ඇමෙරිකානු මැතිවරණය ආශ්‍රිතව සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් එරට ප්‍රාන්ත අටක මුස්ලිම්-ඇමෙරිකානුවන්ව FBI ආයතනය විසින් ප්‍රශ්න කිරීම්වලට ලක්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අල්-කයිඩා සංවිධානය හා සම්බන්ධ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් FBI ආයතනය වෙත තොරතුරු ලැබී ඇති බවත්, එහිදී, නිව්යෝක්, වර්ජීනියා සහ ටෙක්සාස් ප්‍රාන්ත ඉලක්ක වී ඇති බවත් සඳහන් වී ඇත.
මේ අතර ඇමෙරිකානු ඉස්ලාමීය සබඳතා කවුන්සිලය පවසා තිබුණේ, එරට ප්‍රාන්ත අටක මුස්ලිම්-ඇමෙරිකානුවන් ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බවකි. එහිදී, FBI නිලධාරීන් කැලිෆෝනියා, වොෂින්ටන්, මිචිගන්, පෙන්සිල්වේනියා, කන්සාස්, ඕකලහෝමා, ෆ්ලොරීඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවල මුස්ලිම්-ඇමෙරිකානුවන් වෙසෙන නිවෙස් පරීක්ෂාවට ලක්කරමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව එම කවුන්සිලය කියයි.
මෙම ප්‍රශ්න කිරීම්වලදී මූලික වශයෙන් අල්-කයිඩා සංවිධානය මූලික කරගෙන ප්‍රශ්න කිරීම් සිදුව ඇති අතර, විශේෂයෙන්ම පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අල්-කයිඩා නායකයෙකු වූ ෆරාක් අල් කටානි හා සබඳතා පැවතියේද යන්න පිළිබඳවද විමසා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න කිරීම් ඇමෙරිකානු-මුස්ලිම්වරුන් අතර පවතින සබඳතා පලුදු කිරීමක් බවටද ඔවුන් චෝදනා කරයි. මේ අතර, FBI ආයතනය හා එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඕනෑම ආකාරයක ත්‍රස්ත අවදානමක් ගැන තමන් අවදියෙන් හා එය මැඩපැවැත්වීමට සූදානමින් සිටින බවයි.