68 වැනි නිදහස් දින සමරු උලෙළ අද (04දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.අද උදෑසන 6.30 ට බෞද්ධාගමික වතාවත්, හින්දු ආගමික වතාවත්, ඉස්ලාම් ආගමික වතාවත් කතෝලික ආගමික වතාවත් සහ ක්‍රිස්තියානි දේව මෙහෙයන් පැවැත්වීමෙන් පසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීමෙන් නිදහස් දින උත්සවය නිල වශයෙන් ආරම්භ වේ.
සියලුම ආරාධිත අමුත්තන් ගාලු මුවදොර වටරවුමෙන් ගාලු මුවදොර පිටියට ඇතුළත් විය යුතු බවත්, සියලුම සාමාන්‍ය ජනතාව ලේක්හවුස් වටරවුමෙන් පරණ පාර්ලිමේන්තුව අසලින් උදෑසන 8.00 ට පෙර ඇතුළු විය යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
උදෑසන 9.00 ට පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීමෙන් පසු පෙරවරු 9.07 ට ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සිදු වේ.
පෙරවරු 9.09 ට ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් පසු ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමීමද සිදුවේ.අනතුරුව පෙරවරු 9.15 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතිය ඇමතීම සිදුවන අතර, පෙරවරු 9.45 ට යුද, නාවික, ගුවන්, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය විසින් ඉදිරිපත් කරන ආචාර පෙළපාළිය පැවැත්වේ.
දහවල් 12.00 ට නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25 ක් පිරිනැමීමද සිදු වේ. නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගය අද රාත්‍රී 7.00 ට ගාලු මුවදොර පිටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සිතුවම සෙනරත් ධර්මතිලක