන සාම්ප්‍රදායික නොවන බෝගවලට අපි යා යුතුයි. ඒවා හඳුනාගෙන පෞද්ගලික අංශ සමග අත්වැල් බැඳගෙන විශාල ආයෝජනයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
Q සාම්ප්‍රදායික යැයි බෝග කිහිපයක් වෙන්කොට දැක්වීම අනෙක් බෝගවගාවන් එතරම් සාර්ථක නොවීමට හේතුවක්?
ආර්ථිකය රඳා පවතින්නෙ සැපයුම් හා ඉල්ලුම මත. ජේම්ස් ටේලර් ඇවිල්ලා තේ පැළයක් වවලා අද වෙනකොට ඒක අක්කර ලක්ෂ ගාණක් දක්වා විහිදිලා. තේවලට තිබුණු මිල හා ඉල්ලුම නිසා තමයි ඒක සිද්ධ වුණේ. රබර් හා පොලුත් එහෙමයි. විශේෂයෙන්ම කොරියානු යුද්ධය නිසා තමයි ලංකාවෙ ආර්ථිකයට රබර්වලින් විශාල රුකුලක් ලැබුණේ. කොරියානු යුද්ධෙන් පස්සෙත් ස්වාභාවික රබර්වලට දිගටම යම් තරමක ඉල්ලීමක් තිබිලා තියෙනවා. පොල්වලටත් එහෙමයි. අදත් පොල්වලට හොඳ තත්ත්වයක් තියෙනවා. ලෝකයේ මිනිසුන් මිලදී ගන්නා පිළියෙළ අනුව ගත්තොත් පොල් තෙල්වලට විශාල ඉල්ලුමක් දැන් ඇති වේගෙන යනවා. ඒකෙන් අපට විශාල ආයෝජනයක් ලබාගන්න පුළුවන් කියලා අපි හිතනවා. මේ තුනෙන් විශාල දායකත්වයක් ආර්ථිකයට ලැබෙනවා.
ලක්ෂ ගාණක් මිනිස්සු මේවායින් ජීවත් වෙනවා. මම හිතන්නෙ මිනිස්සු ටික මේවායින් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නෙ කොහොමද කියන එකයි වැදගත්. සුද්දගෙ කාලෙන් පස්සෙ අද තේ නිෂ්පාදනයෙන් 73% ක් එන්නෙ කුඩා තේ වතු හිමියන්ගෙන්. ඉතිං කුඩා තේ වතු හිමියා ආරක්ෂා කරගත යුතුයි. ඒක කරන්නෙ කොහොමද කියන එක රජයට තියන දේශපාලන ප්‍රශ්නයක්. 22% ක් විතරයි සාම්ප්‍රදායික වැවිලි සමාගම්වලට තියෙන්නෙ.
අපිට රජයක් වශයෙන් යුතුකමක් හා වගකීමක් තියෙනවා කුඩා තේ වතු හිමියන් රබර් වතු හිමියන් ආරක්ෂා කරන්න. තේ ගත්තොත් අපි උපරිම වශයෙන් උත්සාහ කළත් මේ වෙද්දි වෙළෙඳ පොළේ මිල අඩුවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මැදපෙරදිග ඉරානයේ ප්‍රශ්නයක් නිසා ඒක අපිට බලපාලා තියෙනවා. රුසියාවේ ප්‍රශ්නෙ නිසා ඒකත් අපට බලපාලා තියෙනවා. චීනය ග්‍රීන් ටී පමණක් ගන්නවා කිව්වට එහෙම නෑ. බ්ලැක් ටීවලටත් විශාල ඉල්ලුමක් තියෙනවා. දකුණු ඇමරිකාවෙ, යුරෝපයෙ වෙළෙඳ පොළවල් රැසක් අපට අල්ලන්න පුළුවන්. කර්මාන්ත ඇමති හැටියට පොල්වලටත් රබර්වලටත් හොඳ වෙළෙඳ පොළක් ලබාගන්න ප්රයත්නයක් තමයි මට තියෙන්නෙ.
Q තේ කර්මාන්තය සම්බන්ධව පැනනැගී තිබූ ප්‍රශ්නවලට ලබාදුන් විසඳුම් මොනවාද?
