ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වැල්ඩිමීර් පූටින් අතර G20 රාජ්‍ය නායක සමුළුව අතරතුර රහස්‍ය හමුවක් සිදුවූයේ යැයි කියන මාධ්‍ය වාර්තා කිසිදු අවබෝධයකින් තොරව හා මොස්කව් පාලනය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පමණක් පළවූ ඒවා බව රුසියාව කියයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ සමුළුව අතරතුර නායක දෙපළ අතර එක් ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පමණක් පැවති බවයි. එය නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දුන් බවද පවසන මාධ්‍ය ප්‍රකාශවරයා මෙම සමුළුව අතරතුර මෙම නායක දෙපළ වරින් වර ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමක් සෙසු නායකයන් පරිදිම සිදවූ බවද හෙතෙම සඳහන් කරයි.
කෙසේ වෙතත්, ප්‍රධාන දහරාවේ බටහිර මාධ්‍ය වාර්තා කරන ආකාරයේ කිසිදු රහස්‍ය සාකච්ඡාවක් ඔවුන් අතර නොපැවති බව පවසන දිමිත්‍රි, එය සම්පූර්ණයෙන්ම හාස්‍යජනක කතාවක් බවද පෙන්වා දෙයි.
එමෙන්ම, මෙය ඇමෙරිකාව හා රුසියාව අතර අලුතින් ඇතිවන හොඳහිත පළුදු කිරීමේ බලාපොරොත්තුවෙන් හිතාමතා සිදුකරන වාර්තා කිරීම් බවද හෙතෙම චෝදනා කරයි.
ක්රෙම්ලීන්යේ මාධ්‍ය ප්රකාශකවරයාගේ අදහස ඒ අයුරින්ම රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සර්ජි රයැබ්කෝව් විසින්ද තහවුරු කර තිබේ.
ඔහු පවසන්නේ රුසියානු හා ඇමෙරිකානු නායකයා අතර පවත්වන ඕනෑම ආකාරයක සාකච්ඡාවක් ඇතැම් ප්‍රධාන දහරාවේ මාධ්‍යයට අනුව මහා අපරාධයක් බවයි.
එමෙන්ම, ඕනෑම රාජ්‍ය නායකයෙකුට මෙවැනි සමුළුවක් අතරතුර එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට බාධාවක් නොමැති බවද පවසන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, ඒ සෑම සාකච්ඡාවක්ම රහස්‍ය සාකච්ඡාවක් ලෙස හුවාදැක්වීම සම්පූර්ණ විහිළුවක් බවද පවසා සිටියි.
.jpg)