ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළ කලාපයට පසුගිය සෙනසුරාදා බලපෑ සුනාමි ව්‍යසනයට ගොදුරුව තම පස් හැවිරිදි දියණිය අහිමි වූ මවක කියන අනුවේදනීය කතාවකි මේ.
අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද විදාරණය වීමෙන් සාගරය අභ්‍යන්තරයේ සිදුවූ නායයෑමක් මෙම සුනාමිය ඇති කර තිබුණු අතර, මෙම අවස්ථාවේදී වෙරළ ආසන්නයේ සිටි මෙම මව සමග සිටි දරුවා ඇයගෙන් ගිලිහී ගොස් ඇත.
එමීලියා නමැති මෙම මව පවසා සිටියේ සුනාමි රළ පැමිණෙන විට තමන් දරුවා තදින් අල්ලා ගත් බවයි.
ඒ මොහොතේ දරුවා අම්මේ යැයි කියමින් කෑ ගැසූ බව ඇයගේ සවන් පුරා තවමත් දෝංකාර දෙයි.
නමුත්, එක් රළකින් පසු තවත් රළක් ලෙස පැමිණි ඒ ප්‍රබල උදම් රළ හමුවේ තවදුරටත් දරුවා අල්ලා සිටීමට තරම් ශක්තියක් ඇයට තිබී නොමැත.
අවසන් වරට දරුවාගේ ඇඳුමේ කොලරයෙන් අල්ලා ගත්තද එයද ඉරාගෙන දරුවා තමාගෙන් ගිලිහී ගිය බව මේ මව කියයි.
ඒ මොහොතේ ඇයද උදම් රළ සමග යළිත් මුහුදට ගසාගෙන ගියද, ඒ සමගම පැමිණි තවත් රළක් විසින් ඇයව ගොඩබිම වෙත ගෙනැවිත් තිබුණි. ඒ වනවිට ඇය බරපතළ ලෙස තුවාල ලබා සිටියත්, ඇයගේ අතේ එල්ලී සිටි දරුවා අතුරුදන්ව තිබුණි.
මෙම අනතුරින් එමීලියා මෙන්ම, ඇගේ සැමියාද දිවි රැකගත්තද, ඔවුන්ගේ එකම දරුවා තවමත් අතුරුදන්ව ලයිස්තුවේය. මේ ආකාරයෙන් නොසිතූ මොහොතක පැමිණි ඒ උදම් රළ විසින් අහිමි කළ ජීවිත මෙන්ම, තවමත් අතුරුදන්ව ඇති ජීවිත අති විශාලය. ඒ අහිමිවීම් සමග ඔවුන්ට දැනෙන වේදනාව සුනාමි රළට වඩා බලවත් බව ඒ මිනිසුන්ගේ දෑස් නොකියා කියයි.