Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
සතිය ආරම්භයේදීම දේශපාලන ක්ෂේත්රයේ සියල්ලන්ගේම අවධානය යොමුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය ඉරිදා බොරැල්ල කැම්බල් පිටියේදී සැමරීමට සූදානම්ව සිටි බැවිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අාරම්භ කරන විට 1951 සැප්තැම්බර් 03 වැනිදා උපත ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද 66 වැනි උපන්දින සැමරුම යෙදී තිබුණේ ඉරිදා දිනයේදීය. එදින හිමිදිරි උදෑසනම ජනාධිපති මෛත්‍රීපාලට දුරකථන ඇමතුමක් ලැබිණි.
"ජනාධිපතිතුමා සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා."
මෛත්‍රීට කටහඬ හඳුනා ගැනීමට එතරම් අපහසු වූයේ නැත. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. මහින්දගේ සුබපැතුම් පිළිගත් මෛත්‍රී බොහොම ස්තුතියි කීවේය.
"මට සම්මේලනයට එන්න වෙන්නේ නැහැ. පෞද්ගලික කාරණයක් නිසා" යැයිද මහින්ද මෛත්‍රීට කීවේය. පසුව උපන්දින සුබපැතුම් රාශියක් මෛත්‍රීට ලැබිණි. මහින්දගේ පුත් නාමල් රාජපක්ෂද මෛත්‍රීට සුබපතා ට්විටර් පණිවුඩයක් එක්කර තිබූ අතර මෛත්‍රී එයද පිළිගෙන තිබිණි.
නිදහස් පක්ෂ සම්මේලනය පැවැතියේ එදින සවස් වරුවේය. මෛත්‍රී කැම්බල්පිටියට පැමිණි විට නිදහස් පක්ෂ ලේකම් දුමින්ද සහ සන්ධාන ලේකම් අමරවීර ඔහු පිළිගත් අතර, වේදිකාවට කැඳවාගෙන ගියහ. මහින්දගේ සම්ප්රදාය අනුගමනය කරමින් මෛත්‍රීව පිළිගැනීමට පාසල් සිසුන් සූදානම් කර තිබෙන අයුරුද මෙහිදී දක්නට ලැබිණි.
වේදිකාවට පැමිණි මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, ඔහු පිළිගැනීමට ඉතා විශාල මල්මාලයක් සූදානම් කර තිබුණද, මෛත්‍රී එය පැලඳීම ප්‍රතික්ෂේප කළේය.
මෛත්‍රී වේදිකාවේ අසුන් ගැනීමෙන් පසුව මෛත්‍රී අසල පුටුව හිස්ව තිබූ අතර, අසල අසුනේ හිටපු අගමැති දීමු අසුන්ගෙන සිටියේය. හිස්ව තිබූ අසුන මහින්ද වෙනුවෙන් යැයි පසුව දැනගැනීමට ලැබිණි. මේ වනවිට හිටපු ජනපති චන්ද්‍රිකා පැමිණි නොතිබුණු අතර, සුපුරුදු පරිදි ඇය පැමිණියේද ප්රමාදවීය. මේ හේතුවෙන් ඇයට නියමිත අසුන වෙනුවට මඳ වේලාවකට වෙනත් අසුනක අසුන් ගැනීමටද සිදුවිය. මේ අතර දීමු අසලට පැමිණි නිදහස් පක්ෂ ලේකම් දුමින්ද පැවසුවේ,
"මහින්ද ජනාධිපතිතුමා එන්නේ නැහැ. ඔබතුමා මේ පුටවට එන්න. පුටුවක් හිස්ව තියෙන එක හරි නැහැ."
එය පිළිගත් දීමුද මෛත්‍රී අසල අසුනට පැමිණියේය.
ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රසිද්ධියේම කියා සිටි සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න ආදී ඇමතිවරුන්ද මෙහිදී ඉදිරි පුටුවල අසුන්ගෙන සිටි අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේදී යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ඔවුන්ට ලබාදී තිබිණි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා පැමිණි අවස්ථාවේ ඇය අසල අසුනේ සිටි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සමග දිගු කතාබහක නිරතවී සිටි අතර, මීළඟ කතාවට නිවේදකයා සෙනවිරත්නට ආරාධනා කළද, එය ඔහුට නොඇසුණි. අසල සිටි ඇමති ගාමිණී ජයවික්‍රම ඇඟට තට්ටුකර සෙනවිරත්නට පැවසුවේ කතාවට ආරාධනා කර ඇති බවයි.
