මම මුස්ලිම් මරක්කල ඒ වුණාට ගොඩක් සිංහල විදියට තමයි අපි හැදුනේ. අපි කතා කළේ ලොකු අක්කා, ලොකු අයියා, පුංචි අක්කා ඒ විදියටයි. මේ බී.බී.සී.ය සමග සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍යයේ වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නගරාධිපති පදවියට පත් පළමු වැනි ශ්‍රී ලාංකේය කාන්තාව වූ කරීමා මරික්කාර්ගේ අදහස්ය.
ඔසරියකින් සැරසී, නිල රථයෙන් බැස, හසරැල්ලකින් මුව සරසා ගෙන බී.බී.සී.ය සමග සාකච්ඡාවට පැමිණි ඇයගේ ඔසරියට උඩින් පෙනෙන්නට වූ නගරාධිපති පළඳනාවේ ආරක්ෂකයා මෙන්ම, නගරාධිපතිවරයාගේ නිල රියදුරා ද වන ජෙෆ් ඇය සමිපයෙන්ම ගමන් කළේය.
"මෙයා මේ ඉන්නේ මගේ ආරක්ෂාවට නෙමෙයි, මේ ලාංඡනය බලාගන්න." ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ද පවසයි.
උද්‍යානයේ ඇවිදිමින් සිටි, ව්‍යායාමයේ යෙදෙන තරුණ මහලු බොහෝ දෙනා ඇය දැක කෙටි කථාබහක නිරත වෙති.
"හෙලෝ කරීමා." ඒ බොහෝ දෙනාට ඇය දැකීම සතුටකි.
ඇයද ඒ බොහෝ දෙනා නමින්ම හඳුනන්නීය.
ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලැබූ ඇය, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමු වැනි ශ්‍රී ලාංකික කාන්තාවය.
"මම මුස්ලිම්, මරක්කල." ඇය කීවාය.
"ඒ වුණාට ගොඩක් සිංහල විදියට තමයි අපි හැදුනේ. අපි කතා කළේ ලොකු අක්කා, ලොකු අයියා, පුංචි අක්කා. ඒ විදියට."
බණ්ඩාරනායක පරපුර සමග ඉතා සමීපව දේශපාලනයේ නිරත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු තැපැල් ඇමතිවරයෙකු වන සී.ඒ.එස්. මරික්කාර් ඇයගේ ලොකු තාත්තාය.
"එයාට කිවුවේ සිංහල මරික්කාර් කියලා. එයා පන්සීය පනස් ජාතකය කටපාඩම් කෙනෙක්."
"අපි බොහෝ විට හැදුනේ බෞද්ධ ජනතාව සමග."
ශ්‍රී ලංකාවේ උපත ලබා, ලන්ඩන් නුවර ප්‍රදේශයක නගරාධිපතිනියක වීමට ඇය සමත්වූයේ කෙසේද?
"මම මිනිස්සුන්ගේ හිත දිනාගත්තේ මගේ හිනාවෙන්."
එය අසත්‍යයක් නොවන බව අපිද දුටුවෙමු. එහෙත් සිය මවු රටේත් ලොව පුරා වෙනත් රටවලත් වෙසෙන සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙත ඇය සතුව පණිවුඩයක්ද තිබුණි.
"මේ පදවිය ගත්ත නිසා කිසිම පක්ෂ භේදයකින් තොරව තමයි මම වැඩ කරන්නේ. මගේ එකම පරමාර්ථය හැම කෙනාටම එක සමානව සැලකීම."
"පදවියක් ගත්තා නම් දේශපාලනය නැතුව යන්න ඕන. ඒක තමයි 'කෝට් ඔෆ් කන්ඩක්ට්' කියන්නේ."
සිය එකම අභිලාශය ලොව ස්ථිර සාමයක් උදාවනු දැකීම බව පවසන කරීමා, සාමය වෙනුවෙන් කැපවන මෙන් මුස්ලිම්, හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි සහ යුදෙව් ඇතුළු සියලු ආගමික නායකයන් වෙත ආයාචනයක් ද කළාය.
"ඕනෑම ජාතියක් එක සමානව සලකන්න. පරණ විදියට හිතන්න එපා. ආගමික නායකයන් දැනගන්න ඕන මේක විසි එක්වෙනි ශතවර්ෂය කියල."
"සෑම ආගමකම අර්ථය කියන්නේ සාමය."
