තායිලන්තයේ හමුදාපතිවරයා, එරට දේශපාලන අර්බුදයේ කොටස්කරුවන් වී සිටින සියලු දේශපාලන කණ්ඩායම්වල නායකයන් සමග පැවැත්වූ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වී ඇති බව එරටින් වාර්තා වෙයි.
පසුගිය අඟහරුවාදා දිනයේ සිට තායිලන්තය පුරා හමුදා නීතිය ක්රියාත්මක කිරීමේ පසුබිම තුළ එරට හමුදාපතිවරයා රටේ දේශපාලන නායකයන් හමුවී මෙසේ සාකච්ඡා පැවැත්වීය.
තායිලන්ත ආණ්ඩුවේ නායකයන්, උත්තර මන්තී්ර මණ්ඩලයේ කථානායකවරයා සහ ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ වල යෙදී සිටින කණ්ඩායම් දෙකේ නායකයන් හමුදාපතිවරයා සමග සාකච්ඡාවලට සහභාගී වුවත්, ඒ සියලු සාකච්ඡා නිමාවට පත්ව ඇත්තේ අවසාන තීරණයකින් තොරවය.
නැවත නිවෙස්වලට ගොස් රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිරාකරණය කර ගත හැක්කේ කෙසේද යන්න ගැන සිතා බලන මෙන් හමුදාපතිවරයා සාකච්ඡාවට සහභාගී වූ සියලු කණ්ඩායම්වලින් ඉල්ලා ඇති බවද එරටින් වාර්තා වෙයි.
තායිලන්ත හමුදාව මේ ආකාරයෙන් රට පුරා හමුදා නීතිය ක්රියාත්මක කළත් එය කිසිදු ආකාරයක හමුදා කුමන්ත්රණයක් නොවන බවද මීට පෙර එරට හමුදාව පවසා තිබුණි. කෙසේ වෙතත් මේ සාකච්ඡා සමග එහි සැබෑ ස්වරූපය ඉස්මතු වනු ඇති බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, එරට භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ඉල්ලා සිටි පරිදි නව මහ මැතිවරණයක් පැවැත්වීමට තායිලන්ත මැතිවරණ කොමිසම මේ වනවිට කටයුතු කරමින් සිටින බවටද එරටින් ලැබෙන අලුත්ම ආරංචියකින් කියැවෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට තායිලන්තය පාලනය කරන්නෙ කවරෙකුද යන්න පැහැදිලි නොමැති බවද විදේස් වාර්තා කරුවෝ පවසති.