එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහසමුළුවේදී 'මානව වර්ගයාගේ' 'තිරසර සංවර්ධන ඉලක්ක' ප්‍රකාශයට පත්කෙරුණේ පසුගිය 2015 වර්ෂයේදීය.එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ මහසමුළුවේදී රටවල් 198ක් දේශගුණික විපර්යාසය පිළිබඳ 'පැරිස් ගිවිසුම'ටඅත්සන් කළේය.එම සම්මුතීන්ට අනුව වසර 2030 වනවිට ලෝකය තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් සම්පූර්ණ කරගත යුතුව ඇත.
මෙම සියලු සම්මුතීන්ට අනුව යමින් තිරසර ඉලක්ක වෙත ළඟාවෙමින් තිරසර යුගයක්කරා යාමට ශ්‍රීලංකාවද සූදානම්වී ඇත. හෙට (31දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන තිරසර යුගයක් ජාතික මංගල්‍යයේදී මෙම වැඩපිළිවෙළ එළිදැක්වීමට නියමිතය.
මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා සමග අපිසාකච්ඡා කළෙමු.
Q තිරසර ලංකා - ජාතික මංගල්‍යය ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොහොමද?
රජය විසින් තිරසර ලංකා - ජාතික මංගල්‍යය නමින් වැඩසටහන් මාලාවක් පවත්වනවා. හෙට (31දා) එහි සමාරම්භය සිදුවෙනවා. එතැන් සිට අප්‍රේල් 06 දා දක්වා සතියක කාලයක් එය පවත්වනවා. මේ කාලය තුළ මෙම තේමාවන්ට අදාළව රටපුරා විසිරී සිටින විවිධ පිරිස් පැමිණ දිනපතා ජනහමු පවත්වනවා. ඒවගේම තිරසර සංවර්ධන ඉලක්ක මුල්කරගනිමින් විවිධ වැඩසටහන් පවත්වනවා. ඒ සම්බන්ධයෙන් මේ රටේ සිටින විද්වතුන්, වෘත්තිකයන් සමාන්තර සැසිවාර පවත්වනවා.
ඒ වගේම එයට අනුරූපව තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් ලෝක සිනමා නිර්මාණ දිනපතා ප්‍රදර්ශනය කර ඒ පිළිබඳ සාකච්ඡා පවත්වනවා. එමෙන්ම කලාකරුවන් සම්බන්ධකරගෙන තිරසර සංවර්ධන ඉලක්ක සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් පවත්වන්නට තීරණය කර තිබෙනවා.
Q තිරසර යුගයකට ලෝකය ගමන් කිරීමේ වැදගත්කම පැහැදිලි කළොත්?
තිරසර සංවර්ධන ඉලක්ක 17 සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 සැප්තැම්බර් මාසයේ මහා සමුළුවේදී තීරණ ගත්තා. ඒ අනුව ලෝකයම එම ඉලක්ක 2030 දී ළඟාකරගත යුතු වෙනවා.
පහසු සංවර්ධන ඉලක්කවලට පසුව එක්සත් ජාතීන් හදාගත් වැඩපිළිවෙළක් තමයි තිරසර සංවර්ධන ඉලක්ක කියලා කියන්නේ. තිරසර සංවර්ධනයක් ළඟාකරගත යුතුයි කියන්නේ තිබෙන සංවර්ධනය තිරසර නැහැ කියන කාරණයයි.
කාර්මික විප්ලවය සමග සලකද්දී මේවනවිට ලෝකයේ ජනගහනය හත්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.ඒ වගේම මිනිසුන් පරිභෝජනය කරන ප්‍රමාණය, පරිභෝජනය කරන දේවල් වැඩිවී තිබෙනවා. ඒ නිසාම කාර්මික යුගයට කලින් සිටි මිනිසා සහ වත්මන් මිනිසා අතර බොහෝ වෙනසක් තිබෙනවා. මේ යන විදිහට ගියොත් ස්ථිරවම දීර්ඝ අනාගතයකට යන්න බැහැ කියන ප්රශ්නය මතුව තිබෙනවා.
