ස්ත්‍රී දූෂණ ඇතුළු කාන්තාවන්ට සිදුවන අතවරයන්ට කාන්තාවන්ද යම් ප්‍රමාණයකින් වගකිව යුතු බව ඉන්දීය දේශපාලඥයෙකු ප්‍රකාශ කිරීමත් සමග ඉන්දියාව පුරා ඊට විරෝධතාවක් මතුවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ආශා මරිජ් නම් වූ ඇය පවසා ඇත්තේ කාන්තාවන් දූෂණයට ලක්වීම ඇතුළු විවිධ අතවරයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇඳුම් හා හැසිරීම්ද යම් ප්‍රමාණයකින් බලපාන බවයි.
"තරුණියන් තමන් අඳින දේ ගැනත්, නගරයේ සැරිසරන කාලය ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. නගරය පුරා සිටිය හැකි කාමාතුරයන්ට තමන්ගේ ශරීර භාෂාව තුළ කිසිදු ඇරයුමක් නොකෙරෙන ලෙස වඩාත් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. දිල්ලි සමූහ දූෂණයට ලක්වූ තරුණිය රාත්‍රී 11ට චිත්‍රපටයක් බලන්න ගියේ ඇයි? ඉන්දීය ඡායාරූප මාධ්‍යවේදිනිය හුදකලා ස්ථානයක ඡායාරූප ගැනීමට සවස 6.00ට පමණ ගියේ ඇයි? තරුණියන් සෑම මොහොතකම හොඳ විපරමකින් කටයුතු කළ යුතුයි" යනුවෙන් ඇය පවසා තිබේ.
කෙසේ වෙතත් ඇයගේ මේ ප්‍රකාශය පිළිගත නොහැකි බව එරට පාලක කොංග්‍රසය, විරුද්ධ පක්ෂය හා කාන්තා ක්‍රියාකාරිනියන් පවසති.
මේ ආකාරයෙන් තම ප්‍රකාශය සම්බන්ධයෙන් රට තුළින් පැන නැගී ආ විරෝධයත් සමග එය තමන්ගේ පෞද්ගලික මතයක් පමණක් බව ඇය පසුව පවසා ඇති බවද කියැවෙයි.
ඉන්දියාව තුළ සෑම විනාඩි 22 කට වරක්ම ස්ත්‍රී දූෂණයක් වාර්තා වන අතර, 2012 දෙසැම්බර් මාසයේදී දිල්ලියේ බස් රථයක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක දූෂණයට ලක්වීමත් සමග මේ සම්බන්ධයෙන් රට තුළ බලවත් ප්‍රතිරෝධයක් ඇතිවිය. කෙසේ වෙතත් ඉන් අනතුරුවද අවස්ථා ගණනාවකදී සමූහ ස්ත්‍රී දූෂණ ඇතුළු ස්ත්‍රී දූෂණ රැසක් ඉන්දියාවෙන් වාර්තා විය.
බටහිර ඉන්දීයාවේ මාහාරාශ්ට්ර ප්‍රාන්තයේ ජාතික කොංග්රස් පක්ෂ නායකත්වය දරන ඇය, මහාරාශ්ට්ර ප්‍රාන්ත කාන්තා කොමිසමේ සාමාජිකාවකද වෙයි. එමෙන්ම, ඇය නාරි හා ප්‍රසව වෛද්‍යවරියක බවද පැවසෙයි.