අපේ රටේ පරිපාලනය දේශපාලන සංස්කෘතියක්
ලාංකේය සමාජය තුළ සමාජ, ආර්ථික, දේශපාලන ආදී සමස්ත ක්රමයම දේශපාලනය වී හමාරය. පරිපාලන ක්ෂේත්රය තුළ පවා දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වීම තුළින් වුවද, එය මැනවින් පැහැදිලි වේ. පරිපාලන ව්‍යුහය දේශපාලන ව්‍යුහයෙන් වෙන්කර ඇත්තේද පරිපාලන නිලධාරියා එම නීතිමය හා ප්‍රතිපත්ති රාමුවට අදාළව අපක්ෂපාතීව තීන්දු තීරණ ගන්නා බැවින්ය. නමුත් දැන් එය වචනයට පමණක් සීමා වී තිබීම ලාංකේය සමාජය පත්ව ඇති බරපතළ විනාශය පෙන්නුම් කරන්නකි. රටේ ඉහළම පුද්ගලයාගේ සිට වැඩ කරන පහළම සේවකයා දක්වා මෙම ක්‍රමය උඩුදුවා ඇත. එවන් වූ ක්‍රමයක් තුළ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා %අද^ට සම්බන්ධ කර ගත්තෙමු. ඔහු මේ පිළිබඳ දැක්වූවේ මෙවන් මතයකි.
අපට 1948 වර්ෂයේදී බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබුණට පසුව, බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ ආර්ථික සහ ඒහා බැඳුණු දේශපාලනික, සමාජීය අරමුණු සපුරා ගැනීම සඳහා සකස් කරන ලද පරිපාලන යාන්ත්‍රණය එලෙසින්ම භාවිතයට ගැනුණා. එහි බොහොම යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණද තිබෙනවා. පරිපාලනයේ විනයක් තිබීම එම යාන්ත්‍රණයේ දැකිය හැකි යහපත් ලක්ෂණයක්. ඒ වගේම ඒ පරිපාලන යාන්ත්‍රණය තුළ ශික්ෂණයක්, දැක්මක්, මූල්‍යමය රෙගුලාසි රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කෙරුණා. නිලධාරී පැළැන්තිය තුළද ගුණාත්මක ලක්ෂණ එකළ දැකගන්නට හැකි වුණා. බණ්ඩාරනායක මැතිනිය සමයේ ලේකම් එම්.බී.ටී. පිරිස්, බ්‍රඩ්මන් වීරකෝන්, එච්.එම්. ඩයස් වැනි විශිෂ්ට ගණයේ නිලධාරී පැළැන්තියක් හිටියා. ඒ පුද්ගලයන්ට තමන් ලබපු අධ්‍යාපනයට අමතරව තමන් විසින්ම ඇති කර ගත් ස්වං ශික්ෂණයක් තිබුණා. ඒ අය තමන්ට ලැබුණු බලය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනුණේ බොහොම අඩුවෙන්. එකල සිටි ඇතැම් නිලධාරීන්ගේ කැපවීම කොයිතරම්ද කියනවා නම්, තමන්ට ලබාදී ඇති වාහනය භාවිත කළේ රාජකාරි නිල අවශ්‍යතා සඳහා පමණයි. එවැනි ශික්ෂණයක් තමයි ඒ කාලයේ සිටි නිලධාරීන්ට තිබුණේ.
නමුත් ඒ පරිපාලන යාන්ත්‍රය තුළ තිබුණ අයහපත් ලක්ෂණය තමයි, යටත් විජිතයක් වශයෙන් පැවතිලා කඩිනම් ආර්ථික වර්ධනයක්, සමාජ වර්ධනයක් ඇති කර ගන්න දරපු උත්සාහයේදී අධම්ය, අනම්‍ය පරිපාලන නීති හරහට හිටිය එක. ඒවා වෙනස් කළ යුතුයි. නිශ්චිත නිල තන්ත්රයක් සකස් කළ යුතුයි. ඒ නිල තන්ත්රය සමාජයේ පහළ මට්ටමේ සිටම පිහිට වූ එකක් විය යුතුයි.