මේ වනවිට ලෝකයේ හයවැනි මහා ජෛව විවිධත්ව හායනය සිදුවෙමින් පවතින බවට විද්‍යාඥයන් චෝදනා කරනවා. ඒවගේම ජෛව විවිධත්ව විනාශය මීට පෙර පස් වතාවක් සිදුව තිබෙනවා. නමුත් ඒ සියල්ලම සිදුවූයේ මිනිසා මේ ලෝකයට බිහිවීමට කලින්,ස්වාභාවික හේතූන් මත. මිනිසා මේ ලෝකයට පහළ වීමෙන් පසු පළමුවතාවට තමයි මහා ජෛව විවිධත්ව හායනයක් සිදුවන්නට යන්නේ. එය සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා. ඒ නිසාම මිනිසා විසින් හදාගත්තු මේ ප්‍රශ්නයට මිනිසාම විසඳුම් සෙවිය යුතු වෙනවා. මොකද එහෙම නැතිවුණොත් මිනිසාම වඳවී යාමට ලක්වන්නට ඉඩ තිබෙන නිසා.
පොසිල ඉන්ධන භාවිතයේ, ස්වාභාවික වායු භාවිතයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩිවී තිබෙනවා.ඒ හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 50%කින් පමණඉහළ ගොස් තිබෙනවා. ඒවගේම මිහිතලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් තිබෙනවා. මුහුදේ ජල මට්ටම සෙන්ටිමීටර් 20ක් ඉහළ ගොස් තිබෙනවා. මේ සියල්ලේම ප්‍රතිඵල අපි මේ වනවිට භුක්ති විඳිනවා. ස්වාභාවික උවදුරු සියල්ලටම හේතුව දේශගුණික ප්රශ්නයයි.
මේ දේවල් වළක්වාගැනීමේ පියවරක් ලෙස තමයි මේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ ලෝක කතාබහක් ඇතිවුණේ. ඒ නිසාම තිරසර සංවර්ධන ඉලක්ක යනුවෙන් හඳුන්වන්නේ වසර 200 ක් පමණ ලෝකය ගිය ගමන සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරන වැඩපිළිවෙළක්.
Q මේ වෙනුවෙන් ලංකාවේ දීර්ඝකාලීන සැලැස්ම කෙබඳුද?
'තිරසර ලංකා' යනු අපේ රට තිරසර යුගයට රැගෙන යන වැඩපිළිවෙළයි. පළමු වැනි තිරසර ඉලක්කය වන්නේ 'දුප්පතුන් නැති ලෝකයක්' බිහිකිරීමයි. එම ඉලක්කය උදාකරගැනීම වෙනුවෙන් වත්මන් රජය මේවසර(2017) කැපකර තිබෙනවා.
මහපොළොව වනසන රසායනික ගොවිතැන නිමා කර, ස්වාභාවික ගොවිතැන කරා රට රැගෙන යාම දෙවැනි තිරසර ඉලක්කයයි. එම ඉලක්කය 2019 වනවිට සාක්ෂාත් කරගැනීම සඳහා දැනටමත් රජය 'වසවිස නැති රටක්' මැයෙන් සැලසුම් සකසා සාර්ථක ලෙස මහපොළොවේ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ අනුව වසවිස නැති ගොවිතැන දැනටමත් රුහුණුපුර, පුලතිසිපුර හා ගෝකණ්ණේ ගොවියන් 10,000 ක් පමණ සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා. වසවිස නැති, රසවත්, පෝෂ්‍යදායී ආහාර, පාරම්පරික ස්වාභාවික රසකාරකවලින් සාදාගැනීම සඳහා සූප ශාස්ත්‍රයද දැන් නව මඟකට යොමුවී තිබෙනවා.
තෙවැනි තිරසර ඉලක්කය වන්නේ නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා වූ මග. ඒකියන්නේ නිරෝගී දිවිපෙවෙතකට ගැළපෙන ආහාර පරිභෝජන රටා හා ශරීර සුවතා සපිරි ජීවන රටා කරා යොමුවීම. ඒ සඳහා ක්‍රීඩා, ප්‍රජා සෞඛ්‍ය සහ බටහිර හා දේශීය වෛද්‍ය සේවාවල උපරිම ඵල නෙළාගැනීම උදෙසා කටයුතු කළයුතුයි.
ඊළඟ තිරසර ඉලක්කය දැනුවත් සමාජයක් නිර්මාණය කිරීම සඳහායි. නවීන තොරතුරු තාක්ෂණයේද හොඳ අංග පෙරට ගනිමින් 'තිරසර මිනිසා' එනම් හිතහොඳ, සොබාදහමට ඇලුම්කරන පුරවැසියෙකු බිහිකිරීම මේ වැඩපිළිවෙළ මගින් සිදුවිය යුතුයි.
කාර්මික විප්ලවයෙන් පසු යුගයේ පවුලේ වැඩි වගකීමක් කාන්තාවට පැවරී ඇති බැවින් රට යන අත පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඇයටද සාධාරණ ඉඩක් ලැබෙන ක්‍රමවේදයක් සැකසීම පස්වැනි තිරසර ඉලක්කය වෙනවා.