නිදහස් පක්ෂ සංවත්සර රැස්වීමට විවිධ පක්ෂ රැසකට ආරාධනා කර තිබූ අතර, පක්ෂ නායකයෝ රැසක් එයට සහභාගි වී සිටියහ. ඇමති ගාමිණී, පාඨලී, හකීම්, මනෝ ගනේෂන් හා ඩග්ලස් දේවානන්ද, සුමන්දිරම්, ආනන්ද සංගරී යන අයද වේදිකාවේ අසුන්ගෙන සිටියහ.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඍජුවම සිය විරෝධය පළකර සිටි ඇමති නිමල් සිරිපාල ද මෙහිදී සභාව ඇමතීය.
'නායක නායිකාවන්ට වඩා අපට වටින්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව. ඔවුන් කවදාවක් අපිව දාලා ගියේ නැහැ. ඒ නිසා අපට ඔවුන්ව වටිනවා. මොනතරම් අපට පීඩා ආවත් අපිත් එක්ක හිටියේ පාක්ෂිකයො.
ඒවගේ අපි මේ ආණ්ඩුවේ ඉන්න නිසා වැදගත් තීරණ රැසක් ගන්න පුළුවන් වුණා. ඡන්ද ක්‍රමයේදී අපි ස්ථාවරව හිටියා. සින්නක්කරව චීනෙට දීලා තිබුණු පෝට්සිටිය බදු ගිවිසුමක් විදිහට වෙනස් කරන්න පුළුවන් වුණේ නිදහස් පක්ෂය ආණ්ඩුවේ හිටපු නිසා. පසුගිය කාලේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන්න අපට පුළුවන් වුණේ මේ ආණ්ඩුවේ අපි ඉන්න නිසා. ඒ වගේම අපි අලුතින් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතිවාදය නැති කරන්න, රටේ ඒකීයභාවය තහවුරු කරන්න ජාතික ආරක්ෂාව තහවුරු කර ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා" යැයිද කීවේය.
කාලගුණය අයහපත් මට්ටමක පැවතුණු බැවින් ජනාධිපති මෛත්‍රීගේ කතාව ඉදිරියට ගෙනගිය අතර, සමුළුව අතරමැද මෛත්‍රී කතා කළේය. පූජ්‍ය පක්ෂයෙන් සහ හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මුලින්ම අවසර ගත් මෛත්‍රී කතාව ආරම්භ කර පවත්වාගෙන යන අතර, ඔහුට තුන්ඩුකෑල්ලක් ලැබුණු අතර එය දුටු මෛත්‍රීගේ මුහුණු වෙනස් විය. කරමින් සිටි කතාව නැවැත්වූ ඔහු ඉස්සරලාම අවසර ගත්තේ එතුමියගෙන් යැයි තරහින් පැවසීය. අතට ලැබුණු තුන්ඩු කෑල්ලේ ලියවී තිබුණේ %චන්ද්‍රිකා මැඩම්ගෙන් අවසර ගත්තේ නැහැ සර්^ කියාය. ආවේගශීලීව තුන්ඩුකෑල්ල පොඩිකර එය විසිකළ අතර, එය විසිවී වැටුණේ ඩග්ලස් දේවානන්දාගේ උකුල මතටය. සිදුවූ සිදුවීමේන් ඔහුද තැතිගෙන සිටි අතර, එය දිගහැර බැලූවිට ඔහුටද කාරණය අවබෝධ විය. පක්ෂයෙන් ඉවත් වීමට සිටින පිරිසටද මෛත්‍රී සිය කතාවේදී පිළිතුරු දීමට අමතක නොකළ අතර ආප්ප කතාවද සිහිපත් කළේය.
