උමා ඔය උමග තුළින් පිටතට පැමිණෙන සිමෙන්ති, ගල් කුඩු, රසායන ද්‍රව්‍ය සහිත ජලයත්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉවත දමන ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, ග්ලවුස්, වතුර බෝතල්, ඇසුරුම් හේතුවෙන් වැල්ලවාය කරඳගොල්ල සිට පහළට කොටසේ දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
මේ පිළිබඳ එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව දැනුම් දී ඇත.
එහි මෙසේද සඳහන් වෙයි
විෂ සහිත ජලය ගලා එන මාර්ගයේ සියලු මසුන්, කුඩා ජීවීන්, කූඩැල්ලන්, බත්කුරන්, පෙද, පාසි, දිය සෙවළ සියල්ල මේ වන විට මැරී ගොසිනි. මේ අතර
අලිකොටආර ප්‍රධාන ජල මූලාශ්‍රය වන විසාරි දිය ඇල්ලට මදක් පහතින් බඹරගස්යාය ගම්මානයේ දී ලංකාවේ පිරිසුදුම දිය දහරාවකට උමග තුළින් එන සිමෙන්ති, ගල්කුඩු, රසායන සහිත ජලය මිශ්රවෙමින් පවතී.
තවද බඹරගස්යාය ගම්මානයේ පහළ කොටසේ මසුන්, ජලජ ශාක, ජලජ සතුන්, ඉස්ගෙඩියන්, කුඩා ජලජ ජීවින් අතුරුදන්ව ඇති අතර අවම වශයෙන් පෙද, පාසි හෝ නොමැත.
ජල දහරාවේ ඉහළ කොටසින් සතුන් ජලය බීම හෝ සිදු නොකරන අතර ජලය පානය කළ වදුරන් දෙදෙනෙකු මිය ගිය ස්ථානයක් කරඳගොල්ල උමගේ සිට මීටර් 900 ක පමණ දුරින් අපගේ නිරීක්ෂණයට ලක් විය.
බඹරගස්යායට පහළින් ජනතාව සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගත්තේ මෙම ස්ථානයෙනි. අද ඔවුන් දිනනෑම, ගේ දොර කටයුතු සඳහා හෝ මේ ජලය පරිහරණය කරනු නොලබයි. විසාරි ඇල්ලට ඉහළ කොටසේ සිට නළ යොදා බීමට, නෑමට ජලය ලබාගනී.
මෙම ජලය උණුකර නිවා පානය කළ නොහැකි මට්ටමක පවතින අතර ජලය උණු කරන බඳුන් හි තට්ටුවක් ලෙස කිරි සුදු පැහැයෙන් තට්ටුවක් බැඳී ඇත.
තවද ඉදිකිරීම් සමාගම විසින් ද, සේවකයන් ද භාවිතයට ගන් දහස් ගණනක් ප්ලාස්ටික්, රබර්, යකඩ, හා ග්ලවුස්, බට කැබලි, සිලිකන් ටියුබ්, වෙනත් රාසායන ද්‍රව්‍ය හිස් බදුන් හා වෙනත් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු ද්‍රව්‍ය පරිසරයට මුදා හැර ඇත.
මෙහි පිටපත් මහවැලි අමාත්‍යාංශය, ඌව පළාත් සභාව, මොනරාගල දිසා ලේකම්, පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ ඇතුළු රජයේ නිලධාරීන්ට යොමු කර තිබේ.