භාරගැනීමට කිසිවෙකුත් නොමැතිව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ දින තුනක් තැන්පත් කර තිබූ දේහයක්, තම ත්‍රිරෝද රථ ගාලට රැගෙනවිත් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව එම දේහය මිහිදන් කිරීම, අනුරාධපුර පැරණි බස් නැවතුම්පළ අසල ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (02 දා) සිදුකෙරිණි.
වසර දහයකට ආසන්න කාලයක් අනුරාධපුර පැරණි බස් නැවතුම අසල දිවා රෑ දෙකෙහිම බුලත් විට වෙළෙඳාමේ නිරතවූ අයෙකුගේ දේහය මෙසේ මිහිදන් කෙරිණි.
මියගිය අය අනුරාධපුර ප්‍රදේශයේ අයෙකු නොවන අතර මීට වසර දහයකට පමණ පෙර ගලේවෙල ප්‍රදේශයේ සිට පැමිණ පැරණි බස් නැවතුම්පළ අසල මාර්ගය ආසන්නයේ කුඩා අට්ටාලයක බුලත් විට වෙළෙඳාමේ නිරත වූ නිසා ‘ගලේ මාමා’ යන අනුවර්ත නාමයෙන් ඔහුව හඳුන්වා තිබේ.
රෝගාතුරවී මියගිය අයගේ දේහය භාරගැනීම සඳහා කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් රජයේ වියදමින් දේහය මිහිදන් කිරීම සඳහා කටයුතු කර තිබූ අවස්ථාවේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පළ අසල ත්‍රිරෝද රථ රියදුරන් එක්ව අවට ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය අනුග්රහයද ලබාගෙන දේහය වටිනා පෙට්ටියක තැන්පත් කර ආගමික වතාවත් සිදුකර මිහිදන් කිරීමට කටයුතු කෙරිණි.
මෙහිදී ආගමික වතාවත් සිදුකළ අනුරාධපුර වීරසේකරාරාමාධිපති පූජ්‍ය කුන්චුට්ටුවේ ධම්මකුසල නාහිමියන් පැවසුවේ, සැපතේ දී මෙන්ම විපතේදී ද මනුෂ්‍යයා විසින් තම වර්ගයා අතහැර නොයන බව පසක් කිරීම සඳහා මෙම ත්‍රිරෝද රථ රියදුරන් කළ ක්‍රියාව තුළින් රටටම ආදර්ශයක් ලබාදී ඇති බවයි.