"අද මොන චෝදනා විවේචන කළත් රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා තිබෙනවා. රටේ වගේම පක්ෂය තුළත් ප්රජාතන්ත්රවාදය සහතික කරලා තිබෙනවා. රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා තිබෙන නිසා රට තුළ හොඳ දේ වගේම සමහර අය නරක විදියටද ප්රජාතන්ත්රවාදය භුක්ති විඳිනවා. ෆේස්බුක්, වෙබ් සයිට්, උද්ඝෝෂණ, පෙළපාළි, විරෝධතා වැනි දේ රටකට නොගැළපෙන විදියට සීමාව ඉක්මවා යනවා. මම සභාපති වෙන්න කලින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණාම හැමදෙනාම ගොළුවෙලා ඉන්නේ.
මේ ඉන්න මැති ඇමතිවරුන්ගෙන් මම අහනවා, මම කියන්නේ බොරුද කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් ආපුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පමණක් නොවෙයි ඔය අද කතා කරන සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ, ඒ සියලු නායකයොත් කට අරින්නේ නැහැ, සද්ද නැතිව ඉන්නවා.
තමුන්නාන්සේලා මට උසුළුවිසුළු කරන ආප්ප කතාව තමුන්නාන්සේලාට හොඳට මතක ඇති. ආප්ප කතාව දවසේ 2014 නොවැම්බර් 20 වෙනිදා? සියලුදෙනා ආප්ප කාලා, තේ බීලා තිබුණු රැස්වීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්ගේ රැස්වීමක්. එතැනදී මගේ හිටපු නායකතුමා ඇහුවා දැන් මැතිවරණයකට යන්න ලෑස්තිද කියලා. සන්ධානේ එක නායකයෙක් වත් ඒකට ඔව් කිව්වේ නැහැ. කට ඇරියේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරලා ප්රජාතන්ත්රවාදය සහ නිදහස භුක්ති විඳීමේ සීමාව ඉක්මවා ඇතැම් පිරිස් කටයුතු කරනවා වගේම පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු කළ විටත් ඒ ප්රජාතන්ත්රවාදය භුක්ති විඳින්න සමහර අයට පුරුදු නැහැ.
ඇතැම් අය බොහෝ අසත්‍ය දේවල් කියනවා. මම දැක්කා ඊයේ, පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මුහුදෙන් එගොඩ තිබෙන ප්‍රශ්නයක්. මේ රටේ ප්‍රශ්නයක් නොවේ. ජගත් ජයසූරිය මහතාටවත්, මේ රටේ කිසිම හමුදාපතිවරයෙකුට, කිසිම රණවිරුවෙකුට අත තියන්න ලෝකයේ කිසිම කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා. එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධකම් තිබෙන, එල්.ටී.ටී.ඊ.යෙන් සල්ලි ගන්න විදේශයන්හි කටයුතු කරන ඇතැමුන් ලංකාවට බලපෑම් කරනවා. එල්.ටී.ටී.ඊ.යට සමීප සම්බන්ධකම් තිබෙන එන්.ජී.ඕ. කියන විදියට මම කටයුතු කරන්න ලෑස්ති නැහැ කියන එක මම පැහැදිලිව කියනවා. හොඳ රාජ්‍ය නොවන සංවිධාන තිබෙනවා. ඒවත් එක්ක අපි වැඩ කරනවා.
යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ඉදිරි වසර 08ක සංවර්ධන සැලැස්ම එළිදැක්වීම සඳුදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සිදුවිය.
ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් දෙදෙනාම එකම වාහනයෙන් මෙම උත්සවයට පැමිණීම විශේෂත්වයක් විය. ඇමති රාජිත, මංගල හා තරුණ සේවා සභාවේ සභාපති එරන්ද විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිගත් අතර, උත්සව සභාවේදීද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම ආසනයේ දෙකොන වාඩිවී සිටියහ.
2020 වනවිට රැකියා දසලක්ෂයක් ලබාදීම, ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 5000 (රුපියල් 760,000ක්)ක් දක්වා ඉහළ දැමීම, අගය එකතු කළ තරගකාරී කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ ඩිජිටල්කරණය එක්කරන ලද ආර්ථිකයක්, සැමට වැටුපක් සහ සුදුස්සන්ට සමෘද්ධියක් යන ඉලක්ක සපුරා ගැනීමට නියමිත බවද මෙහිදී අනාවරණය කෙරිණි.
