(UPDATE 7.35 PM) බළංගොඩ, පඹහින්න පරෙයියන්ගල කන්ද නායයාමෙන් ඊට යටවූ නියඳගල ආරණ්‍යයේ වැඩවිසූ දැනට අතුරුදන්ව ඇති හොරණ අනෝමදස්සී හිමියන් (අවු.40) පස්වලින් යටවූ ආරාමයේ කුටියක සිටින්නේදැයි සෙවීමේ මෙහෙයුම් අයහපත් කාලගුණය නිසා අද (04දා) සවස 4.00 ට පමණ තාවකාලිකව නවතා දැමූ බව යුද හමුදාව පවසයි.
අනෝමදස්සි හිමියන් වැඩසිටි කුටි කිසිවක් නොපෙනෙන තරමට පස්වලින් එහි ද්වාරයන් වැසී ඇති බව ඉඹුල්පේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ඌවකොස්ගම විනීතජීව හිමියෝ පැවසූහ.
සෙවීමේ කටයුතු නවත්වන විට එක් කුටියක උළුවස්සක උඩ මට්ටම පාදාගත හැකිවූ බවද උන්වහන්සේ පැවසූහ. කුටි පිහිටි විශාල ගල් පර්වතය වටා අඩි තිස්පහක්, හතළිහක් පමණ උසට පස් සහ රොන් මඩ පිරී පවතින බැවින් ඒවා ඉවත් කිරීම ඉතා අපහසු කාර්යයක් වූ බවද උන්වහන්සේ කීහ.
මෙම නායට හේතුව දිය අකුණක් විය හැකි බවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සැකකරයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, පරෙයියන්ගල කන්දේ අනෙක් බෑවුමේ මීට වසරක හතකට පෙර පුවක්ගහවෙල දොළ නායයාම සිදුව ඇත්තේද එවැනි දිය අකුණක් හේතුවෙන් බව එම කාර්යාංශය සඳහන් කළේය.
පරෙයියන්ගල කන්දේ මුදුනේ පන්විලඔය ආරම්භයේ පස් සහ ගල් තවමත් බුලරුල්ව පවතින අතර, මහ වැසි ඇදහැළුණහොත් ඒවා පහළට ගලා ඒමේ අවදානමක් ඇති බවට භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය අනතුරු අඟවයි. පඹහින්නේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ මෙම නායගිය කන්දේ පහළ බළන්ගොඩ දෙසට වන්නටය.
මේ වනවිට මෙම නාය ගිය ප්‍රදේශයට පහළ පදිංචිකරුවන් 87 දෙනෙකු ඉවත් කර ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසුවේය. පවුල් අටක් ඉවත්ව තම ඥාතීන්ගේ නිවෙස්වල සිටින බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
යුද හමුදාවේ 583 වැනි බළ සේනාවේ බි්රගේඩියර් රන්දුල හත්තොටුව මහතාගේ මෙහෙයවීමෙන් 150කට අධික යුදහමුදා බළ ඇණියක් මෙම මෙහෙයුම සිදුකළ අතර, සමනලවැව සහ පින්නවල පොලිස් ස්ථානාධිපතිවරුන් වන ලෝරන්ස් සහ හෙට්ටිආරච්චි යන මහත්වරුද බළන්ගොඩ පොලීසියේ හපුගස්වත්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීහුද ඊට සහාය දැක්වූහ.
අජිත්ලාල් ශාන්තඋදය
බලංගොඩ පඹහින්න කන්දක සිදු වූ නායයෑමකින් ඒ ආසන්නසේ ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (03දා) පස්වරුවේදී මෙම නාය යෑම සිදු වූ අතර පොලීසිය මැදිහත්ව අනතුරුදායක මට්ටමක සිටි ජනතාව එම ස්ථානවලින් ඉවත්කරන ලදී.
එස්.පී. නානායක්කාර