නේපාලයට පසුගිය වසරේ බලපෑ දරුණු භූ කම්පනයෙන් හානියට පත් යුනෙස්කෝ ලෝක උරුමයක් වූ බෞද්ධනාත් ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව වන්දනාමාන සඳහා විවෘත කිරීම සිදුකර තිබේ.
කත්මණ්ඩු අගනුවර වෙත ලොව නන්දෙසින් විශාල ජනතාවක් කැඳවන මේ දැවැන්ත නිර්මාණය භික්ෂූන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනය මධ්‍යයේ විවෘත වී ඇති අතර, ඒ අවට අලංකාරවත්ව සරසා තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
මෙම අවස්ථාවට එක්වෙමින් නේපාලයේ අග්‍රාමාත්‍ය පුෂ්ප කමාල් දහාල් පවසා සිටියේ මේ ආකාරයෙන් ස්ථූපය යළි බැතිමතුන් වෙත විවෘත කිරීමට හැකි වීම නේපාලයට ආඩම්බරයක් බවයි.
එහිදී, ස්ථූපයේ ප්‍රතිසංස්කරණ සඳහා රජයට වියදම් දැරීමට අවශ්‍යතාවක් උදාවී නැති අතර, බෞද්ධ සැදැහවතුන් එහි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සම්පූර්ණ වියදම් දරා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. දළ වශයෙන් ඇ.ඩො.මිලියන 2.1කට ආසන්න මුදලක් ඒ සඳහා වැය වී තිබේ.
විශේෂයෙන්ම ස්ථූපයේ ඉහළ ඇති රන් පත් ප්‍රතිසංස්කරණය සඳහා රත්රන් කිලෝ ග්‍රෑම් 30කට වැඩි ප්‍රමාණයක් මෙහිදී යොදාගෙන ඇති බවද කියැවෙයි. 2015 මැයි මාසයේදී ඇරඹි ප්‍රතිසංස්කරණ කටයුතු බෞද්ධනාත් සංවර්ධන සමිතියේ අධීක්ෂණය යටතේ සිදුවී ඇත.
පසුගිය වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයෙන් ජීවිත 8,000කට වැඩි ප්‍රමාණයක් අහිමි වූ අතර, එය නේපාල ඉතිහාසයේ වඩාත් දරුණුතම භූ කම්පනයක් විය.