තරුණ තරුණියන් විසින් ජනාධිපතිවරයාට ඍජුවම ප්‍රශ්න යොමුකළ අතර, මෙම උත්සවයේදී පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවීම් පිළිබඳ කතාබහටද ලක්විය. දිගින් දිගටම එකම දේ පැවසීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදය එල්ල විය.
කෙසේ වුවද උත්සව සභාව ආරම්භයේදී සිංහලෙන් ජාතික ගීතය ගායනා කෙරුණු අතර, කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි උත්සව සභාව අවසානයේදී දෙමළෙන්ද ජාතික ගීය ගයනා කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය බදාදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් පක්ෂයේ ආදී කර්තෘන්ට පුෂ්පෝපහාර දැක්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයේ මැති ඇමතිවරුන් සියල්ල මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ආගමික වතාවත් සිදුකරමින් පක්ෂයට සුබාසිරි පැතීමද සිදුවිය.
මෙවර පක්ෂයේ 71 වැනි සම්මේලනය පැවැත්වෙන්නේ රත්නපුරදීය. රත්නපුර සීවිලී ක්‍රීඩාංගණයේදී ඉරිදා පැවැත්වෙන එහි සියලු සංවිධායක කටයුතු අධිකරණ ඇමතිනී තලතාගේ මෙහෙයවීමෙන් සිදුවන්නේ ඇගේ ප්‍රදේශයේ සම්මේලනය පවත්වන බැවිනි.
ඇමතිනී තලතා මේ සතියේ බොහෝ කාලයක් රත්නපුරයේ සංවිධාන කටයුතුවලට යොමුකළ හේතුවෙන් කොළඹ රැඳුණේද අඩුවෙනි.
මේ අතර ළඟ එන අයවැය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීමට මුදල් අමාත්‍ය මංගල තීරණය කර තිබේ.
සිකුරාදා දිනය ඒ වෙනුවෙන් වෙන්කර ගෙන ඇති මංගල සියලුම මන්ත්‍රීවරුන් වෙත පවසා ඇත්තේ, අයවැය වෙනුවෙන් සිය අදහස් ලබාදෙන ලෙසය.
ශීඝ්‍රගාමී 2020ක් සඳහා වන අයවැයක් ඉදිරිපත් කිරීමට මංගල අපේක්ෂාවෙන් සිටියි.
ශ්‍රී ලංකා ජන සන්නිවේදකයන්ගේ සංගමය සංවිධානය කළ 'මාස්කෝ 2017' සම්මාන උලෙළ සඳුදා කොළඹදී පැවැති අතර, උලෙළේදී ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක කරු ජයසූරියයි.
මෙම උලෙළට සහභාගි වන ලෙස තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට ආරාධනා කර තිබුණද, විවිධ හේතු නිසා උලෙළට සහභාගි වීමට නොහැකි වන බව සංවිධායකවරුන්ට පවසා තිබුණේ ඒ මොහොතේය.
මෙයින් සංවිධායකවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර කෙසේ හෝ ඔවුන් මේ බව කථානායක කරූට පැවසීය.
අනෙකුත් මැති ඇමතිවරුන් නොපැමිණියද, ඔවුන් වෙනුවෙන් සම්මානලාභීන් සියල්ලන්ටම සම්මාන දීමට කථානායකවරයා එකඟ විය.
ඒ අනුව සියලුම සම්මානලාභීන්ට කථානායකවරයා අතින් සම්මාන ලබාදුන් අතර, උත්සවයේදී කථානායකවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ, දූෂණයට සහ අක්රමිකතාවන්ට එරෙහිව සමාජය බලගැන්වීම මාධ්‍ය සතු වගකීමක් බවයි.
