පැහැරගෙන ගොස් වද හිංසාවන්ට ලක් කෙරුණු යුක්රේන විපක්ෂ උද්ඝෝෂණයේ නායකයෙකු සතියකට ආසන්න කාලයක් අතුරුදන්ව සිට අතරමග දමාගොස් සිටියදී හමුවී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ද්මිත්රෝ බුලාතෆ් නමැති මොහු පවසා සිටින්නේ, තමා පැහැර ගෙන යාමෙන් අනතුරුව දිගටම පහරදී, අත්වලින් එල්ලා තැබූ බවය. එසේ වද දීමෙන් අනතුරුව කියෙව් අගනුවරට තදාසන්න ප්‍රදේශයක තමා මැරෙන්නට දමාගොස් සිටි බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
මුහුණේ තුවාල සහිතව ඔහුගේ රූපරාමු විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණු අතර, ඔහුගේ කනෙන් කොටසකට දැඩි හානි සිදුවී ඇති ආකාරයද දැකිය හැකි විය.
යුක්රේනයේ හටගෙන තිබෙන වත්මන් දේශපාලන අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂ ක්‍රියාකාරීන් පැහැරගත් බවට සහ වද හිංසාවලට පැමිණ වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පවසා ඇති බවද, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, රටේ දේශපාලන වාතාවරණය ස්ථාවර කිරීමට පියවර ගන්නා මෙන් එරට හමුදාව විසින් යුක්රේන ජනපති වික්ටර් යනුකොවිච්ගෙන් ඉල්ලීමක් කරන ලදී.