මම අමාත්‍යාංශය භාර අරගෙන සති 6 ක් 7 ක් වගේ ගෙවුණා. ඒ කාලය තුළ මම තත්ත්වය විශ්ලේෂණය කළා. එහිදී එකක් තමයි තේ ප්රශ්නය. විශේෂයෙන්ම කුඩා තේ වතුහිමියන්ට තියෙන ප්රශ්නය. ප්‍රථම ප්රශ්නය තිබුණේ අමු තේ දලුවලට දෙන සහනාධාරය. ස්ථිර මිල දිගටම ගෙනියනවාද නැද්ද කියන ප්රශ්නය තිබුණා. අපි හිතුවා කෙටිකාලීන විසඳුමක් වශයෙන් ඒක හොඳයි කියලා. නමුත් අපි ගැඹුරට මේක පරීක්ෂා කළාට පස්සෙ තේරුම් ගත්තා ඒක දීර්ඝකාලීනව අපිට ගෙනියන්න බෑ කියලා. මාස දෙකක්, තුනක් හෝ හතරක් රැගෙන ගියත් එතනින් එහාට තීරණයක් ගත යුතු වෙනවා.
කවදා හරි අපිට මේක නවත්වන්න වෙනවා. මේ මාස හත අටට බිලියන 5.3 ක් පමණ මේ සහනාධාරය සඳහා වියදම් කරලා තියෙනවා. මේ සහනාධාරයට යොදන්නෙත් ජනතාවගේ මුදල්. ඒ රුපියල් බිලියන 5.3 න් මීට වඩා හොඳ ආයෝජනයක් කරන්න පුළුවන්ද බැරිද කියන ප්රශ්නය ඇසිය යුතු වෙනවා. මහජන මුදල් අපි පාවිච්චි කළ යුත්තෙ අපට ලාභයක් ලැබෙන සේ ප්‍රතිඵල ලැබෙන දේ සඳහායි. අපි හිතන්නෙ කෙටි කාලීන සහනයක් කුඩා තේ වතු හිමියන්ට ලැබුණත් ඉතිරි කාලයත් එය ගෙනයනවාද කියලා හිතන්න වෙනවා.
ඊට වඩා හොඳයි ප්රශ්නය ඇති වුණේ කොතැනින්ද කියලා මුල හොයන එක. අපි අගමැතිතුමා සමග සාකච්ඡා කළා. තේ මණ්ඩලයේ යම් ප්‍රමිතිගත තේ ප්‍රමාණයක් වෙන්දේසියකින් ගන්න. ඒකෙන් වෙළෙඳ පොළේ යම්කිසි වර්ධනයක් අපි ඇති කළ යුතුයි. දැනටමත් ඒක වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙන් ගත් තීන්දුවෙන් පස්සෙ තේ මිල රු. 390 සිට රු. 418 දක්වා ඉහළ ගියා. අපි හිතනවා මේක තවත් වැඩි වේවි කියලා.
Q තේ කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න අමාත්‍යාංශය හරහා පියවර අරගෙන තිබෙනවාද?
අපි විශාල සමාගම් ගත්තොත් ඒ ගොල්ලන්ට තියෙනවා ගිවිසුමක්, තේ දලු කිරන, නෙළන උඩරට දමිළ කාන්තාවන්ගෙන් දවස් 28 ක් පමණක් වැඩ කරවා ගත යුතුයි කියලා. කුඩා තේ වතු හිමියන්ගේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස්. කර්මාන්ත ශාලාවල තත්ත්වය හුඟක් වෙනස්. මේ දවස්වල ඉතාමත් අමාරුවෙන් තමයි කුඩා තේ වතු කර්මාන්ත ශාලා හිමියන් හා කුඩා තේ වතු හිමියන් කටයුතු කරන්නේ. ඔවුන්ගේ වියදමට වඩා අතට ලැබෙන මුදල ගොඩක් අඩුයි. මේ මුදල මගින් නිෂ්පාදන වියදමවත් පියවාගන්න බෑ. ඒ නිසා ඔවුන් තේ දලු නෙළන එකත් නවත්වනවා. දැනටමත් තේ කර්මාන්තය ශාලා දහයක් විතර වහලා. කුඩා තේ කර්මාන්ත ශාලා සේරම තියෙන්නෙ 700 ක් විතර.