මාධ්‍යයට අවශ්‍ය නම්, රට දියුණුවේ මාවත ඔස්සේ ගෙන යෑමට මෙන්ම රට ගිනි තැබීමට වුවද හැකි බව හෙතෙම මාධ්‍යවේදීන්ට පැවසුවේ සිනහවෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගියදා රැස්වූයේ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළදී පාර්ලිමේන්තුවේ කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය සැප්තැම්බර් 02න් අවසන් වීම, විගණන පනත, දේශීය ආදායම් පනත, 20 වැනි සංශෝධනය ආදී කරුණු ගැනය.
"ආණ්ඩුවට තවදුරටත් ජාතික ආණ්ඩුව ලෙස පෙනී ඉන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ ජාතික ආණ්ඩු එකඟතාවට
දැන් වසර දෙක සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා දැන් ආණ්ඩුවේ ඉන්න ඇමති ධුර ගණන 30ට බස්සන්න ඕනෑ” අනුර දිසානායක විශේෂ කරුණක් ඉදිරිපත් කළේය.
"ඔව්, එජාපයටයි, එජනිසයටයි ජාතික ආණ්ඩුවක් ඕන වුණේ ඇමති ධුර වැඩිකර ගන්න. ජාතික ආණ්ඩුවට මුවා වෙලා තමයි ඇමති ධුර 30 සිට 48 දක්වාත්, නියෝජ්‍ය රාජ්‍ය ඇමති ධුර 40 සිට 45 දක්වාත් වැඩිකර ගත්තේ. දැන් මේ අමතර ඇමති ධුර ව්‍යවස්ථාවට පටහැණියි. මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන්න ඕනෑ” විජිත හේරත් කියා සිටියේය.
"අවුරුදු ගාණක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඔස්තාර්ලා ඔය පක්ෂ දෙකේ ඉන්නේ. ඒත් තමන් ගහපු ගිවිසුම් ගැන මතකයක් නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ගාණක් නැහැ. පාර්ලිමේන්තුවට ඇවිත් කාලා බීලා වරප්‍රසාද ටික අරගෙන ඉන්නවා. පුදුම ආණ්ඩු මේවා” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
"ඒ විතරක්ද? මහ ලොකුවට දේශපාලන ජීවිතයට අවුරුදු හතළිහයි පනහයි කියලා සමරනවා. අගමැතිටයි ජනාධිපතිටයි එකතුවෙලා 20 වැනි සංශෝධනය හදාගන්න බැරි වුණා. ඒකෙත් අඩුපාඩු ගොඩයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂ දෙකේ පළාත් සභා මන්ත්‍රීලා ටික ඒ සංශෝධනයට එකඟ කරගන්න බැරි වුණා” බිමල් රත්නායක කීවේය.
"ඔව්, ඒ සංශෝධනයෙත් අඩුපාඩු ගොඩයි. පළාත් සභා විසුරුවන බලය පාර්ලිමේන්තුවට ගන්නවා කිව්වට මැතිවරණ පවත්වන කාල වකවානුවක් ගැන නිශ්චිත නැහැ” විජිත හේරත් කීවේය.
විගණන පනත ජවිපෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් එයි
මේ අතර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය විගණන පනත පිළිබඳවද යොමු වී තිබුණි.
"මේ ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි ජාතික විගණන පනත සම්මත කරගන්න එක. දින 100 වැඩපිළිවෙළෙත් නිශ්චිතව ඒක ඇතුළත් කරලා තිබුණා. නමුත් දැන් අවුරුදු දෙකකට වැඩියි. තවම විගණන පනත නැහැ. මේක ආණ්ඩුව ගේන පාටක් නැහැ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට විගණන පනත පාර්ලිමේන්තුවට දාමු” සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා යෝජනා කළේය.
"ඒක හොඳ යෝජනාවක්. ආණ්ඩුව මේක කමිටු දාලා එක එක සංශෝධන ගේනවා. මේ විදියට සංශෝධනය කරලා මේ විගණන පනත ගෙනත් වැඩක් නැහැ. මේකට ආණ්ඩුවේ ඇමතිවරුයි, නිලධාරී කණ්ඩායමකුයි තමයි විරුද්ධ. වංචා දූෂණවලට කැමති අය විගණන පනතට කැමති නැහැ. ඒක තමයි ඇත්ත කතාව” නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා කියා සිටියේය.
