ඇමෙරිකානු ගුවන් ප්‍රහාර හමුවේ අල් ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමේ නායකයා ඝාතනය වූයේද යන්න පිළිබඳ තවමත් තහවුරු නොවන තත්ත්වයක වුවත්, එම කණ්ඩායමට පොදු සමාවක් ලබාදීමට සූදානම් බව සොමාලියා රජය පවසයි.
ඒ අනුව, ඉදිරි දින 45ක කාලය තුළ ඔවුන් නැවත සාමාන්‍ය සමාජය සමග බද්ද වීමට කැමති නම්, ඔවුන්ට අවස්ථාව ලබාදෙන බව රජය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.
ඇමෙරිකානු ගුවන් ප්‍රහාරය හමුවේ අල් ෂබාබ් අන්තවාදීන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බවට පවතින වාර්තා අනුව රජය මෙම යෝජනවා ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, අල් ෂබාබ් නායක අහ්මෙඩ් අබ්ඩි ගෝඩේන් මරණයට පත්වූයේද යන්න ප්‍රකාශ කිරීමට තවමත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කර නැත.
පසුගිය සඳුදා දිනයේ මෙම ප්‍රහාරය දියත් වූ අතර, ඔහු රථ පෙළකින් ගමන් කරමින් සිටියදී මෙම දැවැන්ත ගුවන් ප්‍රහාරය ඇමෙරිකාව විසින් සිදුකර තිබුණි.