ශ්‍රී ලංකාවේ වරායන්හි සම්පූර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන බවත්, වෙනත් රටවල හමුදා ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ වරායන් භාවිත කිරීමට කිසිඳු අවස්ථාවක් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වූ ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
එසේම කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලුම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (12 දා) පස්වරුවේ මෙම හමුව පැවැත්විණ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කර ශ්‍රී ලංකාව කලාපයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළුගඟ ජල සැපයුම් පුළුල් කිරීම සහ වරාය හා නාවික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් තුනකට ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර මෙහිදී අත්සන් තැබිණ.