"විගණන කොමිසම හදලා තිබුණට වැඩක් නැහැ, පනත නැතුව ඒකට ක්‍රියාත්මක වෙන්න බැහැ. අනෙක් බරපතළ කාරණය තමයි විගණන කොමිසමේ නිලධාරීන්ට ලක්ෂ ගණන් පඩි දෙනවා වැඩක් කෙරෙන්නේ නැහැ. මේ අවුරුද්ද ඉවර වෙනකොට විගණන කොමිසම විගණනයට ලක්කරන්න වෙනවා වැඩ නොකර පඩි ගත්තා කියලා. ඒ නිසා අපි මේක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට දාමු” ජවිපෙ නායකයා කියා සිටියේය. ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ යෝජනාවක් ලෙස විගණන පනත 07වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.
"ආණ්ඩුව මේ සතියේ පාර්ලිමේන්තුවට දාන බදු පනත නිසා සියලුදෙනාට විශාල බදු බරක් පැටවෙනවා. ඇත්තම ගත්තොත් ක්ෂද්ර ජීවීන් විතරයි මේ බදු පනතට අහුවෙන්නේ නැත්තේ. බරපතළම කාරණය තමයි මේ ගැන ජනතාව දැනුවත් නැතිකම. කලාකරුවන්ට මීට කලින් ලැබුණ සියලුම බදු සහන කපලා. නමුත් කලාකරුවන් මේ ගැන දන්නෙ නැහැ. අර්ථසාධක අරමුදලට බදු වැඩි කරලා. ආදායම් බදු අයකරන වාර්ෂික වත්කම් සීමාව ලක්ෂ දොළහමාරේ ඉඳලා ලක්ෂ හයට අඩු කරලා. ගොවියෝ ත්‍රීවිල් රථ රියදුරෝ වැනි ඉතාම පහළ ආදායමක් තියෙන අයටත් බදු ෆයිල් එකක් එනවා” බිමල් රත්නායක කීවේය.
"මේ බදු පනත ආණ්ඩුව කඩිමුඩියේ ගේන්න හැදුවා. නමුත් අපි මුල ඉඳලා මේකට විරුද්ධ වුණා. සම්මන්ත්රණ කළා. පත්‍රිකා බෙදුවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. ඒ නිසා පොඩි කාලයක් හරි ආණ්ඩුවට ප්‍රමාද කරන්න සිද්ධවුණා. නමුත් ආණ්ඩුව හදන්නේ කඩිමුඩියේ සම්මත කරගන්න” සුනිල් හඳුන්නෙත්ති කීවේය.
"ආණ්ඩුවේ මන්ත්‍රී ඔළුගෙඩි ටික පෙන්නලා මේක සම්මත කර ගනී. නමුත් ලේසියෙන්ම සම්මත කරගන්න දෙන්න බැහැ. අපි පුළුවන් විදියට සංශෝධන ඉදිරිපත් කරන්න ඕනෑ. සමහර බදු සහන තිබුණ ඒවා පවත්වා ගන්නත්, අහිතකර දේවල් ඉවත් කරන්නත් බලපෑමක් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් සංශෝධන හදන්න ඕනෑ” අනුර දිසානායක යෝජනා කළේය. ඒ අනුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම ඒ වන විට සකස් කර තිබූ සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. අනතුරුව තවත් ඇතුළත් විය යුතු සංශෝධන ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කොට සකස් කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට වගකීම පැවරිණි. මේ අනුව බදු පනතට සංශෝධන 70ක් පමණ ඉදිරිපත් කිරීමට ජවිපෙ ලියවිල්ලක් සකස් කළේය.
පාර්ලිමේන්තුව පිළිබඳ කතා වනවිට පාර්ලිමේන්තුවේ භෝජන සම්බන්ධයෙන්ද වැඩි අවධානයකට ලක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ප්‍රභූවරුන්ට, විශේෂිත ආරාධිතයන්ට, මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබාගැනීමට අවස්ථාව හිමිව ඇති අතර, රටේ වෙනත් ස්ථානවලට වඩා පාර්ලිමේන්තුවේ ආහාර මිල අඩු බව ප්‍රකට කරුණකි. පසුගිය කාලයේ විවිධ ආර්ථික හේතු මත වෙනත් ආපන ශාලාවන්හි ආහාර මිල වැඩි වුවද, පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර මිල ගණන් වෙනස් කර නොතිබිණි.