වෙන්දේසියෙන් ලැබෙන මුදල් වැඩි වුණේ නැත්නම් තේ කර්මාන්තයේ සෑහෙන කඩාවැටීමක් සිදුවිය හැකියි. අපි රජයක් වශයෙන් රු. 80.00 ක සහතික මිලක් ලබාදෙන්න විශාල මුදල් ප්‍රමාණයක් ගියා. රබර්වලටත් රුපියල් බිලියන 1.6 ක් ගියා. තේවලට රුපියල් බිලියන 5.3 ක් ගියා. ඔක්කෝම බිලියන 08 ක් විතර ගියා. මේ සල්ලිවලින් පාසල් කීයක් හදන්න පුළුවන්ද? පාරවල් කීයක් හදන්න පුළුවන්ද? ඒ ප්රශ්නය අපි ඇසිය යුතුයි. සහනාධාරවලින්ම පමණක් කර්මාන්තයක් දුවන්න බෑ. යම්කිසි අවස්ථාවක ආර්ථිකයේ සැපයීම හා අලෙවිය අතර තරගකාරී බව මත තමයි ආර්ථිකය දුවන්නේ. එමගින් වෙළෙඳ පොළේ බලවේග ක්‍රියාකාරී නොවී ඕනෑම ක්ෂේත්රයක් ගොඩනගන්න බෑ.
Q රබර් කර්මාන්තය ආශ්රිත ස්ථාවර මිල ලබාදීමක් සිදුවන්නේ නැද්ද?
රබර් මිල දැන් අඩුයි. ඒක මේ කාලෙ ටිකක් තියෙනවා. අමු රබර් කිලෝවක් රු. 250 කට පමණ ගිය යුතු වුණත් දැනට තියෙන්නේ 190 ට වගේ. ඒකෙන් කිරි කපන එක නැවතිලා තියෙනවා. අපි හිතන්නෙ මේකත් තව මාස දෙක තුනකින් වෙනස් වෙයි. අපිට අවශ්‍ය රබර් ප්‍රමාණයට වඩා ඉල්ලුමක් පෞද්ගලික අංශයෙන් තියෙනවා. අපි රබර් සහනාධාරයත් මාස 06 ක් ලබාදුන්නා. ඒකටත් රුපියල් මිලියන 1000 ක් පමණ ලබාදුන්නා. මේ සියලු දේ කළේ ජනතාව වෙනුවෙන්. රජයක් විදියට අප තීරණය කළ යුතුයි සහනාධාරවලින්ම ක්ෂේත්රය දුවන්න පුළුවන්ද කියලා. ක්ෂේත්රය කඩාවැටීමට යනවා නම් සහනාධාර වැඩි කරලා ශක්තිමත් කරන්න වෙනවා.
Q නමුත් මේ තරම් රබර් මිල කඩාවැටීමක් පසුගිය කාලවලදී සිදුවුණේ නෑ නේද?
නෑ. සිදුවුණා. මීට අවුරුදු 3 කට කලිනුත් මේ විදිහටම දෙයක් සිදුවුණා.
Q මේ විදිහට සාම්ප්‍රදායික බෝගවල කඩාවැටීමට දේශපාලන කරුණුත් බලපෑවාද?
කිසිම දේශපාලනික දෙයක් හෝ ගිවිසුමක් බලපාලා නෑ. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තිබෙන ගැටලු නිසයි මේවා වෙලා තියෙන්නෙ. මේ තත්ත්ව සම්බන්ධව එක රජයකට චෝදනා කරන්න බෑ. රු. 520 ට තිබුණ තේ දලු කිලෝ එක මම භාරගනිද්දි රු.368 යි. දැන් ඒක රු. 418 ට ඇවිල්ලා.
Q වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීමක් කරන්නෙ නව වැවිලි බෝග ඇති කරන්නද?
අපේ අමාත්‍යාංශයේ නම් තාම එහෙම ඉඩම් පවරා ගැනීමක් කරන්නෙ නැහැ. ජනාධිපතිතුමාගේ පොදු ප්‍රතිපත්තියක් තියෙනවා විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව. එතුමාගේ දර්ශනය තමයි රටේ සෑම ඉඩම් අඟලක්ම වගා කරනවා කියන එක. ඒකට සාමාන්‍ය ජනතාවත් තමාගේ ඉඩම් ප්‍රමාණය වගා කරන එකයි එතුමාගේ බලාපොරොත්තුව. ඒකට ජනතාව පෙළඹීමක් විදිහට වගා නොකරන ඉඩම් පවරාගන්නවා නම් ඒක සාධාරණයි.
Q එය අධිරාජ්‍යවාදී පාලන සමයේ ගෙන ආ මුඩුබිම් පනත වගේ වෙයිද?
නෑ. එහෙම එකක් නෑ. අපේ උඩරට ඉඩම් තමයි තේ දාන්න සුද්දා ගත්තෙ. එකෙන් ගොඩක් සමාජ අසාධාරණකම් වුණා. එහෙම කිසිම සමාජ අසාධාරණයක් නොවී ආහාර නිෂ්පාදනයේ වැඩි කිරීමක් කරන්නයි අපි අපේක්ෂා කරන්නෙ.