අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ධ අත්ථදස්සි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම මස 13 වැනි දින පස්වරු 2.30 ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවත්වන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවැසූහ.
මහනාහිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (10දා) පෙරවරුවේ උන්වහන්සේ මහා නායක පදවියට පත්වන්නට පෙර වැඩසිටි උරුලැවත්තේ විහාරස්ථානය වෙත වැඩම කරවූ අතර, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු කාරක සංඝ සභික හිමිවරු එහිදී ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූහ. එමෙන්ම, 10දා පස්වරු 4.00 ට මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කරවූ අතර අවසන් කටයුතු සිදුකෙරෙන 13 වැනිදා දක්වා මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවෙහි වඩාහිඳුවනු ඇත. දේහය වැඩවීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ හිමිවරු විශාල පිරිසක් වැඩමකර සිටියහ.
අවසන් කටයුතු සිදුකෙරෙන 13 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇති අතර මහා නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය පවත්වන දිනය දක්වා මහනුවර නගරසභා සිමාව තුළ මත්පැන් හා මස් වෙළෙඳ සැල් වසා දැමීමට තීරණය කර ඇත. එමෙන්ම, සියලුම ස්ථානවල ජාතික ධජයක් ඔසවන ලෙසද ආදාහන කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.