ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. ඔහු අග්‍රාමාත්‍යධුරයට පත් 11 වැනි පුද්ගලා වෙයි.
අග්‍රමාත්‍යවරයා අද දිවුරුම් දුන්නේද ලෝක වාර්තාවක් සමගිනි. ඒ අගමැති ධුරයේ සිවුවැනි වතාවක් දිවුරුම් දුන් ලොව දෙවැනි පුද්ගලයා බවට පත්වෙමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා 1993 මැයි 07 වැනිදා සිට 1994 අගෝස්තු 14 වැනිදා දක්වාත්, 2001 දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 06 වැනිදා දක්වාත්, 2015 ජනවාරි 09 වැනිදා සිට මේ දක්වාත් අගමැති ධුරයේ කටයුතු කර තිබේ.
1977 ජූලි මස 21 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එවකට ළාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම පුද්ගලයාද වේ.
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1952 වසරේ මාර්තු මස 26 වැනිදා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා විසින් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්කරන ලද අතර, එම වසරේම පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් ඔහු යළිත් අගමැති තනතුරට පත් වූ අතර, යළි දිවුරුම් දීමක් සිදු නොවූ බැවින් 1960 හා 1965 යන වසරවලද අගමැති තනතුරට පත් වූ ඩඩ්ලි සේනානායක මහතා සැලකෙන්නේ තුන් වරක් දිවුරුම් දුන් අගමැතිවරයෙකු වශයෙනි.
සිවුවරක් අගමැති තනතුරේ දිවුරුම් දුන් ප්‍රථමයා බ්‍රිතාන්‍යයේ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් (1809 – 1898) මහතාය. ලිබරල් පක්ෂය නියෝජනය කළ විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන් මහතා 1868 වසරේ සිට 1894 වසර දක්වා සිවුවරක් අගමැති තනතුරට පත් විය. මේ අනුව ලෝකයේ මෙවැනි වාර්තාවක් සම කෙරෙන්නේ වසර 121 ක තරම් දීර්ඝ කාලයකට පසුවය.
මෙරට ප්‍රථම අගමැතිවරයා ලෙස මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා කටයුතු කළ අතර, පසුව ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩබ්ලිව්. දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක, දි.මු. ජයරත්න යන මහත්ම මහත්මීන් මීට පෙර අගමැති ධුරයේ කටයුතු කර තිබේ.
ඡායාරූප ඉසුරු පෙර්රා


































