ඉරාකයේ නගර එකිනෙක එත්පත් කරගනිමින් ඉදිරියට එන ISIS ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් තවත් නගර දෙකක පාලනය සියතට ගනිමින් බැග්ඩෑඩ් වෙත පැමිණීමේ අනතුරු ඇඟවීම බලවත් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සුනින් මුස්ලිම්වරුන්ගෙන් සැදි මෙම සටන්කාමීන් දියාලා ප්‍රාන්තයේ සාදියා සහ ජලාවාලා නගර දෙක අත්පත් කරගෙන ඇති අතර, ඒ ආසන්නයේ වූ ඉරාක ආරක්ෂක අංශ සිය ආරක්ෂක මුරපොළවල් අතහැර පළාගොස් ඇති බව වාර්තා වෙයි.
ඉරාකයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම තවත් නගර කිහිපයක්ම ISIS ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් විසින් අත්පත් කරගැනීමත් සමග ඔවුන් මේ ආකාරයෙන් ශක්තිමත්ව බැග්ඩෑඩ් පාලනයට තර්ජනයක් වෙමින් ඉදිරියට ඇදෙන බව පැවසෙයි.
මේ තත්ත්වය තුළ ඉරාකයේ අස්ථාවරත්වය පාලනය කිරීම සඳහා යුදමය ක්‍රියාමාර්ගයක් ඇතුළු ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ඇමෙරිකාව පවසා සිටී.
නැවත පාබල හමුදාවක් එවීමක් ගැන මූලිකව අදහස් නොවූවත්, සටන්කාමීන් ඉලක්ක කර නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බව ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙයි.
මීට පෙර, බී.බී.සී.ය වාර්තා කළ පරිදි ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද කියා තිබුනේ ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජයට සහාය විය හැකි සෑම ආකාරයක්ම සලකා බලමින් සිටින බවය.
නමුත්, ඉරාකය වෙත නැවත ගොඩබිම් හමුදාවක් යැවීමේ සූදානමක් නොමැති බවද ධවල මන්දිරය උපුටා දක්වමින් බී.බී.සී.ය පෙන්වා දී තිබුණි.
මේ තත්ත්වය තුළ සටන්කාමීන් පාලනය කිරීම සඳහා බොහෝ දුරට ඇමෙරිකාව ගුවන් ප්‍රහාරයක්, විශේෂයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව විශ්වාස කළ හැකිය.
මේ වනවිට මොසුල් සහ ටික්රිට් නගර සටන්කාමීන් අතට පත්ව ඇති අතර, සමාර ප්‍රදේශයට පැමිණි කැරලිකරුවන් ඉරාක ගුවන් හමුදා ප්‍රහාර හමුවේ පළා ගොස් ඇති බව අද උදෑසන වනවිට වාර්තා විය.
මේ අතර, තෙල් සම්පතින් ආඪ්‍ය කිර්කුක් නගරය අත්හැර ඉරාක හමුදා ඉවත් වීම හේතුවෙන් කුර්දි කැරලිකරුවන් එම ප්‍රදේශය අත්පත් කරගෙන ඇති බවද විදෙස් පුවත් සේවා ඊයේ පෙන්වා දුන්නේය.
ISIS යනු, ලෙවාන්ට් නමින් ඔවුන් විසින් හඳුන්වන රටවල් එකතුවක් හා ඉරාකය ඇතුළත්ව ඉස්ලාම් ආගමික රාජ්‍යයක් පිහිටුවීමට සටන් වදින සංවිධානයකි. ලෙවාන්ට් යනුවෙන් ඔවුන් හඳුන්වන කොටසට සිරියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය සහ ජෝර්දානය යන රටවල් ඇතුළත් වෙයි. එමෙන්ම, ඔවුන් අල්කයිඩා සංවිධානයෙන් පෝෂණය ලබා ගොඩනැගුණක බවද කියැවෙයි.