දැනට ලෝකයේ ඇති ඉතාම දියුණු සබ්මැරීන් නාශක හා නෞකා නාශක ගුවන් යානය මෙන්ම, දීර්ඝ පරාසයක නාවික ආරක්ෂක සේවා සැපයීමේ නිරත ගුවන් යානයක්ද වන P-8A පොසිඩොන් ඇමෙරිකානු ගුවන් යානය පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබේ.
ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙන පරිදි, එරට ආරක්ෂක බලකායේ (VP-10) 'රෙඩ් ලාන්සර්ස්' කණ්ඩායම රැගත් P-8A පොසිඩොන් ගුවන් යානය දෙසැම්බර් 04 දා මෙරටට ළඟා වී ඇති අතර, එය 11 දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබේ.
එසේ පැමිණි ඇමෙරිකානු නාවිකයන් ශ්‍රී ලංකා නිලධාරීන් හමුවී මෙම නවීන යානයේ හැකියාවන් පෙන්වාදුන් බවත්, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සමග විශේෂ උපදෙස් හුවමාරු කරගත් බවත් තානාපති කාර්යාලය පවසයි. එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් සහ නාවික හමුදාවන් සමග ගෝලීය ආර්ථිකයට වැදගත් වන අන්තර්ජාතික නැව් මාර්ග ආරක්ෂා කිරීමේ අභ්‍යාසයකද මෙම යානය නිරත වූ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙහිදී අදහස් දක්වා ඇති එම සේනාංකයේ කාර්යභාර නිලධාරී ලුතිනන් ඇන්තනී බෙරේසි පවසා සිටියේ, "ශ්‍රී ලංකා රජයේත්, එහි හමුදාවේත් අපේ මිතුරන් සමග එක්ව කටයුතු කිරීමට ලැබුණු මේ අවස්ථාව ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. P-8A පොසිඩන් ගුවන් යානයේ නාවික ආරක්ෂක කටයුතු සඳහා ඉතා ඉහළ මට්ටමේ හැකියාවන් පවතින අතර, මේ සංචාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමග කටයුතු කිරීමට ලැබීම අපි ඉතා අගය කර සිටිනවා" යනුවෙනි.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, ජැක්සන්විල් හි ස්ථානගත 'රෙඩ් ලාන්සර්ස්', මේ දිනවල ඉන්දු-ආසියා-පැසිෆික් කලාපයේ පිහිටුවා ඇති ඒකකවලට ගුවන් සහ නාවික හමුදා ආරක්ෂක සේවා සැපයීමේ නිරතව සිටින බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.