ඉරානයේ, මෙහෙරාබාද් ගුවන් තොටුපළේ මගී ගුවන් යානා අනතුරින් මියගිය පිරිස මේ වනවිට 48 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන පුවත් සේවය උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
ඇන්ටනෝව්-140 වර්ගයේ ගුවන් යානය ගුවන්ගත වී විනාඩි කිහිපයකින් පසුව මෙසේ අනතුරට පත්ව ඇත්තේ එහි එන්ජිමේ ඇතිවූ දෝෂයක් නිසා බව කියැවෙයි.
මෙම අනතුරින් ගොඩබිම සිටි පුද්ගලයන්ද තුවාල ලබා ඇති අතර, ඒ ආසන්නයේ වූ වීදුරු කම්හලක සේවකයන්ද මෙසේ තුවාල ලබා ඇති පිරිස අතර සිටියි. එසේ තුවාල ලැබූවන්ගෙන් සමහරක් දරුණු පිළිස්සුම් තුවාලවලට ලක්ව ඇති බවද කියැවෙයි.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ යානයේ පසුපස කොටස මුලින්ම පොළවට පතිත වී පසුව එහි ඉදිරිපස කොටස ඊට තරමක් ඔබ්බෙන් පතිත වූ බවයි.
සෙපාහ්න් ගුවන් සේවයට අයත් 5915 දරණ මෙම ඇන්ටනෝව් යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 40ක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටියහ.
අද සවස් කාලය වනවිටත් යානයේ සුන්බුන් හා මළ සිරුරු ඉවත් කිරීමේ මෙහෙයුම් සිදුවූ බව කියැවෙයි.