මූලික වශයෙන් මේ වෙනස සිදු කිරීමට මූලාරම්භය ගනු ලබන්නේ 1970 වර්ෂයේ සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවයි. පෙර කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් ධුරය සඳහා බඳවා ගනු ලැබුවේ ඉංග්‍රීසි කාලයේ සිවිල් සේවා විභාගය සමත් වූ පලපුරුද්දෙන් ඉහළ අය. මොවුන් හැඳින්වූයේ ස්ථිර ලේකම් නමින්. බොහෝ ලේකම්වරු තනතුරෙන් විශ්‍රාම ගන්නා තෙක් එම ධුරවල සේවය කළා. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ තමයි %ගම්මුලාදෑනී^ තනතුර ඉවත් කර %ග්‍රාමසේවක^ නමින් පිහිටෙව්වේ.
සමගි පෙරමුණ ආණ්ඩුව විසින් පැරණි සම්ප්‍රදායෙන් සිවිල් සේවා විභාගය නැතිනම් පරිපාලන සේවා විභාගය සමත් වූවන්ගේ ක්ෂේත්රයෙන් බැහැරව විශිෂ්ට කුසලතා ඇති පුද්ගලයන් අමාත්‍යාංශ ලේකම් ධුරවලට පත්කිරීමට කටයුතු කළා. සමගි පෙරමුණ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කළේ ආර්ථික විශේෂඥ මහාචාර්ය එච්.ඩී. ද සිල්වා මහතා. ඔහු ඒ සම්බන්ධව ඉතා පුළුල් දැනුමක් තිබූ කෙනෙක්. ඇත්තෙන්ම එවැනි වෙනසක් කළ යුතුව තිබුණා. මොකද එක් අංශයක පමණක් බුද්ධියක්, දැනුමක් තිබෙන පුද්ගලයන්ට රටේ ජන ජීවිතය පාලනය කරන්න බැරි නිසා. එහි වරදක් නොමැති බවයි මා නම් දකින්නේ.
නමුත් පසුකාලීනව මේ නිසා යම්යම් වෙනස්කම් ඇති වුණා. පසුකාලීනව මේ අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට දේශපාලඥයන් විසින් තම මිත්‍රයන් පත්කර ගන්න කටයුතු කළා. තමන්ගේ හොරමැරකම්, වෙනත් වංචනික වැඩ, අල්ලස් ගැනීම් වැනි දේවල් සමාජයෙන් වසාගෙන හවුල්කාරීව ඔවුන් හා එක්ව සමගියෙන් මේවා කරගෙන යන්න අවශ්‍ය නිසා. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතික හා අධ්‍යාපන යන සෑම ක්ෂේත්රයක්ම අයත් පරිපාලන ක්ෂේත්රයට බලපෑම් කිරීම සඳහා දේශපාලකයාට තිබූ අවසරය, ඉඩ අවකාශය සමගි පෙරමුණ ආණ්ඩුව විසින් පුළුල් කළා. එය මේ ක්ෂේත්රයේ තිබූ විශාල වෙනසක්. ඒ කාලයේ මහජන කමිටු නමින් කමිටු පත්කර තිබුණා. මේවායේ හොඳ අරමුණක් තිබුණා. නමුත් ඒවා ක්‍රියාත්මක වීමේදී පරිපාලන ක්ෂේත්රයේ තිබූ වරදම සිදු වුණා. දේශපාලකයන් නිලධාරීන්ට බලපෑම් කරන, තර්ජනය කරන මට්ටමට වර්ධනය වෙන්න පටන් ගත්තා. ඔය අවධියේ සිට වර්ධනය වූ තව ලක්ෂණයක් තමයි දේශපාලනයට පිවිසෙන පිරිස්, ඒ කියන්නේ මහජන නියෝජිතයන් ලෙස තෝරා ගන්නා පිරිස්වල ගුණාත්මක අගය බරපතළ ලෙසින් පිරිහෙන්න පටන් ගැනීම. අපි නම් වශයෙන් පැවසුවොත් ඒ පැරණි ක්‍රමය තුළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්.ද. සිල්වා වැනි විශිෂ්ට ගණයේ නිලධාරීන් දැනුම් සම්බාරයක් තිබූ අය. නමුත් ඒ වෙනුවට අධ්‍යාපනයක් නැති, පොත් තියා පත්තරයක්වත් කියවන්නේ නැති පිරිස් මේකට ආවා. ඔවුන් හේතු මවාගෙන විදේශගත වෙන්න, හිතුමතේට මෝටර් රථ මිලදී ගන්න ආදී නොයෙක් දූෂිත ක්‍රියාවලට පෙළඹුණා.
