පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් විසි පන්දහසකට පමණ පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අත්‍යවශ්‍ය සියලුම ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි කටයුතු යොදා තිබේ.
මේ සඳහා ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන එක් රැස්කළ ද්‍රව්‍ය ආධාර අමාත්‍යාංශය වෙත ලබාදීම අද (07දා) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව පීඩාවට පත්වූ සිසු දරුවෙකු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාදෙන සහන පැකේජයට රු 10,000 ක් පමණ වටිනා ද්‍රව්‍ය ඇතුළත් වෙනවා. ඒ අතර නිල ඇඳුම් රෙදි කට්ටල 3ක්, සපත්තු වවුචරයක්, පෙළපොත් සහ අභ්‍යාස පොත් ඇතුළත් අතර, ජාතික පාසල් සහ ව්‍යාපාරික ආයතන විසින් එක් රැස්කළ ද්‍රව්‍ය ආධාරද පීඩාවට පත් සිසුන් සඳහා ලබා දීමට නියමිතය.
මේ අනුව අදාළ පාසල් දරුවන් සම්බන්ධ නිවැරදි තොරතුරු පන්තිභාර ගුරුවරයා, විදුහල්පතිවරයා සහ ග්‍රාම නිලධාරිවරයා යන අය විසින් සහතික කර තිබීම අනිවාර්ය වන අතර නිවැරදි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි සතියේ සිට පීඩාවට පත් පාසල් දරුවන් වෙත සහන පැකේජ ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක හේවගේ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ආධාර ලබාදුන් ආයතනවල නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.