මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඩබ්. කේ දිනුක නිෂාන් කුමාර් සිසුවා විසින් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.
දිනුක සිය පවුලේ වැඩිමල් දරුවා වන අතර, ඔහුට බාල සහෝදරියක්ද සිටියි. දිනුකගේ පියා වන වසන්ත කුමාර වෘත්තියෙන් රන් භාණ්ඩ ව්‍යාපාරිකයෙකු වන අතර, මව වන එච්. ඩී. ක්‍රිෂාන්ති ගෘහනියකි.
සිය ජයග්‍රහණය පිළිබඳ දිනුක මෙසේ අප හා අදහස් දැක්වූහ. “මම හැමදාම පන්තියේ මුල්තැන ගත් සිසුන් අතර සිටියා. මට ශිෂ්‍යත්වයෙන් ලංකාවේ පළමු දහ දෙනා අතරට යන්න පුළුවන් කියන විශ්වාසය පාසලේ ගුරුතුමන්ලා ළඟ තිබුනා. මමත් වැඩ කළේ ඒ විශ්වාසය ඇතිවයි. නමුත් ලංකාවේ පළමුවැනියා වෙන්න ලැබෙයි කියා මම හිතුවේ නැහැ. මම ලංකාවේ පළමුවැනියා වුණා කියලා දැන ගත්තාම මට ඇතිවුණේ මහත් සතුටක්.
මගේ මේ ජයග්‍රහණයට කවදත් මගේ පිටුපසින්ම සිටි මගේ අම්මා තාත්තා මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පළමු පන්තියේ සිටම උගන්වපු ගුරුතුමන්ලාත් විශේෂයෙන්ම පහ ශ්‍රේණියේ පන්ති බාර පාලිත වනිගසිංහ ගුරුතුමාත් මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි.
මම නිතරම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දුන්නා. සංගීතයට ඇලූම් කළා. කි‍්‍රකට් සෙල්ලම් කළා. බාහිර වැඩ කළා. එහෙත් කිසිවිටක පාසලේ වැඩකටයුතු අතපසු කළේ නැහැ. මම වැඩියෙන්ම ආසා කළ විෂය වුනේ ගණිතයයි. මම ඉදිරියේදී හොඳින් ඉගෙන ගෙන හොඳ පුරවැසියෙක් විදිහට ලංකාව ලෝකයේ ඉදිරියට ගෙන යන්නට හැකි නිර්මාණශීලී ඉංජිනේරුවකු වෙන්න අදහස් කරනවා.”
මීරිගම කාන්ති/ප්‍රසාද් මුතුකුඩ
දෙවැනි ස්ථානය හිමිකරගත් සංජන නයනජිත්
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197 ලබාගනිමින් දිවයිනේ දෙවන ස්ථානයක් ලබාගැනීමට වරකාපොළ තුල්හිරිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ටී.එම්. සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවා සමත්විය.
වසර ගණනාවක සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂයන් රැසක් බිහිකළ තුල්හිරිය ප්‍රාථමික විද්‍යාලය කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශයේ පාසලකි.
සිය ජයග්‍රහණය පිළිබඳ සංජන අප හා මෙලෙස අදහස් දැක්වීය.
"මම හිතුවා විභාගයෙන් පාස් වෙයි කියලා. නමුත් දෙවනියා වෙයි කියල හිතුවේ නැහැ. මම පාසලේදී ගුරුතුමිය දෙන වැඩ ටික මට පුළුවන් හොඳින් කළා. නොදන්න දේවල් අම්මගෙන් හරි අක්කගෙන් හරි අහගන්නවා. මගේ තාත්තා විභාගෙ දවස්වල මම ගාව හිටියේ නැහැ. එයා ඉන්නේ ගොඩක් දුර. ඒත් මම තාත්තට හැමදාම කතා කළා.
තාත්තා හැමදාම මට කිව්වේ ඔයා හොඳට ඉගෙන ගන්න කියලා. මම අද තාත්තගේ බලා පොරොත්තුව ඉශ්ට කළා. අම්මයි අක්කයි මට ගොඩක් උදව් කළා. ඒ වගේම විදුහල්පතිතුමා ඇතුළු ගුරුණ්ඩලයේ හැම කෙනෙකුගෙන්ම ලැබුණු සහයෝගය නිසා මට මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණා"
වරකාපොළ රංගන රුවන්
දෙවැනි ස්ථානය හිමිකරගත් මතාෂා ඉඳුමිණි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197 ලබා ලංකාවේ දෙවැනි ස්ථානයක් හිමිකර ගත් ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් ගණේමුල්ල වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ මතාෂා ඉඳුමිණි ජයරත්න ශිෂ්‍යයාව සොයා අපි එම විද්‍යාලයට පිය නැගුවෙමු.
අප එම පාසලට යන අවස්ථාවේ මතාෂා දියණිය තමා ලබාගත් ජයග්‍රහණයේ සතුට හා කෘතගුණ සැලකීමට තමාට අකුරු කරවූ පාසලට සිය මව සමග පැමිණ සිටියාය.
පියා විදේශ ගතව ඇති අතර, ලකුණු 197 ලබා ලංකාවේ දෙවැනි ස්ථානය ලබාගැනීම සම්බන්ධව අපි ඇයගෙන් විමසීමක් කළ විට ඉතාම නිහතමානීව ඇය මෙසේ ප්‍රකාශ කළාය.
“පාසල ඇරිලා ගෙදර ගිහින් පාඩම් කළා. පන්තියේ වැඩ එදිනෙදා ඉවර කළා. ගෙදර ගිය ගමන්ම පාඩම් කළේ නෑ. විවේක අරන් පාඩම් වැඩ කළා. අමතර පන්තිවලට සහභාගි වුණා. මෙම ජයග්‍රහණයට මගේ පන්තිබාර ගුරුතුමා ආර්.බී.එල්. පත්මසිරි සර්, විදුහල්පතිනි තුෂාරා අබේසේකර මැඩම්, පාසලේ ගුරුවරු, දෙමාපියන් අමතර පන්ති ගුරුවරු, සහෝදරයා, ඥාතීන් උදවු කළා. මේ ජයග්‍රහණයට උදව් කිරීම සම්බන්ධව ඒ සියලු දෙනාටම මම හෘදයාංගමව ස්තූති වන්ත වෙනවා."
රුක්මන් කඳාන