මේ මැතිවරණ සමයේ මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපති සමග පාර්ලිමේන්තු මැති ඇමතිවරු රථවාහනවල ගමන් කළ ආකාරය ඔබ මාධ්‍ය ඔස්සේ හොඳාකාරව දැක ගන්නට ඇති. බලන්න ඔවුන් ඒ ගමන් කළ වාහන. මේ රටේ මිනිස්සු වැස්සට තෙමිලා, අව්වට කරවෙලා, කොන්දොස්තරලාගෙන්, රියදුරු මහත්වරුන්ගෙන් බැණුම් අහලා බස්වල යන අතරේ මේ මිනිස්සු විතරක් මේ වගේ විශාල ජාතික ධනයක් පරිභෝජනය කරන්නේ මොනවා කරලද? මොන සුදුසුකමක් තියාගෙනද? මොනවගේ ප්‍රතිපත්තියක් තිබිලද? ඉතින් මෙන්න මේ කියන ජරාජීර්ණ තත්ත්වය ඇති වෙනවා මේ සාධ්‍ය සියල්ලේ සමුච්ච ප්‍රතිඵලයක් ලෙස.
පරිපාලන ක්ෂේත්රවලත් බොහෝ නිලධාරීන් උත්සාහ කරන්නේ තමන්ගේ සමීපතම දේශපාලකයා, ඇමතිවරයා සතුටු කරමින් නීතිවිරෝධී, වීනය විරෝධී මූල්‍යමය රෙගුලාසිවලට යටත්ව ඒවා සිදුකරමින් ස්වාමියා ධනවත් කරමින් තමනුත් ධනවත් වීමට කටයුතු කිරීම. ඔවුන් දුෂ්කර පළාත්වල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස කැලෑ කපාගෙන, අල්ලස් ගනිමින් කටයුතු කරන අතර, කොළඹදී සුඛෝපභෝගී ජීවිත ගත කරමින් තමන්ගේ දරුවන්ට විදේශ රටවල අධ්‍යාපනය ලබා දෙමින් සන්තෝෂයෙන් සිටිනවා. ඒ ආකාරයේ අනර්ථකාරී ගමනක අවසානය වෙන්නේ විනාශය. මම හිතන්නේ අපි ඒ විනාශයට ගමන් කරමින් සිටිනවා කියලා. අද දේශපාලඥයෙකු, පරිපාලන නිලධාරියෙකු සමග විරසක වීමක් හෝ පළිගැනීමක් ඇති බව අහන්න ලැබුණත් එය ඔවුන් දෙදෙනාගේ වුවමනා සපුරා ගැනීමේදී ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් මිසක් මූලධර්ම මත ඇති වූ ගැටුමක් ලෙස සිතීම අපහසු කරුණක්. කෙසේ නමුත් දැන් සිදුවන මේ විනාශකාරී ක්‍රමය තුළ අවසානයේ පීඩාවට පත්වෙන්නේ අහිංසක දුප්පත් ජනතාව.
ගොවීන්ට පොහොර ටික වෙලාවට ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුව, ඇමතිවරයා, නිලධාරීන් කියන මේ සියලු දෙනා මේ සඳහා වගකියන්න අවශ්‍යයි. උදාහරණයක් ලෙස මේ දිනවල බොහෝ ලෙස කතාවට ගැනෙන නායකත්ව පුහුණුව ගනිමු. ඒවා ඇත්තෙන්ම බටහිරට ආවේණික වූ කාබන් කොපි. ඒවා නියමිත අයුරින් සිදු කරන්නේද යන්න පිළිබඳ කිසිම අධීක්ෂණයක් නැහැ. විදුහල්පතිනිය මිය යෑම සම්බන්ධයෙන් ගත් විට ඇය මිය යෑමට හේතු වූ කඹය මේ සඳහා යොදා ගැනීමට ප්‍රථම පරීක්ෂා කළේ නැතිද, එසේ වුවත් එයින් යම් අනතුරක් සිදුවුවහොත් ආරක්ෂාව සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කර තිබුණේ නැතිද? ඒවා ඇත්තෙන්ම සිදු කරන්නන්වාලේ සිදු කරන වැඩ බවට අද පත්වෙලා තිබෙනවා. ඇත්තෙන්ම මෙයින් වෙනසක් ඇති වෙන්න නම් එක් දෙයකින් පමණක් මෙය සිදු කළ නොහැකියි. ඇත්තෙන්ම විප්ලවයක් තිබිය යුතුයි. එය රැඩිකල් විප්ලවයක් විය යුතුයි. 2015 දී අගෝස්තු මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අයගෙන් 40 දෙනෙකු ආණ්ඩුවට ගියා. ඒ ඔවුන්ගේ වසල දේශපාලන අවශ්‍යතා පිරිමසා ගැනීමට. මොකද ඡන්දය අපේක්ෂකයන් ලෙස සිටින විට ඔවුන් ප්‍රකාශ කළේ නැහැ මෙවැනි තත්ත්වයක් මතු වූ විට ඔවුන් එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වෙනවා කියලා. ඔවුන්ට ඡන්දය දුන් මහජනතාව කිසිසේත් නොසිතන්න ඇති මෙසේ සිදුවෙයි කියලා. ඇත්තෙන්ම ඔවුන්ට ඡන්දය දුන්නේ එහෙම යන්න නෙමෙයි. අවසානයේ ඔවුන්ගේ විතර්කවාදී තර්ක පිළිගන්න ජනතාවට සිදුකළා. මෙය සමාජයක් ඉදිරියේ ප්රකෝපකාරී ලෙස හැසිරීමක්. මෙන්න මේ ඛේදනීය දේශපාලන තත්ත්වය රාජ්‍යයේ නිලධාරී පැළැන්තියේ උදාසීනත්වයට, අකාර්යක්ෂමතාවට හේතුවෙලා තිබෙනවා.
පරිපාලන ක්ෂේත්රය තුළ දැනටත් සිටිනවා යම්කිසි වගකීමක් දරන ඉහළ මූලධර්මවලට ගරුකරන නිලධාරීන් පිරිසක්. නමුත් මේ හුරුවෙච්ච දේශපාලන තන්ත්රය ඇතුළේ ඉහළ තනතුරුවලට ගිහින් කටයුතු කරන්න ඔවුන්ට සිදු වෙනවා.
අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනම පරිච්ඡේදයක් තිබෙනවා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එහි පැහැදිලිව සඳහන් වෙනවා සෑම ළමයෙකුටම අධ්‍යාපනය ලබන්න අයිතියක් තිබෙනවා කියලා. නමුත් ඇත්තෙන්ම අද අපේ රටේ දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම කොයිතරම් බොරුකාර දූෂිත ක්‍රියාදාමයක් බවට පත්වෙලා තිබෙනවාද? අල්ලස් ගැනීම් පමණක් නෙමෙයි දේශපාලඥයන් තමන්ගේ හිතවතුන්ගේ හා තමන් ඡන්ද අපේක්ෂකයෙක්ව සිටි කාලයේ උදව් කළ අයගේ දරුවන් ජනප්‍රිය යැයි පවසන පාසල්වලට ඇතුළත් කර දෙනවා. මෙය නිලධාරීන්ගේ පැත්තෙන් වුවත් ප්‍රබල ප්‍රශ්නයක්. ජාතික පාසලකට පත්වෙන ඇතැම් විදුහල්පතිවරුන් ඉතා කෙටි කලක් තුළ විශාල ධනස්කන්ධයකට උරුමකම් කියනවා. එය අද ලාංකේය සමාජයේ ප්‍රසිද්ධ රහසක්. ඒ වැරදි ක්‍රියාදාමයන් ගෙන යාම සඳහා ප්‍රයෝජනයට ගන්නේ දේශපාලඥයාගේ සහාය. ඔවුන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් මේ කටයුතු සිදුකර ගෙන යනවා. ඇතැම් දේවල්වලදී මෑතකාලීනව අපේ රටේ පරිපාලනය දේශපාලන සංස්කෘතියක් බවට පත්වෙලා තිබෙනවා. දේශපාලඥයන් තමන්ගේ අකාර්යක්ෂමතාව, උදාසීන බව, නොහැකියාව වසන් කරගැනීම සඳහා කවරෙකුට හෝ දොස් කියනවා. මේ ආණ්ඩුව දිගෙන් දිගටම සිදුකරන්නේ මොනවා සිදු වුණත් පසුගිය ආණ්ඩුවේ මුව හමට තඩිබාන එක. මම සිතන්නේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ඡන්ද අඩු වෙන්න හේතුවක් වුණෙත් ඒ දේ කියලා. රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි නිසානේ මේ යහපාලන ආණ්ඩුව තේරී පත්වුණේ. විගණකාධිපතිවරයා ප්‍රකාශයක් කළා පසුගිය දස වසර ඇතුළත වාර්තා වූ විගණනය වාර්තා පිළිබඳව. ඔහු ඒ ප්‍රකාශය කළේ පළාත් පාලන මැතිවරණයට දවස් තුනක් තියලා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා, පළාත් පාලන ආයතන, පළාත් සභා ආදී සියලුම දේවල්වල විගණන දේවල් වාර්තා තබා ගැනීම කළ යුතුයි. ඒ වෙනුවට ඔහු අර දේශපාලඥයන් අනුගමනය කරන ලෙසයි මම දකින්නේ. මගේ අදහස අනුව නම් විගණකාධිපතිවරයා තවදුරටත් මාධ්‍ය සන්දර්ශනවලට නොයා යුතුයි. ඔහු පවසන අන්දමින් ට්‍රිලියන 9යි ගාණක මහා මුදල් සංඛ්‍යාව සටහන් වුණේ නැතිනම් ඇත්තෙන්ම එය දිනකින්, දෙකකින් සිදුවන දෙයක් නෙමෙයි. එය වසර ගණනාවක් තිස්සේ සිදු වූ දෙයක්. පළමු වර්ෂයේදී ඔවුන්ට එය හඳුනා ගැනීමට නොහැකි වුණා යැයි සිතමු. නමුත් දෙවැනි, තෙවැනි ආදී වශයෙන් මෙලෙස සිදුවීම ප්‍රතිපත්තිමය වශයෙන් තිබෙන අකාර්යක්ෂතාව පිළිබඳ බරපතළ පසුබෑමක්.
මෑතකදී සිදු වූ මේ සම්බන්ධ තවත් දෙයක් මතක් කළොත් දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව නඩු විභාග කිරීම සහ ඇප දීම ආදී කාරණා සම්බන්ධව උසාවිය රාත්‍රී කාලය වන තුරු විවෘතව තබනවා. මෙය ක්‍රියාත්මක කරන්නේ කවුද? දේශපාලඥයෙක්ද, රෙජිස්ටාර්ද යන්න කියා මිනිසුන් දන්නේ නැහැ. ඇයි එයට පමණක් එහෙම රාත්‍රී කාලය වනතෙක් උසාවිය විවෘතව තබන්නේ. මෙයින් පැහැදිලි වෙන්නේ රටේ සමස්ත පරිපාලන යාන්ත්‍රණයම අවුල් වෙලා, පරිහානියට පත්වෙලා තිබෙන බව. අපේ රටේ මෙවැනි දේ සිදුවීම හරිම අශෝචනීය දෙයක් ලෙසයි මම දකින්නේ. මේ දිනවල මොනරාගල, බුත්තල ප්‍රදේශවල දෙහි ගස්වල යට දෙහි ගෙඩි වැටෙනවා. මොකද, ඒ සඳහා මිලක් නොමැති නිසා. නමුත් ඒ ගොවීන් ආරක්ෂා කර ගැනීමට කිසිදු නිලධාරියෙක් මැදිහත් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එවැනි දේ මිලදී ගෙන කොයිතරම් අතුරු නිෂ්පාදන කරන්න පුළුවන්ද? මෙහේ අස්වැන්න නෙළන කාලෙට පිටරටින් හාල් ගෙන්වනවා. ඒ නිසා පෞද්ගලික මෝල් හිමියන් අඩු මිලට වී ටික ගන්නවා අර දුප්පත් ගොවීන්ගෙන්. වෙළෙඳ පොළේ සහල් හිඟයක් ආවාම මේ මෝල් හිමියන් වැඩි මිලට සහල් වෙළෙඳ පොළට දාන අතර, දුප්පත් ගොවියා පැත්තක සිටියදී සුළුතරයක් වූ මෝල් හිමියන් ධනවත් වෙනවා. මේවා පිළිබඳ ජනතාවට තිබෙන දැනුම අවබෝධය අඩුයි. ඔවුන්ට දැනෙන කාරණයට තමයි මොවුන් ප්‍රතික්‍රියා දක්වන්නේ. නමුත් සැබැවින්ම සිදුවන්නේ මෙයයි. මේ සිවිල් සමාජය තුළ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න සියල්ල යටපත් වෙලා ව්‍යවස්ථාවන්, මානව හිමිකම් වගේ බටහිරින් සකස් කර දුන් න්‍යාය පත්‍ර අතට අරගෙන සාමාන්‍ය ජනතාව නොමග යවමින් සිටිනවා. එයට අපේ උගතුන් යැයි කියන පිරිසගෙන්ද සහයෝගය ලැබෙනවා.
මම අපේක්ෂා කරනවා පුද්ගලයෙක් වශයෙන් ඉදිරියේදී බලයට පත්වන හෝ බලයේ සිටින කුමන පක්ෂයක් වුවත් රටේ තිබෙන රැකියා සාධාරණ ලෙස බෙදා දී යුතුයි කියා. අද සිදුවන්නේ මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවලට පුරප්පාඩු තිබෙන රජයේ රැකියා ටික ලබා දෙන එක.
දැන් සිටින ජනතාවගේ අධ්‍යාපන සාක්ෂරාතාව ඉහළ අගයක් ගත්තත් දේශපාලන සාක්ෂරතාව හරි පහළ මට්ටමක තිබෙන්නේ. ඡන්දය ලබා දීමේදී හිතවත්කමට, ඥාති සම්බන්ධතාවට හා වාසිය අපේක්ෂාවෙන් ඡන්දය ලබාදෙන බහුතරයක් මිනිසුන් අපේ රටේ සිටිනවා. පක්ෂයේ ප්‍රතිපත්තිය සලකා බලා පක්ෂයට ඡන්දය ලබා දීලා ඔවුන් තේරී පත්වුණාම එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න බල කරන සමාජයක් තිබෙනවා නම් මේ තිබෙන දූෂිත තත්ත්වයේ යම්කිසි පාලනයක් ඇති කරන්න හැකි වේවි. මේ පිළිබඳ සමාජ කතිකාවතක් කරා අපි ගමන් කරන්න අවශ්‍යයි. බොහෝ අය චෝදනා කළා සිංගප්පූරුවේ පාලන තන්ත්රය ඒකාධිපති ස්වරූපයක් ගනියි කියලා. නමුත් ඒ තත්ත්වය තුළින් සිංගප්පූරුව තුළ අද වන විට ප්‍රබල විනයක් ඇතිකර තිබෙනවා. ඒ රටේ තැන් තැන්වල දමන කුණු දකින්න නැහැ. නමුත් ලංකාවේ ඒ ප්රශ්නය උග්‍ර වශයෙන් දකින්න ලැබෙනවා. එවාට දඬුවම් දීම මගින් හෝ විසඳුමක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. එය මහාමාර්ග පද්ධතිය තුළ වුවත් දැකගත හැකියි. අද වැඩියෙන්ම මාර්ග නීති කඩකරන්නේ පොලීසියේ හා ආරක්ෂක අංශවල වාහන. ඒවා නිරන්තරයෙන් ඇහැට හසු නොවෙන්නේ ඒවා ත්‍රිරෝද රථ, බස් තරම් මාර්ගයේ ගමන් නොකරන නිසා. සාමාන්‍ය රියදුරෙකු බොහෝ විට මාර්ග නීති කඩකළා යැයි හඳුන්වන්නේ බොහෝ විට ඉරි කපනවා කියන දේ නිසා. මේ නිසා විනය, ශික්ෂණය යන දේවලින් සැදුම්ලත් පාලන තන්ත්රයක් ජනාධිපතිගේ සිට පහළම සේවකයා දක්වා ක්‍රියාත්මක කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


