(UPDATE) පාර්ලිමේන්තු සභා ගර්භය මැද ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් අතරතුර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව යොදවා සිටි හමුදා භට පිරිස ඉවත් කිරීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම අතරතුර මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති විය.
මේ හේතුවෙන් ඊයේ (03දා) පස්වරු 1.00 ට ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු සභා කටයුතු කථානායක කරු ජයසූරිය මහතා විසින් පස්වරු 1.35 ට තාවකාලිකව අත්හිටවනු ලැබිණි. අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායකවරයා විසින් වහාම කැඳවනු ලැබූ අතර, එහිදී ඊට පැමිණ සිටි සියලුම සභික මන්ත්‍රීවරුන් විසින් පහරදීමේ සිද්ධිය තරයේ හෙළා දකිනු ලැබීය.
එසේම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙසට කථානායකවරයා විසින් නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට පවරනු ලැබූ අතර, අදාළ වාර්තාව ලද වහාම සිද්ධියට අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බවද කථානායක කරු ජයසූරිය මහතා පවසා සිටියේය.
මෙම බරපතළ සිදුවීම් පාර්ලිමේන්තු රැස්වීමක් සභා ගර්භය තුළ පැවැත්වෙන අවස්ථාවේදී සිදුවූවක් බැවින් තවදුරටත් ඊයේ (03දා) දිනට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට කරගෙන යාම යෝග්‍ය නොවන බවට තීරණය කළ කථානායකවරයා අද (04දා) දින පස්වරු 1.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම ඒ මහතාට බරපතළ ජීවිත තර්ජනයක් බවට කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමෙන් පසු ඊට පිළිතුරු දුන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කර නැති බව පැහැදිලි කළේය.
ජනාධිපතිවරයාටත් අගමැතිවරයා ලෙස තමන්ටත් ලැබී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව බවත් ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත පරිදි ඔහුගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් අවශ්‍ය පමණට හා අවශ්‍ය නිලධාරීන් තෝරා ගැනීමටද ඉඩ ලබා දියහැකි බවද අගමැතිවරයා කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාතයවරයා සඳහන් කළේ මේ පිළිබඳව දැනුම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පවතින නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් සිදු කිරීමට ඔහුට ආරාධනය කරන බවයි.
මේ අවස්ථාවේ දී ඒ පිළිබඳව අදහස් දැක්වීමට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නැගී සිට අදහස් දැක්වීම ආරම්භ කළේය.
ඒ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා කතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට ඝෝෂා කරන්නට වූහ. එහෙත් එම විරෝධතාව නොතකා සරත් ෆොන්සේකා මහතා සිය අදහස් ප්‍රකාශ කිරීම දිගටම සිදුකරන්නට විය.
“විශේෂයෙන්ම දේශපාලඥයන්ගේ ආරක්ෂාව පොලීසිය විසින් සැපයිය යුතුයි. රජයට ඒ ගැන තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා. පොලීසියේ විශේෂ පුහුණුව ලබපු අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට පුළුවන් වෙන්න ඕනේ පොලීසියේ ආරක්ෂාව ලබාගෙන ඔහුගේ ආරක්ෂාව පිළිබඳව සැහීමකට පත් වෙන්න.
ඔය හමුදාවෙ කියලා ළඟින් තියාගෙන ඉන්න කැප්ටන් නෙවිල් වගේ පුද්ගලයන් ප්‍රභූ ආරක්ෂාව ගැන කවදාවත් පුහුණුවක් ලබලා නෑ. ඒ ගොල්ලෝ හිටපු ජනාධිපතිවරයාගේ හෙංචයියෝ විතරයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කියලා විනාඩි 05කින් මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් අයින් කළා. මාව හිරගෙදර දාලා හිටියේ රටේ සිටි දරුණු ත්රස්තවාදීන් එක්ක. මම ත්රස්තවාදීන් අතර හිටියෙ කිසිම ආරක්ෂාවක් නැතිව. මම උසාවියට ගෙනියකොට මගේ ආරක්ෂාවට T-56 02 ක් සහ බන්ධනාගාර නිලධාරීන් 6 දෙනෙකුයි දුන්නේ. ඒ T-56 දෙක දෙන්නෙත් මම පැනලා යන්න හැදුවොත් මට වෙඩි තියන්න කියලා නියෝග දීලා. මාව මරන්න ආව ත්රස්තවාදියා එක්ක උසාවියේදී එක බංකුවේ මාව වාඩි කරවලා තිබුණා. හමුදාපතිට එහෙම සැලකුව මිනිහෙකුට ආරක්ෂාව ඉල්ලන්න කිසිම අයිතියක් නෑ" යනුවෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා සිය කතාව සිදු කරන අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, පියල් නිශාන්ත, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය මැදට පැමිණ එම කතාව නතර කරන ලෙසට බල කරමින් දැඩි විරෝධතාවක නිරත වූහ.
එහිදී 'කලවැද්දා', 'වෙල් විදානේ','මී හරකා' යනාදී වචන කියමින් එම කතාවට බාධා කරමින් ඝෝෂා කළහ. මෙහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද සභාව මැදට පැමිණි අතර, අනතුරුව ඝෝෂා කිරීම ගුටිබැට හුවමාරුවක් බවට පත්විය. මෙහිදී අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අසලට පැමිණෙන අයුරුද දැකගත හැකි විය.
සභා ගැබ තුළ මන්ත්‍රීවරුන් කෑකෝ ගසම්න් ගුටිබැට හුවමාරු කරගත් අතර, ඇතැම් මන්ත්‍රීවරු එම ගුටි බැට හුවමාරුව වැළැක්වීමට ද උත්සාහ ගනු අයුරු දක්නට ලැබිණි.
මෙහිදී කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක් සභාවේදී ඇදවැටීමට ලක්වන අයුරුද දැකගැනීමට ලැබිණි. මන්ත්‍රීවරුන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලද සන්දිත් සමරසිංහ මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තු බලධාරීහු විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළහ.
සිද්ධිය හේතුවෙන් උදය ගම්මන්පිල, පියල් නිශාන්ත,ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සුළු තුවාල හා තැලීම් තුවාල ලබා ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගෙන් පහර කෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්න්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා රෝහලේ දී මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ තමන් එම ස්ථානයට ගියේ ගැටුමේ යෙදුන පිරිස් සමථයකට පත්කිරීමට බවත් ඒ අවස්ථාවේ පියල් නිශාන්ත හා ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු විසින් තමන්ට පහරදුන් බවය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාට පහර දීම හේතුවෙන් පාර්ලිමේන්තුවට විනාඩි පහකට කල් තැබීය.
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ ප්‍රශ්නයක් දුර දිග යාමෙන් මෙම ගැටලුව ඇති විය.
පාලිත තේවරප්පෙරුම මන්ත්‍රීවරයා හා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා එකිනොකාට කෑ ගසා ගනිමින් කළ වාග් ප්‍රහාරයක් මැදට පැමණි සන්දීප් සමරසිංහ මහතාට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පහර දුන්හ.
පහරකෑමට ලක්වූ සන්දීප් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
ඡායාරූප http://www.lankatruth.com/ වෙබ් අඩවිය