(VIDEO) ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයන් කොටුව දුම්රිය පොළේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට උද්ඝෝෂණ පා ගමනකින් යන අතරතුර පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ලකරමින් එය වැළැක් වූහ.
කොටුව ලෝටස් මාර්ගයේදී අද (16දා) එල්ලකළ කඳුළු ගෑස් සහ අධිපීඩක ජල ප්‍රහාරය හේතුවෙන් එම පාගමනට එක්ව සිටි උපාධිධාරීන් සහ එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීහු ද අපහසුතාවට පත්වූහ.
සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා මෙම විරෝධතා පාගමන ඊයේ දහවල් කාලයේ පැවැත්වීමට එරෙහිව කොටුව පොලිස් ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණු අතර, ඒ මත පිහිටමින් පොලීසිය මෙම ප්‍රහාරය එල්ල කළේය.
කොටුව දුම්රියපොළ අසල මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වන සේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පැයක් පමණ උද්ඝෝෂණය කළ අතර, එම ස්ථානයට පැමිණි කොටුව පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේ සෙරමික් හන්දියෙන් පිටතට යාම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙන බවයි.
එහෙත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා මෙහිදී පොලීසියට කියා සිටියේ අධිකරණ නියෝග අදාළ නොවන බවත්, තමන් සැලසුම් කර ඇති පරිදි පාගමන යන බවත්ය.
පසුව පිරිස 'රාජ්‍ය සේවයේ පුරප්පාඩු වහා විසඳනු‘ 'විශ්‍රාම වැටුපට අත නොතබනු' 'සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙනු', 'පුරප්පාඩු 32000 යි, උපාධිධාරින් මහපාරේ' ආදී වශයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සටන් පාඨ කියමින් දුම්රිය පොළ අසල සිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වන සේ ලෝටස් පාර දිගේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගියහ.
මේ වනවිට ගාලු පාර, 138 මහරගම බස් මාර්ගය ඇතුළු මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු බැවින් මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන ආකාරයද දැකිය හැකිවිය.
පොලීසිය නැවත වරක් දන්වා සිටියේ උසාවි නියෝගයක් ලැබී තිබෙන බැවින් පා ගමන නතර කරන ලෙසයි. එහෙත් එම අවවාදයන්ද පිළිනොගනිමින් පිරිස ලෝටස් පාර දෙසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළංවන විට මාර්ගය හරස් වන සේ බාධක යෙදීමට පොලීසිය කටයුතු කර තිබිණි.
එම බාධක ඉවත් කර ඉදිරියට යාමට උද්ඝෝෂකයන් සූදානම් වත්ම පොලිස් අධිපීඩක ජල ප්‍රහාර එල්ල කිරීම සිදුවිය. මෙම ප්‍රහාරයෙන් පසුව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ස්වාමීන් වහන්සේලා, කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම එම ස්ථානයට මඳක් ඈතට වන්නට මහා මාර්ගයේ වාඩි වී සවස් වනතුරු සිටියහ.
ඡායාරූප/වීඩියෝ ක්‍රිෂාන් රණසිංහ
VIDEO