වසරකට වැඩි කාලයක් අතුරුදන්ව සිටි පිලිපීන ජාතික ගෘහ සේවිකා තරුණියකගේ මල සිරුරු කුවේටයේ ඇය මෙහෙකාරකම් කළ නිවසේ අධිශීතකරණයක තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.
29 හැවිරිදි වියේ පසුවන ජොආනා ඩෙමාෆෙලිස් ලෙස හඳුනාගෙන ඇති මෙම තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම නිවසේ හිමිකරුය. ඔහු ලෙබනනයේදී අත්ඩංගුවට පත්ව ඇති බව පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම තරුණියගේ අතුරුදන්වීම මෙන්ම ඇගේ මරණය මැදපෙරදිග ගෘහ සේවිකා වෘත්තිය සම්බන්ධයෙන් පිලිපීනය දැඩි කතාබහක් ඇති කළ අතර, පිලිපීන කාන්තාවන් කුවේටයේ ගෘහ සේවයට යැවීම තහනම් කිරීම දක්වා දැඩි පියවරක් ගැනීමට පිලිපීන බලධාරීන්ට සිදුවිය.
අත්අඩංගුවට පත් නඩර් ඇසැම් අසාෆ් නමැති ගෙහිමියා ලෙබනන් සම්භවයක් ඇත්තෙකු ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහුගේ බිරිඳ සිදුවීමෙන් පසුව පළා යමින් සිටින බවත්, ඇය මේ වනවිට සිරියාවේ සිටින බවටත් බුද්ධි තොරතුරු පවතින බව පිලිපීන බලධාරීහු පවසති.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන ඇති අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම යම් අස්වැසිල්ලක් ඇති කළ බව පිලිපීන විදේශ ලේකම් ඇලන් පීටර් කෙයිටානෝ අවධාරණය කරයි.
එම මළ සිරුරේ ඇයට වද හිංසා සිදුකර ඇති බවට සාක්ෂි රැසක් හමුව ඇති අතර, මෙම සිදුවීමත් සමග දැනට කුවේටයේ විවිධ දුෂ්කරතා මැද ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් 1,000ක් පමණ වහාම සිය රටට ගෙන්වා ගැනීමටද පිලිපීනය කටයුතු කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතියේ උපරිම සාධාරණත්වය ඉටු කිරීමට කුවේටය උත්සාහ කරන බව එරට බලධාරීන් පිලිපීනයට දන්වා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.