යුක්රේන අර්බුදය විසඳෙන ලකුණු පෙනෙන්නට තිබුණත්, එය යළි කෑකෑරෙන තුවාලයක් බවට පත්ව තිබෙන්නේ රුසියාව විසින් නැවත වරක් යුක්රේනය වෙත සිය ආධිපත්‍යය ගෑස් මිල හරහා පෙන්වීමට යාමෙනි.
ඒ අනුව, යුක්රේනයට සපයන ගෑස් මිල දැනට පවතින මිලට වඩා දෙගුණයකින් පමණ වැඩි කිරීමට රුසියාව ගෙන ඇති තීන්දුව යුක්රේන අගමැති අර්සේනියි යත්සෙන්යුක් ගේ බලවත් විවේචනයට ලක්ව තිබේ.
හමුදාමය ආක්‍රමණයක් නොකරන බව ලෝකයට පවසන රුසියාව ආර්ථිකමය ආක්‍රමණයක් හරහා යුක්රේනය අත්පත් කරගැනීමට සැරසෙන බවට අගමැතිවරයා පවසයි.
රුසියානු හිතවාදී යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් නායකත්වය දුන් යුක්රේන ආණ්ඩුව පසුගිය මාසයේ නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, රුසියාව දැන් තම රටට දඬුවම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවද අගමැති අර්සේනියි පැවසීය.
රුසියාවේ ගෑස් ඒකාධිකාරය හිමි ‘ගාස්ප්‍රොම්’ ව්‍යාපාරය මේ සතියේ සිදුකළ මිල වැඩි කිරීම් අනුව වෙනත් යුරෝපීය ගැනුම් කරුවන්ගෙන් අය කරන මිලට වඩා වැඩි මිලක් ඔවුහු යුක්රේනයෙන් ඉල්ලා සිටින බව වාර්තා වෙයි.
තමන් වෙත දේශපාලන අවනතභාවය දිනාගැනීමේ ආයුධයක් ලෙස බලශක්ති මිල පාවිච්චි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවද පසුගිය සිකුරාදා රුසියාවට අනතුරු ඇඟවීමක් කළේය.
නමුත්, ඇමෙරිකාව තමන් වෙත සෙසු රටවල දේශපාලන අවනතභාවය දිනාගැනීම සඳහා මෙවැනි දේ නොකරන බව කාටනම් කිව හැකිද?