මැති ඇමතිවරුන් මෙන්ම බොහෝ දෙනා පාර්ලිමේන්තු භෝජනාගාරයට ප්‍රියතාවක් දක්වන අතර, මේ සතියේ සිට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, කාර්යමණ්ඩලය සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙන ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
නව මිල ගණන් ක්‍රියාත්මක වූයේ බදාදා සිටය. ඒ අනුව වෙනස් වූ නව මිල ගණන් මෙසේය.
මන්ත්‍රීවරුන්ගේ උදෑසන ආහාර වේල සඳහා මිල වූයේ රුපියල් 60 කි. එය රුපියල් 100ක් දක්වා ඉහළ දමා ඇත.
මන්ත්‍රීවරුන්ගේ දහවල් ආහාර වේල රුපියල් 150ක් වූ අතර, එය රුපියල් 200ක් දක්වා වැඩිකර තිබේ.
රුපියල් 25කට පැවැති මන්ත්‍රීවරුන්ගේ තේ සහ කෙටි අහාර රුපියල් 50ක් දක්වා වැඩිවූ අතර රුපියල් 45කට පැවැති බැදපු මාළු ග්‍රෑම් 200ක් රුපියල් 100ක් වී ඇත.
බැදපු කුකුළු මස් පැවැතියේ රුපියල් 44කට වන අතර, එය රුපියල් 100ක් දක්වා මිල ඉහළ දමා ඇති අතර, රුපියල් 18කට පැවැති බිත්තර ඔම්ලට් එකක් රුපියල් 25ක් දක්වා මිල වැඩිකර තිබේ.
විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා දහවල් ආහාර වේල පැවැතියේ රුපියල් 200කට වන අතර, එය රුපියල් 350ක් දක්වා වැඩිකර තිබේ.
විධායක නොවන නිලධාරීන්ගේ දහවල් ආහාර වේල රුපියල් 100 සිට 200 දක්වා ඉහළ දමා ඇති අතර, මාධ්‍යවේදීන්ගේ දහවල් ආහාර වේල රුපියල් 65 සිට 70 දක්වා වැඩිකර තිබේ.
මේ අතර බදාදා දිනයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු දිවා ආහාරය ගනිමින් සිටි අතර, එතැනට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද පැමිණියහ. ජවිපේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ආහාර ගනිමින් සිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් භෝජනාගාරයට පැමිණෙන විටම පැවසුවේ, "පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කර හරි ආණ්ඩුව ගොඩ යන්න හදනවා නේද?" කියාය.
ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනා එයට සිනාසුනා මිස පිළිතුරු ලබාදුන්නේ නැත.
කෙසේ හෝ පසුව සියලු දෙනා එකම මේසයේ දිවා ආහාරයේ රස බැලූහය.
මේ බලවේගය එකතු වුණොත් ඕනම ආණ්ඩුවක් පරාද කරන්න පුළුවන්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කළ "‘එළිය‘ සංවිධානය^ එළි දැක්වීමේ උත්සවය බොරලැස්ගමුව ගොල්ඩන් රෝස් උත්සව ශාලාවේදී බදාදා සන්ධ්‍යාවේදී පැවැත්විණි.
නව ව්‍යවස්ථාවට විරුද්ධව ජනතාව පෙළගැස්වීම සඳහා ජාතික සංවිධාන සහ වෘත්තිකයන් සමග සාකච්ඡා කර නව සංවිධානය පිහිටුවාගත් බව සංවිධානයේ අරමුණ පැහැදිලි කරමින් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.
