ෆ්ලොරීඩා හි ඔර්ලැන්ඩෝ පල්ස් රාත්රී සමාජ ශාලවේ සිදුවූ වෙඩි තැබීමේදී එම ඝාතකයා ප්රහාරය අතරතුර සිය බිරිඳට කෙටි පණිවුඩයක් යවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
පසුගිය ජූනි 12 වැනිදා අලුයම 4.00 ට පමණ, එනම්, ඕමාර් මාර්ටීනි නමැති ඝාතකයා, සිය ප්රහාරය අරඹා පැය දෙකකට පමණ පසුව එම රාත්රී සමාජශාලාව තුළ ප්රාණ ඇපකරුවන් පිරිසක් රඳවාගෙන සිටියදී මෙම කෙටි පණිවුඩය නූර් සල්මාන් නමැති සිය බිරිඳ වෙත යවා තිබේ.
එහිදී, අදාළ ප්රහාරය පිළිබඳ තතු රූපවාහිනිය ඔස්සේ නැරඹුවේ දැයි ඔහු ඇයගෙන් අසා තිබූ බවද කියැවෙයි.
එමෙන්ම, මෙම කෙටි පණිවුඩ සංවාදය අතරතුර ඇය පවසා ඇත්තේ තමන් ඔහුට ආදරය කරන බවයි. එමෙන්ම, ඇය කිහිපවරක් සිය ස්වාමියාට දුරකථන ඇමතුමක් ලබාදීමටද උත්සාහ කර ඇති බවද අනාවරණය වෙයි.
පුද්ගලයන් 49 දෙනෙකු ඝාතනයට ලක්කරමින්, තවත් 50කට අධික පිරිසකට තුවාල සිදුකරමින් සිදුවූ මෙම මහා අපරාධය පිළිබඳ තතු ඕමාර්ගේ බිරිඳ දැන සිටි බව කියමින්, පසුගියදා ඇය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, මෙම ප්රහාරය අතරතුරදී ඕමාර් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.