අපවිත්‍ර වී, වසවිස මුසුවී ඇති සියලුජල මූලාශ්‍ර යළි පිරිසුදුවන, ජලපෝෂක ප්‍රදේශ පුනරුත්ථාපනය වන වැඩපිළිවෙළක් සැකසීම හා 'වෑදියවර' නම් වැඩසටහන හරහා වැව් සියල්ල යළි සකසා පිරිසුදු වතුර ලබාගැනීම හයවැනි තිරසර ඉලක්කයයි.
පරිසරය වනසන ගල්අඟුරු හා ඛනිජතෙල් වෙනුවට සූර්ය, සුළං, දර, තරංග, සමුද්‍ර තාප ආදී පුනර්ජනනීය හරිත බලශක්තිය 100%ක්ම භාවිත කිරීම හත්වැනි ඉලක්කයයි. ඒ සඳහා සූර්ය බල සංග්‍රාමය හා ගිනිසීරියා මෙහෙයුම ආදී වැඩපිළිවෙළ වඩා ශක්තිමත්ව දියත් කිරීම අවශ්‍යයි.
පුළුල් මංමාවත්, අධිවේගී මාර්ගසහ පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවය ක්රමවත්වන 'සහසර' වැඩසටහන හා පොදු වාහන භාවිතයට පොළඹවන ආරක්ෂිත රථගාල හා විශේෂිත මංතීරු ආදී වැඩපිළිවෙළද පුළුල් කළ යුතුයි.
සැමට හරිත රැකියා ලබාදෙන, තිරසර කර්මාන්ත ජාලයක් ස්ථාපිත කර,ඇති නැති පරතරය නැති සමසමාජයක් නිර්මාණය කිරීම මීළඟ ප්‍රධාන තිරසර ඉලක්ක තුනක්. නගර, කාර්මීකරණයේ අස්ථාවර ප්රතිඵලයක්වන නිසා තිරසර යුගයට ගැළපෙන අයුරින් නගර තිරසර ජනාවාස බවට පත් කිරීම එකොළොස්වැනි ඉලක්කයයි.
ගම මත සහමුලින්ම යැපෙන්නේ නැතිව තමන්ගේ ආහාර හා බලශක්තිය නිපදවාගෙන තිරසර නගරය හැකිතාක් දුරට ස්වයංව නැගීසිටිය යුතුයි. තිරසර යුගයේ සකසුරුවම් පාරිභෝගිකයා බිහිකිරීම මීළඟ තිරසර ඉලක්කයයි. ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් තිරසර යුගයේ පාරිභෝගිකයා සිය අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් ගැන මනා වැටහීමකින් යුතුව කටයුතු කළ යුතු වෙනවා.
දේශගුණික විපර්යාසය අවම කරගැනීමටත්, සිදුවන දේශගුණික විපර්යාසයට හැඩගැසීමටත් සියලු පාර්ශ්වවල සක්‍රිය ක්රියාකාරීත්වයක් අවශ්‍ය බව දහතුන්වැනි තිරසර ඉලක්කය මගින් අවධාරණය කෙරෙනවා. මහ සාගරය කිසිදු රටකට තනි භුක්තියට සින්න වී නැති නිසා සාගර විනාශවීමෙන් බේරාගැනීම සඳහා සාමූහික උත්සාහයක් දැරීම ඊළඟ තිරසර ඉලක්කයයි.
සතුන්ට ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම පහළොස් වැනි තිරසර ඉලක්කය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Q වසවිස නැති රටක් සංකල්පය දැන් අවසන්වෙලාද ?
පසුගිය වසරේ වසවිස නැති රටක් වැඩපිළිවෙළ ආරම්භ කළේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට ආරම්භයක් ලෙස. එහිදී දස වැදෑරුම් තුන් අවුරුදු වැඩපිළිවෙළ එළිදැක්වූවා. පසුගිය යල සහ මහ කන්නයේ මේ සම්බන්ධ පසුබිම සකස් කළා. මේ වනවිට රසායනික පොහොර භාවිත නොකර වඩා හොඳ අස්වැන්නක් ලබාගන්නට හැකියාව තිබෙන බව අපි ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඉදිරි කන්නයේදීත් ලංකාවේ සෑම තැනකම මෙය සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්. වසවිස නැති එළවළු හා පලතුරු වගාව මේ වසරේදී ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එයට අදාළ සියලු අත්පොත් මේ වනවිට සකසා අවසානයි.