මීට අමතරව ව්‍යවස්ථාව මගින් බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීම සම්බන්ධව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිද, නව ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී නැතිබව විමල් තිරිමාන්න පියතුමාද, ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලක ද,ව්‍යවස්ථාවේ ඇති සමගාමී ලැයිස්තුව පිළිබඳව රියර් අද්මිරාල් සරත් වීරසේකරද,ව්‍යවස්ථා සම්පාදනයේදී ඇති ජාත්‍යන්තර බලපෑම් සම්බන්ධව තමාරා කුලනායගම් විසින්ද,ෆෙඩරල් ව්‍යවස්ථාවක් තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව ජනාධිපති නීතිඥ මනොහර ද සිල්වා විසින්ද, බලය බෙදීමේ ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධව අජිත් නිවාඩ් කබ්රාල් විසින්ද, බලය බෙදීම සහ සංහිඳියාව පිළිබඳව නීතිඥ රූෂ්ඩි හබීබ් විසින්ද, නව ව්‍යවස්ථාව හමුවේ ජනතාවගේ වගකීම් සම්බන්ධව විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල විසින්ද,"රණවිරු කැපවීම ව්‍යවස්ථාවෙන් පාවා දෙමුද" මැයෙන් මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින්ද මෙහිදී දේශන පවත්වන ලදී.
මෙහිදී විශේෂයෙන් කමල් ගුණරත්නගේ දේශනය කාගෙත් පැසසුමට ලක්ව තිබුණි. හමුදා ජයග්‍රහණ පාවාදීම් ගැන ඔහු හැඟීම්බරව දේශනය කළේය.
"අවසාන යුද්ධය පැවති වසර දෙකයි මාස 10ක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ පමණක් නිලධාරීන් හා සෙබළුන් 5900කට වඩා මියගියා. එම කාලයේ යුද හමුදාවේ පමණක් 29000කට වඩා තුවාල ලැබුවා. ඉන් 10000කට වඩා බරපතළ ලෙස තුවාල ලැබුවා. මොකටද ඒ අය මේ කැපකීරීම කළේ. ඒ අය හිතෙන් සතුටු වෙනවා රට ජාතිය වෙනුවෙන් යුතුකම ඉෂ්ට කළා කියා. ඒ කැපවීමට අද කෘතගුණ දක්වන්නේ කොහොමද? අද මගේ 56 වැනි උපන්දිනය.
මගේ මේ ඇස් දෙකට අවුරුදු 56යි. මගේ මේ ඇස්දෙක පසුගිය අවුරුදු 56 පුරාම දැකපු හිරිකිතම සිද්ධිය තමයි අපේ ආබාධිත සෙබළුන්ට පොලීසිය එළවඑළවා පහරදීම. ඒ වගේම මගේ මේ කන් දෙකට අවුරුදු 56ක් වයසයි. ඒ අවුරුදු 56ක් වයස කන් දෙකට මීට ටික දිනකට පෙර ඇසුණු හිරිකිතම ප්‍රවෘත්තිය තමයි සිලාවතුර නාවික හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදීම. පොලීසියට ගහපු හැම අවස්ථාවකම මීට පෙර ආරක්ෂාව ලබාදුන්නේ අපි*යනුවෙන් ඔහු සිය දේශනය පවත්වමින් කියා සිටියේය.
දේශන අවසානයේදී කලකරුවන් ඇතුළු පිරිස සමග මහින්ද සුහද පිළිසඳරක යෙදුණි. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්, විමල්, චමල් ඇතුළු මන්ත්‍රීවරුන් සමග කතාකරමින් සිටියදී “මේ බලවේගය එකතු වුණොත් ව්‍යවස්ථාව නෙමෙයි ඕනම ආණ්ඩුවක් පරාද කරන්න පුළුවන් “මහින්ද කීවේ සියලුදෙනාගේ සිනා හඬ මධ්‍ය‘යේය. ‘දේශන ටික හොඳට කෙරුණා. කමල් ගුණරත්නගේ කතාව වටින එකක්“මහින්ද පැවසූ විට “හමුදා ජයග්‍රහණ පාවාදීම් ගැන කමල් කිව්ව කතාව හරියට හරි. ආප්ප කාලා පාවාදීම කළේ ඒකට තමයි* මන්ත්‍රීවරයෙකු කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd