ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මානාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදී මංගල ගමන් ඇරඹුවාය.
ලොරියක පටවා තිබූ ඔසරි පොට ලොරිය තුළ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගය එක පෙළට රැස්ව සිටි පාසැල් සිසුවියන් 250 දෙනෙක් පමණ අල්ලා ගෙන සිටියහ.
රුවන් පුෂ්කුමාර නැමැති අය සමග යුග දිවියට එළඹීමට උඩරට මානාලියක සේ හැඩගැන්වුණු ඇගේ ඔසරි පොට මීටර 3200 කින් සමන්විත විය.
මනාල යුවළ අද (21දා) පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබීය.
මෙලෙස හැඩගැන්වී සිටියේ, සජිනි ප්‍රියංගිකා මෙනවියයි.
මෙයට ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබිණි.
මනාලියට සාරිය ඇන්දවීම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ඉන්ද්‍රමාලා රාජපක්ෂ මහත්මිය විසින්ද සාරිය සැපයීම මාලා සාරි ආයතනයේ මංජුල තිලකරත්න මහතා විසින්ද සිදුකරනු ලැබ තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස පැමිණ සිටි අතර විවාහය සඳහා මල්කුමාරියන් 40 ක් සම්බන්ධව සිටීමද විශේෂත්වයකි.
පාසල් ළමුන් මේ සඳහා සහභාගි කරවා ගැනීම කුමන ක්‍රමවේදයකට සිදුවුවාද යන්න මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් අද කළ විමසීමේදී පැවැසුවේ, මේ සම්බන්ධව කිසිවක් හරිහැටි නොදැන ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.