මහනුවර උසස් බාලිකා විදුහලේ හොකී කණ්ඩායමේ ක්‍රීඩිකාවකද වූ ඇය වර්තමානයේ මානසික සෞඛ්‍ය හෙදියක් වශයෙන්ද සේවය කරන්නීය.
"මේ පදවි තාවකාලිකයිනෙ, මම තාමත් නර්ස් කෙනෙක්."
පසුගියදා ශ්‍රී ලංකාව පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% ක් දක්වා අනිවාර්ය කිරීම ගැන ප්‍රසාදය පළකරන හැරෝ නගරාධිපතිනිය, ශ්‍රී ලාංකේය කාන්තාවද තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු බව අවධාරණය කළාය.
කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකේය දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ "හොඳටම මදි" බවය.
"කිසිම භේදයක් නැතුව, කාන්තාවට තැන දීම අඩුවක් නැතුව කළ යුතුයි."
මුස්ලිම් කාන්තාවද මීට වඩා දේශපාලනයේ ඉදිරියට පැමිණිය යුතුය යන්න මුස්ලිම් කාන්තාවක වශයෙන් ඇය දරන අදහසය.
"අපේ ආගමේ කියල නෑ හැංගිලා ඉන්න, තමන්ගේ අයිතිය කතාකරන්න එපා. ආගමේ එහෙම කියල නෑ."
එහෙත් දේශපාලනයේ නිරතවීමට උනන්දුවක් දක්වන මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් පමණක් නොව ආගමික නායකයන්ගෙන් පවා තර්ජන එල්ල වූ බව මුස්ලිම් ක්‍රියාකාරිනියෝ පසුගියදා බී.බී.සී.ය සමග පවසා තිබුණි. එවැනි කාන්තාවන් අපහාසයට ලක් කළ අවස්ථා ද පසුගියදා වාර්තා වී තිබුණි.
ඒ ගැන අදහස් දක්වමින් කරීමා කියා සිටියේ විසි එක් වෙනි ශතවර්ෂයේ මුස්ලිම් කාන්තාව තවදුරටත් නිවසට වී සිටිය යුතු නැතැයි යන්න තමන්ගේ ස්ථාවරය බවය.
"ඉස්ලාම් පූජකවරුන්ට මම කියන්නේ, මගේ ආගම මම හොඳට දන්නවා. එහෙම කෙනෙකුට ඉස්සරහට යන්න බෑ කියල පොතේ ලියල නෑ."
"අපි මේ ආකල්ප වෙනස් කරන්න ඕන."
ශ්‍රී ලාංකික අනන්‍යතාව විදහා දක්වමින් තමන් ඔසරියකින් සැරසී සිටියත්, බටහිර පන්නයේ කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටීම ගැන අප වෙත විවේචනය එල්ල කිරීමට ද ඇය අමතක නොකළාය.
"දවසක් මගෙන් ඇහුව අනේ ඔයා බුද්ධාගම අදහනවද කියල? මම ඇහුවේ ඇයි එහෙම ඇහුවේ ඔසරිය ඇන්ද නිසාද කියල."
සැබවින්ම ඇය ඔසරියෙන් සැරසී ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වූ බවද බී.බී.සී.ය කියයි.
"මම අපේ මන්ත්‍රීතුමාලාට කියන්නේ ලංකාවේ මුස්ලිම් ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ, දෙමළ ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ කියල."
ජාති, ආගම් වශයෙන් හෝ දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින බෙදීම් දුරලා එකමුතුව නැගී සිටීමට පාලකයන් මෙන්ම ශ්‍රී ලංකාවාසීන්ද උත්සාහ කළ යුතු බව ඇයගේ ස්ථාවරය වී තිබේ.
"කොටින්ම මම ජනතාවගේ සේවකයෙක්" යනුවෙන් පවසමින් සමුගැනීමට පෙරාතුව ඇය සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළාය.
"තමන්ගේ ධර්මය අදහන ගමන් හැම ධර්මයකටම නම්බුව දීල සාමයෙන් ජීවත්වෙන්න. හැම එක්කෙනාම එක සමානව ජීවත්වෙන්න." ඇය ඉල්ලා සිටියාය.
"තමන්ගේ ප්‍රශ්නයක් තියනව නම් ඒක කතාකරන්න. කතා කරලා ප්‍රශ්න විසඳගන්න. නායකයා කියන කෙනා ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න ඕන."