මුළු මහත් බෞද්ධ සමාජයටම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවණීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම මෙරට භික්ෂු සමාජයට පමණක් නොව සමස්ථ ලෝක බෞද්ධ සමාජයටම සිදුවූ දැරිය නොහැකි පාඩුවක් බවත්, උන්වහන්සේගේ අපවත්වීමෙන් මතුවූ හිදැස පිරවීමට නොහැකි බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.
අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණු අතර එම ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගත වූ සියවසේ ශී‍්‍ර ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය සංස්කෘත භාෂා විශාරදයෙකු මෙන්ම පරමාදර්ශී සංඝ පීතෘවරයෙකු වන අප නාහිමිපාණෝ මුළු මහත් මානව සමාජය වෙත කරුණාව, මෛතී‍්‍රය, දයාව දැක්වූ ධර්මධර, විනයධර මහා යතිවරයාණන් වහන්සේ නමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
උන්වහන්සේගේ සිල්වත් භාවය, ඥානාන්විත භාවය, ගුණවත් භාවය මෙන්ම ධර්ම ශාස්ත්‍රීය ඥානයත්, පාණ්ඩිත්‍යයත් හේතුවෙන් ෂඞ්භාෂා පරමේෂ්වර, දෛවිභාෂා විශාරද, ශාසන කීර්ති වැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් උන්වහන්සේ පිදුම් ලැබූ බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
මෑත කාලය තුළ උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමට තමාට අවස්ථාව ලැබුණු බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා සියවසක් ඉක්මවමින්, අපවත්වන තුරුම මනා සිහිනුවණින් යුතුව සම්බුද්ධ ශාසනයත්, මුළු මහත් මානව සමාජයත් වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ කැපවීම අපරිමිත බව ද කියා සිටියේය.
පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව පවත්වන ලද ආදාහන පුජෝත්සවයට ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ වන්දනීය මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මැති ඇමතිවරු එක්ව සිටියහ.
එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, විදේශීය තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එම ආදාහන පුජෝත්සවයට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු ෙපෙර්රා