ඉරාකයේ සිටින ඉස්ලාමීය සටන්කාමීන් විසින් එරට දෙවැනි විශාලතම නගරය වන මෝසුල් හි පාලන බලය අත්පත් කරගැනීමත් සමග, රට පුරා හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
ඉරාක අගමැති නූරි මලිකි පවසා සිටියේ, මෝසුල් නගරයේ ප්රධාන ස්ථාන කිහිපයක්ම ඉස්ලාමීය සටන් කාමින් විසින් අල්ලාගෙන ඇති බවයි. එමෙන්ම, නගරයේ සිටි 150,000ක් පමණ වූ ජනතාව ප්රදේශය හැරගොස් ඇති බවද හෙතෙම පවසා සිටියේය.
ඒ අනුව, මේ වනවිට ප්රාදේශීය ගුවන් තොටුපළේ පාලනය නතු කර ගෙන සිටින ඉරාකයේ සහ ලෙවන්ට් කලාපයේ ඉස්ලාමීය සටන් කරුවන් බන්ධනාගාර රැඳවූවන් සිය ගණනක් මුදා හැර තිබෙන බව බලධාරීහු පවසති.
මේ තත්ත්වය තුළ හමුදා සහ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වී ඇති අතර දහස් ගණනක් වූ නගර වැසියන් නගරය අත්හැර යමින් සිටිති.
මේ වන විට පළාත් ආණ්ඩුකාරවරයාද නගරය හැර ගොස් සිටින බව විශ්වාස කෙරේ.
මොසුල් නගරයේ පූර්ණ බලය ත්රස්තවාදීන් අතට ගෙන ඇති බව පවසන ඉරාක පාර්ලිමේන්තුවේ කථානායකවරයා, හැකි ඉක්මනින් ඉරාක හමුදා මොසුල් නගරය වෙත යවන මෙන් ඉල්ලා සිටියේය.